කවියෙක් ඔබ අමතයි! | සිළුමිණ

කවියෙක් ඔබ අමතයි!

දරුවන් උදෙසා විශාල අඬහැරයක් සමාජයෙහි පවතී. එහෙත් ආපසු හැරී බලන්න! රටේ පාසල් නොයන දරුවන්ගේ ගණන කීය ද? ලක්ෂ හතර හමාරකට වැඩි ය. කිසි දා පාසල් ‍නො ගිය දරුවන්ගේ ගණන කීය ද? පනස් දහසකට වැඩි ය. ඉතින් දරුවන් උදෙසා අප කරන්නේ මොනවා ද?

මගේ කියැවීමට අනුව බුද්ධදාස ගලප්පත්ති යනු තනිකර කවියෙකි. ඔහු වෙනත් ලට - පට සඳහා යොදවන කාලය හා ශ්‍රමය කවිය කෙරෙහි ම යොමු කළේ නම්; නිසැක ලෙස ම ඔහු පොදු ජනයාගේ කවියා වීමට ඉඩ තිබිණි. මේ කියමන අතිශයෝක්තියක් නොවන පිණිස හේතු - ප්‍රත්‍යය තුනක් දක්වමි. එක; බුද්ධි හැමවිට ම සිය ප්‍රබන්ධ සඳහා ප්‍රස්තුත කරගන්නේ පොදු ජනයාගේ සංවේදී ගැටලුවකි. (කවියා ජනතාව අමතයි.) දෙක; ඔහු හැමවිට ම ඒවා සංවාදයට ලක් කරන්නේ අතිශය මානවීය ගුණයකින් යුතුව ය. (සහෘදයා ආකර්ෂණීය වෙයි.) තුන; ඔහුගේ නිර්මාණ - භාෂාව හා රිද්මය පොදුජන සංස්කෘතියෙන් ම ගොඩනැ‍ඟෙන්නේ ය. (කවියා ජනතාවගේ පැත්තේ ය.)

අද අපගේ විමසුමට ලක් වන ප්‍රබන්ධය මෙයින් වසර තිස් හතරකට පමණ පෙර රචනා වී ඇත. බුද්ධි එකල තරුණ රැඩිකල් කවියෙකි. ඔහු පිළිබඳ නොයෙක් සංවාද ඇති වූ බව ද, ඔහු කෙරෙහි බලවත් ආකර්ෂණයක් පැවැති බව ද අපට මතක ය. එහෙත් දැන් ඒ කිසිවක් දකින්නට නැත. සියල්ල වාෂ්ප වී ගියා වැනි ය. බුද්ධි එක්තරා ලක්ෂ්‍යයක් කරා පැමිණ ඉක්බිති තුෂ්ණීම්භූතව බලා සිටියා යැයි කියන්නට පුළුවන. සිරස් රේඛාව ප්‍රස්තාරයේ ඊළඟ ලක්ෂ්‍යය ඡේදනය කළේ නැත.

ඔහු සිංහල කවි සමයෙහි ස්වකීය පා - සටහන තබන්නේ 1970 ගණන්වල ය. එහෙත් ඔහුගේ සරු කාලය පවතින්නේ 1980 ගණන්වල ය. එදා පැවැති ඔහුගේ සරු අස්වැන්නට “දෙදෙනා ම දියණියෝ” නම් කාව්‍ය සංග්‍රහය ද ඇතුළත් ය. පද්‍ය රචනා හතළිස් අටකින් සමන්විත එම කෘතිය බොහෝ වරක් කියවා ඇත්තෙමි. ඒ සෑම වාරයක ම මගේ සිත නවතින්නේ එක ම - එක කවියක් ළඟ ය. ඒ කවිය; “දෙදෙනා ම දියණියෝ” යන්න ය.

බැලූ බැල්මට නම්; මේ කවිය ඉතා සරල ය. පොදු අත්දැකීමක් පාදක ‍කොට එය රචනා වී ඇත. ඉන් කියැවෙන්නේ අවන්හලකට නිතිපතා යනෙ’න තරුණ පියකුට මුණ ගැසෙන යාචක දැරියක ගැන ය. තරුණ පියා මේ සිද්ධියෙන් කම්පාවට පත් වෙයි. ඔහු සිය දියණියන් හා යාචක දැරිය සසඳයි. දෙපාර්ශ්වය අතර යම් වෙනසක් ද ඔහු දකී. ගෙදර දියණියෝ බත් - මාළු වීසි කරති. අනා - කැව්ව ද ගුළියක් නො බුදිති. යාචක දැරිය බත් උළක් ඉල්ලා හූල්ලන අතර අනෙක් දියණියෝ බත් - මාළු ඉවත දමති. පරතරය විශාල ය. එහෙත් මේ දෙපාර්ශ්වය ම දියණියෝ යි . කවියා සහෘදය සිතට ඇඟිල්ලෙන් අනී.

