HOLLYWOOD | සිළුමිණ

HOLLYWOOD

 බෙයොන්සේට ඔබාමාගෙනුත් සුබ පැතුම්

බ්ලූ අයිව්, පුංචි සිඟිත්තියක්. ඇගේ වයස අවුරුදු 5යි. පසුගියදා ඇගේ අම්මා, ඇයට නංගියෙකුයි මල්ලියෙකුයි තෑගි කළා. ඇගේ අම්මා තමයි, සුපිරි ගායිකා බෙයොන්සේ. ඔව්. මුළු ලොවම හඳුනන බෙයොන්සේ මෙලොවට නිවුන් දරුවන් දෙදෙනකු බිහි කළා. දැන් නිවුන් දරුවන් දෙදෙනාත් මවත් සුවසේ පසුවන බවයි මේ දරුවන් තිදෙනාගෙම පියා වන රැප් ගායක ජේ. ඉසෙඩ් පවසන්නේ.

බෙයොන්සේ දෙවැනි වතාවටත් මවු පදවිය ලබන්නට සූදානම් වන බව ප්‍රකාශ වුණේ පසුගිය පෙබරවාරි මාසයේදී. ඒ බව තහවුරු කළ සුපිරි ගායිකාව, තමන්ගේ අලුත්ම ඡායාරූපයක් ද ට්විටර් පිටුවට එකතු කළා. ඇය නිවුන් දරුවන් දෙදෙනකු ලබන්නට සිටින බව ප්‍රකාශ වුණේ මීට සති කිහිපයකට කලින්.

බෙයොන්සේ දෙවැනි වතාවට මෙලොවට බිහි කර ඇත්තේ දියණියක හා පුතකු බව කවුරුත් දැන ගත්තේ ඇයව බලන්නට රෝහලට පැමිණි කාන්තාවක් නිසයි. කවුරුත් නොහඳුනන මේ කාන්තාව රෝහලට පැමිණියේ නිල්, රෝස සහ දම් පැහැති විශාල මල් පොකුරක් සහ සුබ පැතුම් කාඩ් පතක් රැගෙනයි. එහි සඳහන් වී තිබුණු ‘Baby Girl’ සහ ‘Baby boy’ යන වචන දෙක අවට සිටි කාටත් හොඳින් පෙනුණු බවයි ආරංචිවල සටහන් වන්නෙ.

බෙයොන්සේටත් ජේ ඉසෙඩ්ටත් ඇමෙරිකානු හිටපු ජනපති බැරැක් ඔබාමා ද සුබ පතා තිබෙනවා. ජේ ඉසෙඩ්, බැරැක් ඔබාමාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට ද දායක වූ කලාකරුවෙක්.

අරියානාගේ විවාහයට රසිකයන්ගෙන් දොස්

එංගලන්තයේ මැන්චෙස්ටර් නගරය දෙදරා ගියේ එහි පැවැති සංගීත ප්‍රසංගයකට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමෙන්. මේ ප්‍රසංගයේ ප්‍රධාන චරිතය වුණේ සුපිරි ගායිකා අරියානා ග්‍රෑන්ඩේ. සංගීත ප්‍රසංගයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව තවත් ප්‍රසංගයක් මැන්චෙස්ටර්හිදීම පවත්වන්නට අරියානා පෙරමුණ ගත්තා. ඒ, ත්‍රස්ත ප්‍රහාරයෙන් ඛේදවාචකයෙන් විපතට පත්වූවන්ගෙන් සුබ සාධන කටයුතු වෙනුවෙන් ආධාර කිරීමටයි. මේ ප්‍රසංගය නිම වීමත් සමඟම ඇය, තම ජීවිතයට බලපාන වැදගත් තීරණයකට එළඹුණා. ඒ, මැක් මිලර් නම් වූ රැප් ගායකයා සමඟ විවාහ ගිවිස ගන්නටයි. මේ ආරංචිය සැලවූ විට බොහෝ දෙනකු අරියානාට දොස් පවරන්නට පටන් ගත්තා.

