BOLLYWOOD | සිළුමිණ

BOLLYWOOD

 අයේෂා, සයිබර් ගොදුරක් වෙලා?

මීට මාසයකට පමණ කලින් අයේෂා ටාකියා ගැන එක්තරා පුවතක් බොලිවුඩ් මාධ්‍යවල පළවීමෙන් පසුව කවුරු කවුරුත් ඇගේ මුහුණ දෙස වෙනදාටත් වඩා ඕනෑකමින් බලන්න පුරුදු වුණා. මේ හේතුවෙන් ප්‍රසිද්ධ උත්සවවලට ප්‍රිය සම්භාෂණවලට සහභාගි වීමේදී ඇයට අත්විඳින්නට සිදුවුණේ දැඩි අපහසුවක්.

මේ සුරූපී ජනප්‍රිය නිළිය තමන්ගේ මුහුණ තවත් ලස්සන කර ගැනීමේ අරමුණෙන් ප්ලාස්ටික් සැත්කමක් සිදු කර ගත් බවයි, බොලිවුඩ් මාධ්‍යවල සඳහන් වුණේ. මාසයක් පමණ නිහඬව ඒ ආරංචිවලට කන් දී සිටි අයේෂා, පසුගිය සතියේ ඒවාට ප්‍රතිචාර දැක්වූවා. ඇය කියා සිටියේ තමන් කිසිදු අවස්ථාවකදීවත් ප්ලාස්ටික් සැත්කමක් කර නොගත් බවයි.

“මමනම් එහෙම දෙයක් කර ගත්තෙ නෑ. හැබැයි, මාව සයිබර් අපරාධකරුවන්ගේ ගොදුරක් බවට නම් පත්වෙලා.” අයේෂා එලෙස කීවේ තමන්ගේ රුව අන්තර්ජාලයට මුසුකර ඇත්තේ මුහුණෙහි වෙනස්කම් කරමින් බව හඟවමින්. කෙසේ වෙතත් අයේෂාගේ ඡායාරූප ගත් ප්‍රවීණ ඡායාරූප ශිල්පීන් පවසන්නේ ඔවුන් කිසිදු අවස්ථාවකදීවත් ඇගේ මුහුණෙහි වෙනස්කම් කිරීමට උත්සාහ නොකළ බවයි. ඒ බව තහවුරු කිරීමට අවශ්‍යනම් අධිකරණ වෛද්‍ය විද්‍යාවේ සහාය ලබාදීමට කටයුතු කළ හැකි යැයි ද ඔවුන් පැවසුවේ සිනහමුසු මුහුණුවලින් යුතුවයි. ඊට වඩා අදහස් දක්වමින් අයේෂාව විවේචනය කරන්නට ඔවුන් උත්සුක වුණේ නැහැ.

මතට තිත තැබූ පූජා යළි ‘මත්වෙයි’

2003 දී තිරගත වුණු ‘පාප්’ නම්වූ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් ප්‍රවීණ නිළි පූජා භාට් බොලිවුඩ් සිනමාවේ දැවැන්ත පියවරක් ඉදිරියට තැබුවා. ‘පාප්’, ඇගේ කුලුඳුල් අධ්‍යක්ෂණයයි. එතැනින් පසුව රසික පරපුරට ඇයව හමු වූයේ චිත්‍රපට නිර්මාණකාරියක හැටියටයි.

නැවතත් ඇය රංගනයට පිවිසෙන්න ලකලැහැස්ති වෙමින් සිටිනවා. ඒ, ‘සිටි ඔෆ් ඩෙත්’ නම්වූ නවකතාව අනුව නිර්මාණය වන චිත්‍රපටයෙන්. පූජා මෙහි රඟන්නේ මත්පැන්වලට ඇබ්බැහි වූ පොලිස් නිලධාරිනියකගේ චරිතයක්. මෙවැනි චරිතයක් නිරූපණය කරන්නට එහි අධ්‍යක්ෂ කෞස්තව් නියෝගි වෙතින් ආරාධනය ලැබුණු මොහොතේ පූජාගේ සිත තිගැස්මකට පත්වුණා. ඒ ඇයිදැයි අපි ඇගේම වචනවලින් කියවමු...

