අහස යට... | Page 2 | සිළුමිණ

අහස යට...

 මුලින්ම දොළහේනෙ කඳු මුදුනට යද්දි මට යන්තම් අවුරුදු දහයක් විතර ඇති. පන්සලේ විහාරගෙයි චිත්‍ර අඳින්න ආපු ඇල්පිටියෙ ගුරුන්නාන්සෙට දොරණ තෙල් හොයන්න ඒ ගමන ගියෙ. යසස්සි පොඩි හාමුදුරුවොයි, මමයි තාර පාර අයිනෙ තියෙන කොක්කුඹුරෙ බෝක්කුව ළඟින් හැරිල දොළ පාර දිගේ ඉහළට නැග්ග. දිය සෙවෙල් පිරිණු ලොකු ගල්වලට සීරුවට අඩි තිබ්බ. දොළ පාර මග ඇරල දෙපැත්තෙ තියෙන කැකිල්ල, මාන පඳුරුවල එල්ලිල බඩ ගාගෙන ගිය තැනුත් තිබුණ. පොඩි හාමුදුරුවො තෙතබත් වුණ සිවුර අතට අරගෙන අඳනකඩේ පිටින් වැල්වල එල්ලිලා කන්ද තරණය කෙරුව.

කඳු මුදුන තරම් ලස්සන තැනක් මම ජීවිතේට දැකල තිබුනෙ නැහැ. මුදුනෙ එක යායට තියෙන ගල් තලාවට ළංවෙද්දි පන්සලේ විහාරගේ ඇතුළෙ දැනෙන සුවඳම දැනෙනව ඒ මහ විසාලෙට තියෙන දොරන ගහේ කඳෙන් මතුවෙන තෙල් සුවඳට. කන්ද පාමුල තාර පාරෙ පුංචි ගිනිපෙට්ටියක් තරම් පොඩියට පෙනුණ බස්, ලොරි නොපෙනී ගිහින් ගොරහැඩි සද්දයක් ඇහෙන්න ගත්නෙ බර දාල ගල්කඩුව කන්ද නගින කොට වෙන්න ඇති.

අපේ ගෙදර තියෙන ඉසව්ව හොයාගත්තෙ සුදුපාටට දිලිසෙන චෛත්‍යකයට මෙහායින් වහලෙට හෙවිල්ලපු අලුත් ටකරන් දෙකතුන හින්දයි. වෙල්යායෙ පුරන් කොටන මිනිස්සු පෙනුනෙ පුංචි කුරුමිට්ටො වගෙයි. සිංහරාජ කඳු වළල්ලට එහායින් ඉර ගිලෙන්න හදද්දි පොඩි හාමුදුරුවොයි මම ආපහු පන්සලට ඇවිත් හිටියෙ.

මම කියන්න හදන්නෙ දොරන තෙල් හොයන්න දොළහේනෙ කඳු මුදුනට ගිය ගමන ගැන නෙමෙයි.

දෙවැනි පාර කඳු මුදුනට ගියෙ ඇයි කියන්න, එතකොට මට අවුරුදු දහසයක් විතර ඇති.

තාර පාර පැනල කොක්කුඹුර බෝක්කුව ළඟින් දකුණට හැරිල දොළ පාර දීගේ කොච්චර වේගෙන් දිව්වද කියල මට මතක නැහැ. දිය පාර දිගේම කඳු මුදුනට නැග්ගද නැත්නම් මාන පදුරුවල එල්ලිල ගියාද කියල කියන්න මතකයකුත් නැහැ.

ගල්තලාව උඩදි පන්සලේ විහාරගේ ඇතුළෙ දැනෙන සුවඳවත් අඩුම ගානේ රූස්ස දොරණ ගහ තිබුණද කියලවත් මතක නැහැ. පරඬැල් වුණ කොට කලිසමේ ලොකු බොත්තම වෙනුවට අම්මගෙ හැට්ට කටු කැරැල්ලෙ ලොකුම කටුව අමුණල තිබුන. උඩුකයට මොකුත්ම නැතිව.

සිංහරාජ කඳු වලල්ල කළුවර ගිල ගනිද්දි මම ගල්තලාව උඩ වැතිරිල හිටියෙ. මුළු අහසම අඳුරුවෙලා පුංචි තරුකැට දෙක තුනක් විතරක් මා දිහා බලා උන්නා.

උදේ අතට ගත්තු හීල් බත් පිඟානෙ අහුරු දෙකකට වැඩිය කන්න ලැබුනෙ නැහැ. දොළ පාරෙන් බීපු වතුර උගුරු දෙක විතරක් පිපාසෙ නිමුවට බඩගින්නට වැඩිය හීතල සුළඟ වාවගන්න බැරි තරමට දරුණු වුණා.

