
කේ. ජයතිලක සූරීන්ගේ 91 වැනි ජන්ම දිනය නිමිත්තෙනි.
සිංහල සාහිත්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා මහ මෙහෙයක් කළ ලේඛකයකු වශයෙන් කේ. ජයතිලකයන් හැඳින්විය හැකි ය. ඔහු 1926 ජූනි මස 26 වැනි දින ගම්පහ දිස්ත්‍රික්කයේ රදාවාන, කින්නිමහර, මැදිහේන ගම්මානයේ උපත ලැබුවේ ය. ජයතිලකයන්ගේ පියාගේ නම කළුඅච්චි ගමගේ අරනෝලිස් අප්පුහාමි වූයේ ය. මව මද්දුමා අමරසේකර ආරච්චිගේ පොඩි නෝනා ය. ජයතිලක පවුලේ තෙවැනි දරුවා වූයේ ය. මේ ශිෂ්‍යයා රදාවාන පිරිමි පාසලෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ ය. පසු කලෙක, හේ කොළඹ ලෝරන්ස් විද්‍යාලයට ඇතුළු වෙයි. එහිදී සිය ඉංග්‍රීසි භාෂා ඥානය වර්ධනය කරගැනීමට ජයතිලක කැපවෙයි. මේ තරුණයා ද්විතීයික අධ්‍යාපනය ලබා ගැනීමෙන් පසුව පවුලේ ආර්ථික දුෂ්කරතා ජයගැනීම සඳහා වරින් වර කඩවල් කිහිපයක රැකියා කළේ ය. අවසානයේ දී ජයතිලක අධ්‍යාපන ආයතනයක රැකියාවක් සොයා ගනියි. එහි රැකියාව කළ අතර හෙතෙම පෞද්ගලිකව කෘතිය අධ්‍යාපනය හැදෑරුවේ ය. පසුකලෙක ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය දිනාගන්නා තරුණ ජයතිලක ප්‍රාචීන භාෂා වශයෙන් සැලකෙන පාලි හා සංස්කෘත පිළිබඳ දැනුම ද ප්‍රගුණ කර ගනියි. පසුව, ඔහු සිය රැකියාවට සමුදී ලේඛන කලාව ජීවන වෘත්තිය කරගත්තේ ය. අනතුරුව එතුමා තමන්ට ම අයත් මුද්‍රණාලයක් ආරම්භ කරයි. එය ප්‍රදීප ප්‍රකාශකයෝ නමින් හැඳින්විණ. මේ අනුව ජයතිලක රැකියා සොයන්නකු නොවී, රැකියා මවන්නෙක් වෙයි.
ජයතිලක ලේඛකයකු වශයෙන් රසිකයන් අතරට එන්නේ ඔහු විසින් රචිත ‘දෛවයෝගය විචාරය’ (1953) නම් ග්‍රන්ථය පළ කිරීමෙන් ය. අනතුරුව, ඔහු කෙටිකතා සංග්‍රහ කිහිපයක් පළ කළේ ය. ‘පුනරුත්පත්තිය’ (1955) ජයතිලකයන් විසින් නිර්මිත ප්‍රථම කෙටිකතා සංග්‍රහයයි. පසුව හේ කටු සහ මල්, වජිර පබ්බත, අතීරණය, එකගෙයි අවුරුද්ද, නොනිමි සිත්තම සහ වෙනත් කතා, දියණිය ආපසු එයි යන කෙටිකතා සංග්‍රහ පළ කළේ ය. මීට අමතරව ජයතිලක නවකතා රචකයකු වශයෙන් ද නමක් දිනා ගනියි. ඔහු විසින් පළ කළ පළමු නවකතාව වන ‘පරාජිතයෝ’ (1960) රසිකයන්ගේ ප්‍රසාදයට පාත්‍ර විය. අනතුරුව, මේ ලේඛකයා තවත් නවකතා රැසක් පළ කළේ ය. චරිත තුනක්, දෙලොවට නැති අය, අධිෂ්ඨාන, රාජපක්ෂ වලව්ව, කාලේ අයංතෙ, මායා මාලිගාව, පිතා මහ, පුංචි රාල, පුංචි රාලගේ මරණය, අප්‍රසන්න කතාවක්, මතු සම්බන්ධයි, පියා සහ පුත්තු, මහල්ලකුගේ ප්‍රේම කතාව හා ‘වරණය, ඡන්දය හා මනාපය’ යන නවකතා ජයතිලකයන්ගේ නිර්මාණ වන්නේ ය. මේ නවකතා අතරින් ‘චරිත තුනක්’ හා ‘පුංචි රාල’ ගැමි සමාජ පසුබිම පාදක කරගෙන රචිත ඉතා රසවත් නිර්මාණ දෙකකි. ගැමියන්ගේ සිතුම් පැතුම්, ජීවන ගැටලු ආදිය මේ නවකතා දෙකෙහි විවරණය කෙරේ. ‘චරිත තුනක්’ නවකතාවේ එකම පවුලේ සහෝදරයන් තිදෙනා අතර දක්නට ලැබෙන ගති ස්වභාවයන්ගේ විවිධත්වය කලාත්මකව ඉදිරිපත් කර ඇත. කතුවරයා ගැමි බස යෙදීමේ දීත්, චරිත නිරූපණයේ දීත් දක්වන කුසලතාව මේ නවකතාවෙන් මනාව පෙනේ. “පුංචිරාල” නවකතාවේ නන්දන හා සුවිමලි දෙදෙනාගේ චරිතවලින් නිරූපණය කෙරෙන්නේ ළමා අවධියේ තිබෙන සහෝදර බැඳීම්, විවාහයෙන් පසු ක්‍රමයෙන් දෙදරා යන ආකාරයයි. දරුවනට ඉතා ආදරය කරන පියා අවසානයේ දී හුදෙකලා වෙයි. “වරණය ඡන්දය හා මනාපය” වර්තමාන දේශපාලන තත්ත්වය විෂය කරගෙන රචිත නවකතාවකි.
මේ ලේඛකයා ළමා සාහිත්‍යයේ ප්‍රගමනය වෙනුවෙන් ද සැලකිය යුතු සේවයක් කළේ ය. ඔහු ළමයින්ට ගැළපෙන සේ සරල බසකින් ළමා කෘති දහයක් පමණ රචනා කර ඇත. එම නිසා එතුමාගේ ළමා සාහිත්‍ය නිර්මාණ ළමයි අතර ප්‍රචලිත විය. ජයතිලකයන් විසින් රචිත ළමා සාහිත්‍ය ග්‍රන්ථ අතර මිහිපිට සුරපුර, ඔරලෝසුවා, පුංචි වලාකුළ සහ පුංචි පුතා, ඉරුණු බළලා, ඩිංගිරි, වන සරණ, රුවන් කුමාරි, ඉස්සරහ බලන්නෝ හා අයියයි නංගියි කැපී පෙනෙයි. මෙයින් ගම්‍ය වන්නේ ජයතිලකයන් ළමා නිර්මාණයන්හි උන්නතිය සඳහා විපුල සේවාවක් කර තිබෙන බවයි.
ජයතිලක නම් සාහිත්‍යධරයා කාව්‍ය හා නාට්‍ය ක්ෂේත්‍ර පිළිබඳව මඳ වශයෙන් අවධානය යොමු කර ඇත. මහගමසේකරයන් සමඟ සම්බන්ධ වී හෙතෙම “ව්‍යංගා” නමැති පද්‍ය සංග්‍රහය පළ කළේ ය. එම කෘතිය “ව්‍යංගා” නොව “ව්‍යංග්‍යා” විය යුතු යැයි පසු කලෙක ජයතිලකයෝ ප්‍රකාශ කළහ. ශේක්ස්පියර්ගේ “මැක්බත්” පරිවර්තනය කරමින්, හෙතෙම නාට්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් දායක වූයේ ය. “නගරාධිපති” ඔහුගේ තවත් නාට්‍ය කෘතියකි.