“මම මේ නවකතාව කියවල තියෙනවා. කියවපු දවස්වලම මටත් හිතුණා, ඒ නවකතාවේ පොලිස් නිලධාරිනියගේ චරිතය රඟපාන්න ඇත්නම් කියලා. හිතුව වගේම මට ඒ චරිතය ලැබුණා. හැබැයි, ඇත්තටම ඒ චරිතය භාර දුන්නනම් මට බයක් දැනුණා. හරියට කරන්ට් එක වැදුණා වගේ. මොකද, මගේ ජීවිතයේ ප්‍රමුඛතාවය දැන් නම් මත්පැන්වලට නැති නිසා. මේක මට කෙරුණු සරදමක් වගේ. මත්පැනට ඇබ්බැහි වෙලා හිටපු මම එයින් ඈත්වෙලා ආයෙමත් රඟපාන්නෙ මත්පැනට ගිජු වූ පොලිස් නිලධාරිනියක් හැටියට.” චිත්‍රපට කතාවට අනුව මේ පොලිස් නිලධාරිනිය පදිංචිව සිටින්නේ කොල්කටා නගරයේ. පූජාගේ අත්තම්මාගේ ගම් ප්‍රදේශය පිහිටියේත් කොල්කටාවේයි. “මගේ අත්තම්මා හිටියේ කොල්කටාවේ, ආමේනියන් නිවාසවලයි. මේ පළාත චිත්‍රපටවලින් අපි දැක්කෙ නැහැ. හරිම ලස්සන ප්‍රදේශයක්. නමුත් දැන් ගරා වැටෙමින් තමයි පවතින්නෙ” පූජා, මතකය අලුත් කළා. ‘සිටි ඔෆ් ඩෙත්’ චිත්‍රපටයේ රූගත කිරීම් ලබන දෙසැම්බරයේදී ඇරැඹීමට නියමිතයි.

කරීනාගෙන් සාරාට සාදයක්

කොයිතරම් වැඩ කටයුතු තිබුණත් කරීනා කපූර් පසුගියදා සාදයකුත් පැවැත්වූවා. සමීපතම ඥාතියෙකු වෙනුවෙන් තමයි එය සංවිධානය කර තිබුණේ. කවුරුන් වෙනුවෙන් ද මේ සාදය පැවැත්වුණේ? සාරා අලි ඛාන් වෙනුවෙන්. දැන් යොවුන් වියට එළඹ සිටින ඇය තමයි, සායිෆ් අලි ඛාන්ගේ කලින් විවාහයේ වැඩිමල් දියණිය.

කරීනා, ඇය වෙනුවෙන් මෙලෙස තම ප්‍රසාදය පෑවේ ඇයට සිනමා නිළි වරම් ලැබීම නිමිත්තෙන්. සාරා අලි ඛාන් පසුගියදා චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් නිරූපණය කිරීමට තෝරා ගත්තේ අධ්‍යක්ෂ අභිෂේක් කපූර්. සාරා ඒ චිත්‍රපටයේ රඟපාන්නේ සුශාන්ට් සිං රාජ්පුට් සමඟයි. සාරා, කරීනා සංවිධානය කළ සාදයට පැමිණියේ හර්ෂ්වර්ධන් කපූර් එක්කයි. ඔහු ඇගේ පෙම්වතා යැයි කටකතාවක් ද පැතිරී ගොස් තිබෙනවා. මේ හේතුවෙන් දෙදෙනා වෙත මාධ්‍යවල කැමරා එළි එල්ල වුණේ විදුලි කොටන අයුරින්.

මේ සාදයට යොවුන් නිළි රියා චක්‍රබෝර්ති ද පැමිණ සිටියා. ඇය සුශාන්ට් සිංගේ පෙම්වතිය වී සිටි බවට කටකතාවක් ද තිබුණා. නමුත් සාරා, මේ සාදයට එක්වී යළි පිටවී ගියේ රියා එක්කයි. කිසිම ප්‍රශ්නයක් ඇතිවුණේ නැහැ. 

Comments