ගල් තලාවෙන් පල්ලෙහා බැලුවම කළාමැදිරි එළිවගේ පෙනෙන පුංචි එළි මැද්දෙන් ලොකු එළියක් පෙනුනෙ අපේ ගෙවල් තියෙන හරියෙන්. සමහර විට මළ ගෙදර පැට්රල් මැක්ස් ලාම්පු එළිවෙන්න ඇති. කකුලෙ ඇඟිළි කරු අතරෙ හිරවෙලා හිටපු මොර ගෙඩියක් විතර කූඩැල්ල ඇඟිලිතුඩුවලින් ගලවල ගත්තම උණුහුම් ලේ අත පුරා ගලාගෙන යද්දි, අද උදේ මගෙ ඇඟපුරා විසිරුණ ලේවල උණුහුමම ඒ ලේවලත් දැනුණ.

ඒ මගෙ තාත්තගෙම ලේ. දවස තිස්සෙම කොහේ හරි ඇවිදල මහ රෑ ගෙදර බීමතින් එන තාත්තට මම වෛර කෙරුවෙ කොච්චර කාලෙක ඉඳලද කියන්න මතකයක් නැහැ. හැම මූසල රැයක්ම ගෙවෙන්නෙ මහ හයියෙන් හූල්ලන අම්මත්, පොඩි අක්කගෙ ඉකි බිඳුමත් එක්ක.

එදා රැය ගෙවුනෙත් එහෙමමයි, අක්කගෙ කෙඳිරියත් එක්ක අම්මගෙ සාප කිරීමට තාත්ත හැමදාම වගේ උත්තර දුන්නෙ සතෙකුටවත් දරාගන්න බැරි පා පහරවල්වලින්. වෙනද වගේම එදත් මම වේදනාවෙන් පැඳුරු කෑල්ල උඩ ගුලිවුණා.

පහුවෙනිද හීල් බත් පිඟාන මගෙ අතට දීපු අම්ම මුල්ලක ගුලිවෙලා නිදාගෙන හිටපු අක්කට කීවෙ “ දුවේ මේ අපරාදය මට බලාගෙන ඉන්න බැහැ, උඹ කොහේ හරි පලයන්” කියල. කුස්සිය එහා පැත්තෙ ඉඳල ආපු තාත්ත ආවේසයෙන් වගේ අම්මගෙ කෙස් වැටිය අල්ල ගන්නව මම දැක්ක.

බත් පිඟාන පැත්තකට විසි කරපු මගෙ අතට කිතුල් ලීයෙන් හදපු දොර පොල්ල ආවේ කොහොමද කියලවත් මතක නැහැ.

ඔළුව බදාගෙන තාත්ත බිමට ඇද වැටෙද්දි අම්මගෙ විලාපය ඇහුණ. කුස්සියෙ දොරෙන් එළියට පැනපු මම නතරවුණේ කන්ද මුදුනෙ තියෙන ගල්තලාව ළඟ”

මිනිස්සු පිරුණු නගරයේ වීදි පහුකරගෙන ගිහින් කහ ඉර උඩදි හම්බවුණු මුහුණ පුරා රුවුල වැවුණු සුදු කමිස කාරයා ආපහු හැරිල මා දිහා බලල නතර වුණා.

“මාව මතකද” එයා මගෙන් ඇහුව

“ගිය සතියෙ මම නිදහස් වුණා” කියපුවම මගෙ මතකය අලුත් වුණා.

“යමු කොහෙට හරි තේ එකක් බොන්න” මම යෝජනා කෙරුව.

ප්ලාස්ටික් පුටුවෙ වාඩිවෙලා තේ කෝප්පෙ අන්තිම උගුර බීල

“මම මහ අපරාධයක් කළ කෙනෙක්, කිසිම කෙනෙක් මට සමාව දෙන එකක් නැහැ. මම කරපු අපරාධයට අවුරුදු ගානක් හිර ගෙදර දඬුවම් වින්ද. මගෙ අතින් වුණ අපරාධය ගැන මගෙ හිතේ වේදනාවක් වගේම සතුටකුත් තියෙනව”

“මට යන්තම් තේරෙන කාලේ ඉඳන් අන්ත දුක් විඳපු මගෙ අම්මට ජීවිතේ අන්තිම කාලෙවත් නිදහසේ ජීවත්වෙන්න ලැබුණ එක ගැන හිතපුවම” කියල හිස් කෝප්පය මේසෙ උඩින් තිබ්බ.

චන්දන ගුණසිංහ 

Comments