මේ ප්‍රබන්ධය ඔස්සේ අලුත් සාධක දෙකක් මතු කර ගත හැකි ය. පියකුගේ දාරක ස්නේහය ඉන් පළමුවැන්න ය. මනුෂ්‍යත්වය උදෙසා සහෘදයා පෙලැඹවීම එහි දෙවන්න ය. අපේ සම්ප්‍රදාය තුළ දාරක ස්නේහයේ සංකේතය වන්නේ අම්මා ය. අම්මා නැති කල අප්පා කවර කල යැයි කියති. අම්මා නැති අපට බඩගිනි වෙන්න එපා යැයි ද කියති. පියා ගේ දරු සෙනෙහස සැඟවී ඇත්තේ ය. කවියා එය එළියට ගෙන විදාරණය කරයි.

“කෙසේ නම් වෙනස් වෙද මගේ දියණිය ඇයට
දෙදෙනා ම එක ම එක අහස යට උපන් කල”

දාරක ස්නේහය යනු කොයි - කවරදාට වුව පොදු ගතිකයකි. නූතන ලෝකය දැන් ඒ ගැන විශේෂ කතිකා පවත්වයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු තවත් ජගත් සංවිධාන ගණනාවක් දරුවන් උදෙසා ප්‍රඥප්ති සකස් කරති. ඔවුන් උදෙසා ප්‍රතිපාදන වෙන් කරති. මේ සංවිධානවල බලවත් ඉල්ලීම වන්නේ සියලු දරුවන් වෙනුවෙන් නිසි ගෞරවය, රැකවරණය හා ආදරය ලබා දෙනු යන්න ය. ඒ අනුව බුද්ධි සටන් වදින්නේ යුක්ති ධර්මයක් උදෙසා ය.

බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් කියන ලෙස මෘදු ගුණය ඇති අය ම දරුවන් දිනිය යුතු ය. බුද්ධි කියන ලෙස මෘදු ගුණය ම දරුවන් වෙත දැක්විය යුතු ය. එසේ නො වීමේ විපාක දක්වන සිංහල කෙටිකතා දෙකක් අප සිහියට නැ‍ඟේ. ඒ කතා දෙක ම රචනා කර ඇත්තේ මහාචාර්ය ඒ.වී. සුරවීර මහතා ය. පළමු කතාව “අකුරට යන වෙලාවේ” නම් වේ. දෙවන කතාව “තමන්ගේ දරුවෝ” නම් වේ.

අකුරට යන වෙලාවේ කෙටිකතාවෙන් කියැවෙන්නේ ඉගෙනීමෙහි ශූර හුරුබුහුටි එහෙත් දිළිඳු ගැමි දැරියක මෙහෙකාර සේවයෙහි යෙදවීමක් ගැන ය. ගෙහිමි කත වූ මිසිස් කරුණාපාලට ඊට සම වයස් දරු දෙදෙනෙක් ද සිටිති. ඔවුන් මෙහෙකාර දැරිය වූ මැණිකා තරම් විචක්ෂණ නැත. චතුර නැත. මේ අනුව මිසිස් කරුණාපාල මැණිකාට ඊර්ෂ්‍යා කරයි. නිගරු කරයි. දරුවා බලවත් පීඩාවට ද ලක් කරයි. “තමන්ගේ දරුවෝ” කෙටිකතාවෙන් කියැවෙන්නේ ඥාති දියණියක මෙහෙකාර සේවයෙහි යොදා ගැනීම පිළිබඳ සිද්ධියකි. එහි එන ලොකු හාමිනේ ගෙදර වැඩ සියල්ල ඥාති දියණියට පවරා සුවපහසුව ජීවත් වෙයි. ඇගෙන් මරව - මරවා වැඩ ගනී. තමන්ගේ දරුවාගේ කිවිසුම ගැන ද උනන්දු ‍වන ලොකු හාමිනේ ඥාති දියණිය ගේ අසනීප තුට්ටුවකට ගණන් නො ගනී. බලවත් කර්ණ ආබාධයකින් පෙළෙන ඥාති දියණියට වැරැදි අත් බෙහෙත් ලබා දෙන ලොකු හාමිනේ ඇගේ කන් අඩිය පළා දමයි. ඛේදවාචකයකින් කතාව නිමාවට පත් වේ.

