සතර සවිය සහ නෙළුම 9 | Page 2 | සිළුමිණ

සතර සවිය සහ නෙළුම 9

ප්‍රථමයෙන් ම මා සිනමා කැමරාව ඉදිරිපිට රඟපෑවේ නුවර පාරේ බැලුම්මහර හන්දියේ වෙළෙඳ පොළේදී ය. ඒ එඩී ජයමාන්න සහ ශ්‍රීමතී රසාදරී සමඟිනි. චිත්‍රපටය ‘සම්පත’ යි. එම අවස්ථාව මට උදාකර දුන්නේ ‘සීගිරි කාශ්‍යප’ චිත්‍රපටයේ නිෂ්පාදක වෝල්ටර් මේඩිස් ගේ වැඩිමහලු පුත්‍රයා වූ බර්නාඩ් මේඩ්ස් ය.

ඔහු සම්පත චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂකවරයා ය. අධ්‍යක්ෂ වූයේ එල්.එස්. රාමනාදන් මහතා ය. එම චිත්‍රපටයේ රඟපෑම මට අසීරු විය. ඊට හේතුව අධ්‍යක්ෂවරයාට අවශ්‍ය අධි රංගනයක් නිසා ය. ඔහු කී අයුරින් මම හක්! හක්! ගා සිනාසෙන්නට අකැමැති වීමි. එහෙත් ඒ පළමු අත්දැකීම හොඳ පාඩමක් විය.

සෙනෙට් මන්ත්‍රී රෙජී පෙ‍ෙර්රාගේ ‘සැඬොල් කඳුළු’ චිත්‍රපටයේ භික්ෂු චරිතය මගේ චිත්‍රපට රංගනයේ මංගල අවස්ථාවක් වූයේ ය. ටෝනි රණසිංහ, ජෝ අබේවික්‍රම, අනුලා කරුණාතිලක එහි ප්‍රධාන චරිතවලට පණ දුන්නේ ය. ජී.ඩී.එල්. පෙරේරා මහතා මේ චිත්‍රපටයේ උපදේශක අධ්‍යක්ෂවරයා විය. එම්.එස්. ආනන්දන් මහතා කැමරා අධ්‍යක්ෂවරයා වූ අතර නිෂ්පාදනය කළේ සිලෝන් තියටර්ස් සමාගමයි. චිත්‍රපටයක පළමුවෙන් හිස මුඩු කළ නළුවා වශයෙන් මා පිළිබඳව එකල පුවත්පත්වල පළවිය.

හිස මුඩු කරන ලද්දේ පැපිලියානේ සුනේත්‍රාදේවි පිරිවෙන් මහා විහාරයේදී ය. මෙම චිත්‍රපටයේ රඟපෑමෙන් ලත් මුදල මංගල උත්සවයට පිහිටක් විය. එහෙත් මඟුල් පිංතූරයේ මානමාලයාගේ රූපය වෙනස්වීම බොහෝ දෙනකුට දුකක් ගෙන දුන්නේ ය. කිතුල්ගල ප්‍රදේශයේදී රූපගත කෙරුණ මේ චිත්‍රපටයේදී එක් දිනක් පොද වැස්ස නිසා මඳකට නවතාලීමට සිදු විය. පොදවැස්සේ එම්.එස්. ආනන්දන් සහ ජී.ඩී.එල්. පෙරේරා සහ මම බස් නැවතුම් පළක පියස්සකට ගියේ ය. එවිට එතැන ගමේ කිහිප දෙනෙක් පැමිණියේය. ජී.ඩී.එල්. මගෙන් ‘අවසරයි හාමුදුරුවනේ! මේ විධියට චීවරයක් දමාගෙන චිත්‍රපට රඟපාන එක හොඳ ද?” කියා ඇසුවේ ය. “මහත්තයෝ! මං වැඩ ඉන්නේ දඹදිවයි. ලංකාවට එන්නේ කලාතුරකින්.

අපි කොහොමත් බණ කියන උන්නාන්සේලා! ඉතින් චිත්‍රපටයක දී කියන ධර්මානුකූල කරුණු හුඟදෙනකුට අහන්න දකින්න ලැබෙනවානේ” යනුවෙන් සිවුර ඇඳගෙන කීවේ බොරුවකි. මෙය අසා සිටි පිරිසේ දෙන්නෙක් ඉවත්ව ගියේ, මේ ඉන්නේ ඇත්ත හාමුදුරු, කෙනෙක් යනුවෙන් සිතා ය. ටික වේලාවකට පසු සුදු රෙද්දක් සහිතව පුටුවක් ගෙන විත්, අසුන්ගන්න අපේ හාමුදුරුවනේ කියා ආරාධනා කළේ ය.

