
පසුගිය දා පැවැති රයිගම් ටෙලි සම්මාන උළලේ දී ජනප්‍රියතම නිළිය ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවේ යෞවනයේ හදවත් වලට ආදරණීය ලෙස ආමන්ත්‍රණය කරමින් රංගනයේ යෙදෙන පුංචි තිරයේ කුමරිය වූ නයනතාරා වික්‍රමආරච්චි යි. අද රසඳුන 3 වැනි පිටුව වෙන් වෙන්නේ මේ පුංචි අහිංසකාවිය වෙනුවෙන්. සම්මාන රාත්‍රියේදී ඇය සිය සතුට 'රසඳුන'සමඟ බෙදා ගත්තේ මේ අයුරිනි.
ලැබුණු සම්මානය ගොඩක් ලොකුයි වගේ ?
ඔව්. ඒ වගේම ගොඩක් බරයි.
ලංකාවේ ජනප්‍රියම නිළිය වෙන්න ලැබුණු එක ගැන මොකද හිතෙන්නේ?
ඇත්තටම ගොඩක් සතුටුයි. කියාගන්න බැරි තරම් සතුටක් දැනුණා.
හිතුවද, ජනප්‍රියම නිළිය සම්මානය ලැබෙයි කියලා?
ප්‍රේක්ෂකයන්ගේ ආදරේ තියෙනවා කියලා දැනගෙන හිටියා. ඒත් ජනප්‍රියම නිළිය සම්මානය ලැබෙයි කියලා ලොකු බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. නමුත් ප්‍රේක්ෂකයන්ගේ කැමැත්ත ඒක වෙලා තිබුණා. ඉතිං ගොඩක් ගරු කරනවා මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට.
ඔබට මේ සම්මානය ලැබෙන්නේ 'දෙවැනි ඉනිම' ටෙලි නාට්‍යයේ රංගනය වෙනුවෙන්
ඔව්. ඇත්තටම මම මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕන 'දෙවැනි ඉනිමේ' සාරංග මෙන්ඩිස් අධ්‍යක්ෂක තුමාට, ඒ වගේම දෙවැනි ඉනිමේ කණ්ඩායමට සහ දෙරණ ආයතනයට. දෙව්මි කියන චරිතය පුදුම විදියට ප්‍රේක්ෂකයන් අතරට ගිහින් තිබුණා. ඒ දේ එළියට බැස්සට පස්සේ , ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර වලින් ගොඩක් දැනුණා. ඇත්තට ම ලොකු සතුටක්.
ඇයි 'දෙව්මිට' ප්‍රේක්ෂකයන් ගොඩක් ආදරේ කරන්නේ ?
මම හිතන්නේ, හැම දෙයක්ම ප්‍රේක්ෂකයන් අතරට යන්නේ ලොකු කාර්ය භාරයකින් පස්සේ. මුලින්ම පිටපත,ඊට පස්සේ අධ්‍යක්ෂණය සහ අනිත් හැම කෙනෙක් ගෙන්ම ලැබෙන සහයෝගය. ඒ දේත් එක්කම මම මගේ චරිතය තුළින් ගොඩ නගා ගන්නා දේ.. ඒ හැම දෙයකම සම්මිශ්‍රණයක් වෙලා තමා ප්‍රේක්ෂකයන් අතරට යන්නේ. මම හිතන්නේ හැම කෙනෙක්ගෙන්ම මට ලැබුණු උදව්ව සහ ඒ චරිතය තුළ තියෙන ගති ගුණත් එක්ක 'දෙව්මි' චරිතයට ප්‍රේක්ෂකයන් ගොඩක් ආදරේ කරනවා. වැළඳගෙන තියෙනවා.
සැබෑ ජීවිතේ නයනතාරා 'දෙව්මි' වගේද?
ටිකක් වෙනස්. දෙව්මි ඉතිං හෝ...... ගලා මස්සිනා කෙනෙක් ගේ පස්සෙන් යනවා නේ.
ආ. දැන් නයනතාරා කවුරු පස්සෙද යන්නේ ?
නයනතාරා ට මස්සිනා කෙනෙක් නෑනේ පස්සෙන් යන්න.
යන්න නැති වුණාට පස්සෙන් කවුරු හරි ඇවිල්ලා ඇති නේ?
නෑ නෑ අම්මා , තාත්තා ඉන්න නිසා කාටවත් පස්සෙන් එන්න විදියක් නැහැ.
හැබැයි ඉතිං අම්මයි, තාත්තයි පස්සෙන් එන නිසා දූ වෙන කාගේ හරි පස්සෙන් යයිද දන්නේ නැහැ?
අනේ..... මස්සිනා කෙනෙක් නෑ මට.
දෙව්මිට, අර කිව් මස්සිනා ගෙන් ලැබෙන ආදරය මොන වගේද?
දෙව්මි ගොඩක් අනුහස් ගෙන් ආදරය බලාපොරොත්තු වෙනවා. එයා අනුහස්ට ආදරේ කරනවා. හැබැයි අනුහස්ට, දෙව්මි නම් තමන්ගේම නැගණියක් වගේ.
මතකද පාසලේදී ලැබුණු 'මුල්ම සම්මානය'
ඔව්. සඳලංකා මාධ්‍ය මහා විද්‍යාලයේදී 'සුරූපී සහ විරූපී' කියන ඩ්‍රාමා එකක් දක්ෂතම නිළියට සම්මානය ලැබුණා.
රයිගම් සම්මානය ලැබීමත් එක්ක ඔය හිතේ තියෙන ලොකුම හීනය ගැන කියන්න කැමැතිද?
හ්ම්.. මට ආදරේ කරන ප්‍රේක්ෂකයන්, මං ගැන විශ්වාසය තබමින් , මාව මේ තැනට ගෙනත් තියෙනවා. කැමැති හොඳ නිර්මාණ වලින් ඒ අය අතරට එන්න. ආසයි 'හොඳම නිළිය' වෙන්න.