දරුවන් අපේ අනාගතය ලෙස හඳුන්වන්නේ වුව දරුවන් උදෙසා සැලකීම පිළිබඳ බරපතළ ගැටලු සමූහයක් අප අතර පවතී. සමාජය තමන් ගේ දරුවාට එක් ආකාරයකටත්, අනුන්ගේ දරුවාට වෙනත් ආකාරයකටත් සලකති. එය ගැටලුවක් වන්නා සේ ම යුක්ති ධර්මයක් ද නො වේ. සියලු දරුවන් උදෙසා සමාන ව සැලකීම ශිෂ්ට සමාජයක ප්‍රතිපත්තිය විය යුතු ය. බුද්ධි ඇඟිල්ලෙන් ඇන පෙන්වන්නේ ද එය ම ය. වසර තිස් ගණනකට පෙර රචනා වූ‍ෙය් ද; අදටත් මේ කවිය වලංගු ය. හෙටටත් එසේ ම ය.

සාර්ථක කවියක් විඳීම නවකතාවක් කියැවීමට සමාන යැයි විචාරක මතයක් පවතී. එහි ප්‍රධාන තර්කය වන්නේ කවියක් මත වෘත්තාන්තයක් ඇත යන්න ය. එම වෘත්තාන්තය හෙවත් කතාන්දරය යනු කවියේ අත්දැකීම නො වේ. අනුභූතය ද නො වේ. එය මුළුමනින් ම සහෘදයා ගේ අත්දැකීම්, විඳීම් හා පරිකල්පනය මත ‍ගොඩනැ‍ඟෙන්නකි. බුද්ධිගේ බොහෝ ප්‍රබන්ධ විඳින කල එබඳු වෘත්තාන්ත ගොඩනැ‍ඟේ. කවියාගේ නිරූපණ හැකියාව ද ඊට බලපාන බව කිව හැකි ය.

“තැනින් තැන ඉරී ගිය කිලිටි වී ගිය ගවොම
දවස් ගණනාවකින් තෙල් පොදක් නොදුටු හිස”

මේ කවිය කියවන විට මගේ සිත දුවන්නේ කොළඹ කොම්පඤ්ඤවීදියේ පිහිටි ගුබ්බෑයමක් බඳු පරණ තැබෑරුමක් වෙත ය. අතුරු මාර්ගයකට මුහුණ ලා පිහිටි මේ තැබෑරුම ඉදිරිපිට කොට්ටම්බ ගසක් තිබිණි. ඒ ගස යට සිය මව ද කැටුව සිඟමන් යදින දැරියක් සිටියා ය. ඇගේ උඩුකය නිරාවරණය ය. ජංගි කොටයකින් සැරසුණු ඇය ළඟ ද පත්තර පිටුවක් තිබිණි. දැරියගේ ඉරණම් කතාව ඛේදයකින් අවසන් විය. එහෙත් දිනපතා ම පාහේ එම දැරිය දුටු අපි ඇය වෙනුවෙන් කිසිවක් ම‍ නොකළෙමු. බුද්ධිගේ කවි සිතට අනුව අපි වනා හී යුතුකම් හා වගකීම් නො දත් මිනිස්සු වෙමු. අප කල්පනා කරනුයේ අපේ ම දරුවන් ගැන පමණි. ලෝකයේ වෙනත් දරුවන් ගැන කම්පාවක් අපට නැත.

කලාකරුවා ස්වකීය වේදිතයන් අන්‍යයන් තුළ ද ජනිත කරවීම සඳහා මානව ක්‍රියාවලියක යෙදන්නේ යැයි ටෝල්ස්්ටෝයි කියා ඇත. බුද්ධිගේ වේදිත‍යන් ද සහෘදයා හොඳින් ග්‍රහණය කර ගනී. ඒ සඳහා ඔහු යොදන තවත් සාධක දෙකක් පවතී.

(I) සරලබව

(II) ජන රිද්මය

කවිය යනු බුද්ධියට වඩා හදවතට සමීප කලා මාධ්‍යයක් ය යන්න බොහෝ දෙනකුගේ පිළිගැනීම වී තිබේ. බුද්ධිගේ කවි පළමුව අමතන්නේ වේදිතයාගේ හදවත ය. මේ කවියත් එසේ ම ය. එහෙත් මේ කවි බුද්ධිය සමඟ ගනුදෙනු නොකරන්නේ යැයි තර්කයක් ගොඩනැඟීමේ හැකියාවක් ද නැත. නිදසුනක් ලෙස කවියා ඉල්ලා සිටින සමාජ සාධාරණත්වය හා එහි සංගෘහීත දේශපාලන මතවාදය බුද්ධිමය සංවාදයකට අඩිතාලම දමන්නේ යැයි කියන්නට පුළුවන.

කෙසේ වුව ඔහුගේ මානවීය ගුණය අයත්වන්නේ හදවතට ය. සරලබව හා ජන රිද්මය අයත්වන්නේ ද හදවතට ය. “ආනන්දයෙන් ප්‍රඥාවට” යන පැරණි කියමන ද මීට අදාළ ය. බුද්ධිගේ පද ලාලිත්‍යය යළිත් අප සිහියට නැ‍ඟේ. “තෙල් පොදක්;” “බත් උළක්” මේ කවියා දැන් කොහි ද?

Comments