සසුන් ගත නොවූ මම අසුන් ගතිමි. ගිලන් පස පිළිගැන්වූ අතර බුලත් හෙප්පුවක් ද ගෙනාවේ ය. මේ අතරවාරයේ අපට පෙනෙන ඉසව්වේ නිවසක සිටිමින් අපේ අතින් අය මොනවාදෝ රසවත් ආහාරයක් මට පෙන්වමින් අනුභව කරනවා දුටුවෙමි. බොරු නොකීවා නම් මටත් ඒ රසය විඳින්නට හැකියාව තිබුණි. එතැන සිටි උදවිය වැඳ නමස්කාර කළ අතර ඒ සියල්ලන් හට ‘සුවපත් වේවා!’ යි පැතුවෙමි.

ශාන්ති අබේසේකර මහතා විසින් අධ්‍යක්ෂණය කළ ‘සිදාදිදයෙන් හයක්’ නමැති ක්‍රියාදාම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් නිරූපණය කිරීමට ලැබුණි. ඒ චිත්‍රපටය ප්‍රදර්ශනය කරන කාලයේ කිසියම් වැඩකට කෑගල්ලට ගියෙමි‍. කොලු ගැටව් දෙදෙනෙක් ඕනෑකමින් බලනවා දුටිමි. නළුවෙක් ලෙසින් මා හඳුනාගෙන ඇති බව වැටහීම නිසා ඇති වුණේ පුදුම සතුටකි.

ඔවුන් මා ගැන පවසන්නේ කුමක් දැයි දැනගැනීමට බලවත් කැමැත්තක් ඇති විය. “උඹට මතකද අර උස එකා”. ඌ තමයි බෝතලේ උඩට විසි කරලා පිස්තෝලෙන් වෙඩි තියන්නේ මාර දක්ෂයෙක්.” එවිට අනෙක් කොලුගැටයා “කොයි එකාද බං” අර හීං එකා! ඌ තමයි නළුවා. ඒ සංවාදය මට මහත් ආස්වාදයක් වූයේ, එක් අයෙක් මගේ රසිකයෙක් වීම නිසා ය. “සිදාදියෙන් හයක්” චිත්‍රපටය තිරගත වන කාලයේදී කතරගම ගොස් එන අතර තංගල්ලේ දී ධීවර වෘත්තියේ යෙදෙන අයෙක්.

“ඇට්ටිං ටොප් මරු, අර පුටු උඩින් කකුල දාපු හැටි’ නියමයි, බෝතලේ උඩ දාල වෙඩි තිබ්බේ. මසුරං. මීට පස්සෙ මේන් රෝලක් මිසක් සයිඩ් පාට් බෑ හරි ද?” යනුවෙන් ඇඟිල්ල දික්කර අණක් දුන්නේ ය. ඒ රසිකයාත් මට ගෙන දුන්නේ ආස්වාදයකි. හැබැයි! ඒ රසිකයින් දෙන්නා දන්නේ නැති දෙයක් ඇත. බෝතලය උඩ විසිකර වෙඩි තියන්නේ කෑගල්ලේ දී ය.‍ බෝතලය කැබලිවලට විසිවෙන අයුරු ගන්නේ, කඩවතදී වෙනත් දිනයකදී ය.

‘හරි මග’ චිත්‍රපටයේ අධ්‍යක්ෂ ඩී.එම්. දාස් (මරියදාසන්) මහතා සහ එම චිත්‍රපටයේ ගීත රචකයා වූ ‘රසඳුන’ පුවත්පතේ ආරම්භක කර්තෘ වන ධර්මසිරි ගමගේ මහතා ද අපේ නිවෙසකට පැමිණියේ ය. ගේ සොයා ගැනීමට මඳක් අපහසු වූ නිසා, මරියදාසන්, අපේ නිවෙස අසල කඩයකින් “මුදලාලි අර ‘සැ‍ඬොල් කඳුළු’ චිත්‍රපටයේ බුදු හාමුදුරුවන්ගෙ ගේ කොහෙද තියෙන්නේ?” යනුවෙන් අසා ඇත. එය නිවැරැදි කළ බව ධර්මසිරි අයියා මට කීවේ අධික සිනහව මැද ය.

එම චිත්‍රපටයේ ප්‍රසිද්ධ නළු නිළියෝ හතළිස් දෙදෙනෙක් රඟපෑවේ ය‍. පන්සලකදී කැමරා ගත කරන ලදී. බෞද්ධ නොවන නළු නිළියන්ට හා අධ්‍යක්ෂකට උපදෙස් දෙන නිසා අධ්‍යක්ෂවරයා මා ඇමතුවේ CULTURAL MAN (සංස්කෘතික මිනිසා) යනුවෙනි. චිත්‍රපට අධ්‍යක්ෂ මරියදාසන් මහතා සියලුම නළු නිළියන්ට ඉතා හොඳින් නියමිත වේලාවට මුදල් ගෙවූ නිෂ්පාදකවරයකු ද විය.