ඔවුන් පැවසුවේ තමන්ගේ ප්‍රසංගය නරඹන්නට පැමිණි රසික පිරිසක් අනතුරට පත්ව සිටිද්දී අරියානා ගත් මේ තීරණය නොගැළපෙන දෙයක් බවයි. අරියානාගේ දෙවැනි ප්‍රසංගය නරඹන්නට පැමිණි ඇතැම් අය ප්‍රකාශ කළේ ඒ ප්‍රසංගයේදී ඇය අත පැලඳි දියමන්ති මුද්ද හොඳින් පෙනුණ බවයි. මෙය විවාහ ගිවිස ගත් බව සපථ කළ මුදුව බව රහසක් නොවන බවත් සමහරු පැවසුවා. එය අරියානාට තෑගි කළේ මැක් බවයි පැවසෙන්නේ. අරියානා සහ මැක්ගේ ආදර කතාව පටන්ගත්තේ පසුගිය ගිම්හාන කාලයේදීලු. අරියානා පැවසුවේ ළඟදීම, තමන් මැක් සමඟ විවාහ වන බවයි.

කැටීගෙන් ‘ට්විටර් වාර්තාවක්’

යොවුන් රසික පරපුරේ ආදරය දිනාගත් සුපිරි ගායිකා කැටී පෙරීට පසුගියදා වාර්තාවක් තබන්නට හැකි වුණා. ඇගේ ට්විටර් පිටුවට මිලියන 100ක රසික පිරිසක් එක්වීමෙන් තමයි, ඇය එවැනි ජයක් ලැබුවේ. මේ අනුව ට්විටර් සමඟ සම්බන්ධ වී ගනුදෙනු කළ අය අතරින් මිලියන 100ක පිරිසක් සම්බන්ධ කරගන්නට සමත් වූ ලොව මුල්ම ට්විටර් ග්‍රාහිකාව වන්නේ කැටී පෙරීයි.

2009 දී ‘විට්නස්’ නම්වූ තම ගීත ඇල්බමය නිකුත් කිරීමත් සමඟ ඇය ට්විටර් වෙතින් සුබ පැතුම් පිරිනැමුණා.

කැටී ගැයූ ‘බොන් ඇපටිව්’ නම්වූ ගීතය ද පසුගිය මස ‘යූ ටියුබ්’ වෙබ් අඩවියට ඇතුළත් කෙරුණා. එම ගීතය නිකුත් කර පැය 24ක් ගතවෙද්දී එය මිලියන 16.8ක පිරිසක් නරඹා තිබූ බවයි හොලිවුඩ් මාධ්‍ය පවසන්නේ.

‘ඒබ්‍රහම් ලින්කන්’ රංගනයෙන් සමුගනී

ඩැනියල් ඩේ - ලෙවිස්, ඇකඩමි සම්මානයෙන් ද පිදුම් ලද විශිෂ්ට රංගන ශිල්පියෙක්. මේ වන විට 60 වැනි වියෙහි පසුවන ඔහු තීරණය කර ඇත්තේ රංගන ජීවිතයෙන් සමුගන්නටයි.

‘මයිලෙෆ්ට් ෆුට්’, ‘දෙයා විල් බී බ්ලඩ්’ සහ ‘ලින්කන්’ යන චිත්‍රපටවල ප්‍රධාන චරිත රඟපෑම වෙනුවෙන් ඔහු හොඳම නළුවාට හිමි ඇකඩමි සම්මානවලින් පුද ලැබුවා. ‘ගැන්ග්ස් ඔෆ් නිව්යෝක්’ සහ ‘ඉන් ද නේම් ඔෆ් ද ෆාදර්’ යන චිත්‍රපටවල ඔහු නිරූපණය කරන ලද චරිත වෙනුවෙන් ඔහුගේ නම ඇකඩමි සම්මානයන් සඳහා නිර්දේශ වූවා.

ඩැනියල් ඩේ ලෙවිස් ප්‍රකට ව සිටියේ වඩාත් තාත්විකව රංගනයෙහි යෙදෙන නළුවකු හැටියටයි. ඒ බව තහවුරු වන හොඳම සිද්ධිය හැටියට සටහන් වන්නේ ඔහු ‘ලින්කන්’ චිත්‍රපටයේ රඟපෑ විලාසයයි. එහි ප්‍රධාන චරිතය වූ ‘ඒබ්‍රහම් ලින්කන්’ ලෙස රඟපෑ හෙතෙම, රූගත කිරීම් සිදු නොවන විටදී පවා දර්ශන තලයෙහි ඒබ්‍රහම් ලින්කන් ලෙස හැසිරුණු බවයි පැවසෙන්නේ. ඔහු සිනමාවෙන් සමුගන්නට පෙර අවසන් වරට රඟපෑ චිත්‍රපටය, ‘පැන්ටම් ත්‍රෙඩ්’. මේ වසරේ නත්තල් දා මේ චිත්‍රපටයේ තිරගත කිරීම් ඇරැඹීමට නියමිතයි. 

Comments