සිනා කතා | සිළුමිණ

සිනා කතා

ලැබුණේ ඒ විදියට

“කොහෙන්ද අනේ ඔය චීන අකුරු ප්‍රින්ට් කරපු තුවා, ඇඳ ඇතිරිලි තොගයක් ඔයාට හම්බවුණේ? ඔයගොල්ලෝ ළඟදි චීනෙ සංචාරයකටවත් ගියාද?” තම කොණ්ඩය සකසා ගැනීම සඳහා සැලුන් එක වෙත පැමිණි කාන්ති එහි වූ තුවා සහ ඇඳ ඇතිරිලි අතපත ගා බලමින් ඇසුවාය.

“නෑ අනේ, චීනෙට නං යන්ඩ අපිට චාන්ස් එකක් ලැබුණෙ නැහැ. ඕවා මේ පාර ගංවතුර ගැලුව වෙලේ ආධාර විදියට බෙදුව දේවල් නෙ.” තෙල්මා කීවා ය.

“ගංවතුර ආධාර ලැබෙන්ඩ ඔයගෙලාල්ලෝ ගංවතුරට අහුවුණා යැ?” කාන්ති ඇසුවේ විමතියෙනි.

“ගංවතුරට නං අපි අහුවුණේ නැහැ. ඒත් අපෙ මහත්තයට ගංවතුරට ආධාර දෙන කට්ටියක් අහුවුණානෙ.” තෙල්මා කපටි සිනාවක් පාමින් කීවා ය.

අහලා නැද්ද

“අපෙ සිංහල අලුත් අවුරුද්දයි, මාළු කඩෙයි, ලී බඩු සාප්පුවයි අතර ලොකු සම්බන්ධතාවක් තියෙනවයි කියලයි මට නං හිතෙන්නෙ.” දයාපාල පුවත්පත් කන්තෝරුවේදී උපාලි සමඟ කීවේ ය.

“පිස්සුද? ඔය වගෙ දේවල් කොහොමද සිංහල අවුරුද්දත් එක්ක පෑහෙන්නෙ?” උපාලි විමසුවේ විමතියෙනි.

“ඇයි හලෝ සිංහල අවුරුද්ද ලබද්දි සූර්යයා මීන රාශියෙන්, මේස රාශියට මාරුවෙනවයි කියල තියනවා තමුසෙ අහලා නැද්ද?” දයාපාල පැහැදිලි කළේ සිනාසෙමිනි.

මේවා බාල බඩු වෙන්ඩැති

ඔය නාලාගිරි ඇතාව රා පොවලා නේද බුදුහාමුදුරුවෝ ඉස්සරහට එව්වා කියන්නෙ. රා බීලා මත්වෙලා කුංචනාද ක‍රගෙන බොහොම ලොකු ජාතියෙන් ඉස්සරහට ආවත් ඇතා බුදුහාමුදුරුවෝ ඉස්සරහා වැඳ වැටිලා ෂේප්වුණානෙ. මම නං හිතන්නෙ ම නාලාගිරි ඇතාට පොවන්ඩ ඇත්තේ නියම කොලිටි රා වෙන්ඩ බැහැ.” අජිත් කී‍ෙව් පඩි දවසේ කාර්යාලයේ වැඩ අවසන් වී සුසන්ත සමඟ හීන් අඩියක් ගසමින් සිටියදී ය.

“මොකද මේ උඹට හිටිය ගමන් නාලාගාරි ඇතා බීපු රා මතක් වුණේ?” සුසන්ත ඇසු‍ුවේ සිනාසෙමිනි.

“නෑ මචං අපි මේ ඩ්‍රින්ක් එක දාලා සිංහයෝ වගෙ ගෙදර ගියාට ගෑනි දොර ඇරලා, ‘කොහෙද මනුස්සයෝ මෙච්චර වෙලා ගියේ?’ කියල සද්දයක් දාපු ගමන් අපිත් අර නාලාගිරි ඇතා වගෙ වෙනවනෙ. ඒ අපි බොන්නෙ කළවම් කරපු බාල අරක්කු නිසානෙ.” අජිත් කීවේය.

පළමුවැනියා

“මේ දවස්වල අපේ පුතාලගෙ ඉස්කෝලෙ වාර විභාගෙනෙ. අපේ පුතා තමයි විභාගෙට ලියලා ඉවරවෙලා ඉස්සෙල්ල ම එළියට එන්නෙ.” බන්දුල තම මිතුරු සරත් සමඟ කීවේ ආඩම්බරකාර හිනාවක් මුහුණේ රඳවා ගනිමිනි.

“එහෙම නං මෙදා සැරේ පුතණ්ඩියා ෂුවර් එකට ම පන්තියේ පළවැනියා වෙයි.” සරත් කීවේ .

“ඔව්... ඔව්... පළවැනියා වෙයි. හැබැයි විභාගෙන් නෙමෙයි. වැඩබැරි දාසලගෙන් පළවැනියා වෙන්නෙ එයා තමයි.” බන්දුල කීවේ තම කෝපය යටපත් කර ගනිමිනි. 

Comments