
වැස්ස විසින් තෙතබරිත කරන ලද මඬ වුණු මාවත දිගේ මම වත්ත පහළට ඇවිද යන්නෙමි. හෙට-අනිද්දා වන විට මිනිස් දිවග රස නහර පිනවන්නට කැඩෙන්නට නියමිත තේ දලුවල ළා කොළ පැහැය පරිසරයට අපූර්වතම සාමකාමි බවක් උදා කර දුන්නේ ය. විකසිත වුණු පත්‍ර දෙකක් සමඟ තව මත් දිග නොහැරුණු පත්‍රය මෙරටට ආදායම් උපද්දවන උල්පතකි. සතියෙන් සතිය කඩා තේ කොළ බවට පත් කරන තේ දල්ල උපද්දවන්නට මේ මිහිතලය කොතරම් වෑයමක් දරන්නට ඇත් ද?
මෝරා තද කොළ පැහැයට හැරුණු මුල් පත්‍ර දෙස මම බැලුවෙමි. ඒවා නොසලකාහැරීම නිසා දෝ බෙහෙවින් ඝනකම් ව ලොකු වී තිබිණි. එහෙත් ඒ ඝනකම් පත්‍ර අතරින් විකසිත වුණු සුදු පැහැති මලක සියුම් රේණු සමුදාය බෙහෙවින් අලංකෘත වී ය. සුන්දර දේ බොහෝ විට තිබෙන්නේ සැඟවී ය. මිහිකත සිය සුන්දරත්වය පෙන්වන්නේ ද තමාට ආදරය කරන්නන්ට පමණි. ඉදින් තේ මල පිපෙන්නේ ද සැඟවීගෙන ය; ඒ අපෙන් මිස බඹර කැලගෙන් නම් නො වෙයි. මේ සුන්දර මල පිටුපස ඇති කඳුළු කතාව ඔබ නොදන්නවා විය නොහැකි ය. අසීමිත මිනිස් ශ්‍රමයත්, ඒ හා බැඳුණු දහඩිය කඳුළේ කතාවත් නිවැරදි සාක්ෂි සහිත ව ඉතිහාසගත කළේ සාහිත්‍යකරුවන් ය. තේ මල, කඳුළු මලක් වන්නේ ඒ ඉතිහාසය නිසා ය.
ඒ ඉතිහාසයට වගකිව යුත්තේ කවුරුන් ද? අප ම නො වේ ද? මිනිස්සු වැඩි දෙනෙක් ආත්මාර්ථකාමී වෙති. එහෙත් තමාගේ ආත්මාර්ථකාමී බව ගැන ඔවුහු නොදනිති; අනෙකාගේ ආත්මාර්ථකාමී බව ගැන ම පමණක් කියවති. මිනිස් ස්වභාවය එය යි.
යම්කිසි විදියකින් කෙනෙක් තම සිතෙහි පවත්නා ආත්මාර්ථකාමීත්වය හඳුනාගත හොත් ඔහු කුමක් කරනු ඇත් ද? බොහෝ විට ඔහු එය පරීක්ෂාකාරි ව සඟවාගෙන කොහොමත් ආත්මාර්ථකාමි සමාජයට ගැළපෙන පරිද්දෙන් ජීවත් වෙයි. ආත්මාර්ථකාමිත්වය විවිධ රූපාකාර ගනී. ඔබ දේශපාලනඥයකු නම් ඔබ සතු ආත්මාර්ථකාමිත්වය බලය, ජනප්‍රියත්වය සොයා යයි. එය යටපත් කරගෙන ඔබ කරන සෑම ක්‍රියාවක් ම සමාජ සුබසාධනය උදෙසා කරන බවක් කියයි. ඔබ යම්කිසි ආගමක් හා බෙහෙවින් සම්බන්ධ නම් ඔබේ විශ්වාසය, භක්තිය තිබෙන්නේ ඔබේ සිතිවිලි සාක්ෂාත් කරගන්නට ය. ඕනෑ ම විෂයයක් සම්බන්ධයෙන් මෙය පොදු කාරණයකි. පැවිද්දන්, පූජකයන් සම්බන්ධයෙන් වුව ද මෙය පොදු කාරණයකි. ගිහිගෙය හැරදමා යන පැවිද්දා පොදු අරමුණකට ගමන් කරන්නේ යැ යි කීවත් ඔහුත් මමත්වයේ අසීමිත ක්‍රියාකාරිත්වයට අවනත ව සිටී.
විද්‍යාඥයන්, දාර්ශනිකයන්, මහාචාර්යවරුන් ආදි සැම දෙනාට ම මෙය පොදු ය.මේ සියල්ලෝ ම විවිධාකාර ආත්මාර්ථකාමි ගමන්මාර්ගයන්හි නිමග්න වූවෝ වෙති. ඔවුන්ගේ අභිමානය ඔවුන් නිරත කාර්යභාරය වෙතට පවරා දෙනු ලැබ ඇත. මෙය මුළු ජීවිත කාලය පුරා පවතින්නකි. ළදරුවියේ ආරම්භ වී මහලු අවදිය දක්වා ම එය ඇදී යයි. තමන් සතු දැනුම නිසා අහංකාර වූ තැනැත්තා, නිහතමානිත්වය ගුරු කොටගැන්මට උත්සාහ කරන්නා, සේවකයාට බලය පෙන්වන ස්වාමියා, ස්වාමියා රවටන සේවකයා ආදි සැවොම මේ ගින්නෙන් දැවෙති.
මිනිසා වරින් වර මේ ආත්මාර්ථකාමිත්වය නැති කරගැනීමට ද විවිධ ක්‍රියාමාර්ග සොයයි. ඒ සඳහා ඔහු විවිධ අභ්‍යාස, භාවනා ක්‍රම, නිර්මාණකරණය ආදි බොහෝ ක්‍රම උපයෝගි කරගනු ලබයි. එහෙත් තමා පිටුපස තමන් කැමැති වුණත්, අකැමැති වුණත් සෙවණැල්ල එන්නා සේ ආත්මාර්ථකාමිත්වයත් පැමිණෙයි. එය පරාජය කරන්නේ තෘෂ්ණාව නැති කර රහත්ඵලයට පත් වූවන් ම පමණී. ඔබ, මම ආත්මාර්ථකාමිත්වය කොතරම් නැති කරගැන්මට උත්සාහ කළත් අපේ ම සිතිවිලිවලින් එය රිංගා යයි; ලිස්සා යයි. අවස්ථානුකූල ව එය ශක්තිසම්පන්න වේ; නැත හොත් දුර්වල වේ; එක් තැනකින් කොටු කරගන්නා විට තවත් තැනකින් මතු වෙයි.
අප සැමගේ ම ජීවිත මෙපරිදි ය. ඒවා සිනිඳු තලයක තබා පිරිපහදු කර සුන්දර ව තැබිය හැකි ඒවා නො වෙයි. විවිධ සිතිවිලි, මනෝභාව හා ක්‍රියාකාරීත්ව විසින් එයට විවිධ අර්ථකථන දෙයි; ස්වරූප දෙයි. ආත්මාර්ථකාමීත්වය මැඬ පවත්වාගන්නවා විනා නැති කරගැනීමට නොහැකි ව අපි සැම ළතවමු.
මේ සිතිවිලි තේරුම් ගෙන යම් තරමකට හෝ ඔබට පරාර්ථකාමි විය හැකි නම්, ඔබ ඔබේ සිතෙන් යම් තරමකට හෝ නිදහස් වනු ඇත. අසීරු වුවත් කිරීමට උත්සාහ කළ යුත්තේ එය නො වේ ද?