ජයතිලක සාහිත්‍ය නිර්මාණවලට පමණක් සීමා නොවී සාහිත්‍ය විචාර ග්‍රන්ථ කිහිපයක් ද පළ කළේ ය. ඒවා අතරින් කතා කලාවේ විකාශනය, සාහිත්‍ය විචාර සටහන්, සිංහල නවකතා කලාවේ සංස්කෘතික පදනම, නවකතාව හා සමාජය, නූතන සිංහල ව්‍යාකරණයේ මුල්පොත, සාහිත්‍ය විචාර චින්තාවලි, ජාතක සාහිත්‍ය හා වෙස්සන්තර, සාහිත්‍ය නිර්මාණයේ මුල්පොත, සමාජ ප්‍රගතිය හා සාහිත්‍යය යන ග්‍රන්ථ සාහිත්‍ය විචාර හා ශාස්ත්‍රීය වටිනාකමකින් යුක්ත ය.
කේ. ජයතිලක විචාරාත්මක සංස්කරණ කිහිපයක් ද පළ කළේ ය. විමර්ශන සහිත මයූර සන්දේශය, විමර්ශනය සහිත කව්සිළුමිණ මහා කාව්‍යය, විමර්ශන සහිත සිදත් සඟරාව, විමර්ශන සහිත පරෙවි සන්දේශය, සීගිරි ගී මේ අතරින් කිහිපයකි. ජයතිලක සිංහල සාහිත්‍යය දියුණු කිරීමට පමණක් නොව, ලේඛකයන්ගේ සුබසිද්ධිය වෙනුවෙන් ද කටයුතු කළේ ය. එතුමා වෙනත් ලේඛකයන් සමඟ එකතු වී සිංහල ලේඛක සංගමය පිහිටුවයි. එම සංගමයේ ප්‍රථම භාණ්ඩාගාරික ලෙස හෙතෙම කටයුතු කළේ ය. 1997 – 2001 කාලය තුළ ජයතිලක ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපති ධූරය ද දැරුවේ ය. එම කාලය තුළදී ඔහුගේ එකම කෘතියකට වත්, එතුමා රාජ්‍ය සම්මානයක් ලබා නොගත්තේ ය. ජීවිතයේ සැඳෑ සමයේදී ඔහු තමා සතුව තිබූ සියලු ම පොත්පත් ගමේ පුස්තකාලයට පරිත්‍යාග කළේ ය. මේ උදාර ලේඛකයා 1911 සැප්තැම්බර් මාසයේ 14 වැනි දින දැයෙන් සමුගත්තෝ ය. ජයතිලකයන්ගේ මරණයෙන් පසුව උපන් ගමට අනපේක්ෂිත භාග්‍යයක් උදා විය. එනම් ඔහුගේ ගමට යාම සඳහා ආණ්ඩුව විසින් තාර පාරක් ඉදිකර දීම ය.
වර්තමානයේ සිතීමට ඉඩදෙන අධ්‍යාපන ක්‍රමයක් ශ්‍රී ලංකාවේ පාසල්වල හෝ විශ්වවිද්‍යාලවල නැත. ඒ වෙනුවට ඇත්තේ සිතිය යුතු දේ උගන්වන අධ්‍යාපන ක්‍රමයකි. මෙහි අවසාන ප්‍රතිඵලය වන්නේ ජයතිලකයන් වැනි විශිෂ්ට නිර්මාපකයන් බිහිවීම අනාගතයේ දී ක්‍රමයෙන් හීනවීම ය. ඒ වෙනුවට ඉදිරි දැක්මක් නැති අනුකාරකයන් රොත්තක් බිමිවීමට ඉඩ ඇත්තේ ය. එවිට මිනිසා හා ගිරවා අතර වෙනස සොයා ගැනීමට ද අපහසු වනු ඇත.