එහෙත් ආදායම් වාර්තාව දුර්වල එකක් විය. දිනක් “සතිස්! ෆාමර්ගේ ඇඳුම මොකක්ද?” “කුඹුරේ වැඩ කරන කොට අමුඩේ‍” යයි මා කීවෙමි. ඔහු එය ප්‍රතික්ෂේප කොට රතුපාට රනින් ෂෝට් එකක් දෙමුයි කීවේ ය. මා එයට අකැමැති වූවත් ඔහු ගොවියාට කොට කලිසමක් ඇන්දුවේ ය.

සාර්ථක චිත්‍රපටයක් නිර්මාණය කරන්නට ඒ රටේ සංස්කෘතිය නිවැරැදි ලෙස අධ්‍යක්ෂවරයා දත යුතු ය. ලෝක ප්‍රසිද්ධ භාරතීය සිනමා අධ්‍යක්ෂ සත්‍යජිත් රායි ගෙන් වරක් මාධ්‍යවේදියෙක්, “ඔබ වෙනත් රටක සිනමා නිර්මාණයක් කිරීමට භාරගන්නේ නැත්තේ ඇයි?” යනුවෙන් නැඟූ ප්‍රශ්නයට “මා නොදන්නා සංස්කෘතියක් පසුබිම් වන දේ නොකරන බව” පවසා ඇත.

එමෙන් ම රායි ගෙන් මාධ්‍යවේදියෙක් මෙසේ ප්‍රශ්න කර ඇත. “ඔබ චිත්‍රපට නරඹන්නේ තෝරා ගෙනද? විවේක තිබෙන විට හැම එකක් ම බලනවා” “ඇයි ඒ?” කළ යුතු දේ හා නොකළ යුතු දේ එවිට ඉගෙන ගන්න පුළුවන්.” නළුවකු වශයෙන් චිත්‍රපටවල මා ද රඟපෑවේ තෝරාගත නොවේ. නිර්මාණ කරුවකුට හොඳ ගුරුවරයා අත්දැකීම් ය.

විවිධ අධ්‍යක්ෂවරුන් සමඟ නිර්මාණවලට දායක වීමේදී නිරන්තරයෙන් ඉගෙනීමට ලැබෙන දේ ඉතාමත් වටිනා බව වැටහෙන්නේ, තමා ද නිර්මාණකරණයේ යෙදෙන විට ය. එමෙන් ම අවංකවම තම අදහස් ප්‍රකාශ කරන රසික ජනතාවගෙනි. තව ද මිනිසුන් ගැන හරි හැටි දැනගත හැක්කේ ද මිනිසුන් සමඟ ළඟින් ඇසුරු කරන විට ය.

බණ්ඩාරනායක අනුස්මරණ ශාලාවේදී (BMICH) වේදිකා ගත කළ ‘මහහේනේ රීරි යකා’ වේදිකා නාට්‍ය ගුණසේන ගලප්පත්ති ශූරීන්ගේ අධ්‍යක්ෂණයකි. සහාය නිර්මාණකරුවා වූයේ ධම්ම ජාගොඩ මහතා ය. නාට්‍ය පිටපත සකස් කළේ එස්.ඩබ්.ආර්.ඩී.‍ බණ්ඩාරනායක මහතාගේ ‘මහහේනේ රීරි යකා’ කෙටිකතාවෙනි.

මෙය නිෂ්පාදනය කළේ හිටපු අමාත්‍යවරයකු වන ලක්ෂ්මන් ජයකොඩි මැතිතුමා සමඟින් සුනේත්‍රා බණ්ඩාරනායක මැතිනිය විසිනි. එම නාට්‍යයේ ප්‍රධාන චරිතය වන ඩොක්ටර් ලිවේරාගේ චරිතය ම විසින් නිරූපණය කළේ පළමු වන දිනයේ විලියම් ගොපල්ලව ආණ්ඩුකාරතුමාගේ ප්‍රධානත්වයෙනි. දෙවැනි දින එම චරිතය නිරූපණය කළේ ධම්ම ජාගොඩ මහතා ය.

එදින ප්‍රධානත්වය සිරිමාවෝ ආර්.ඩී‍. බණ්ඩාරනායක මැතිනියයි. මෙම නාට්‍ය පුහුණුවන අතරතුර මට තදබල අසනීපයක් සෑදුනි. වහාම මහ රෝහලට රැගෙන ගොස් මට සුවය ලැබෙන තෙක් ජයකොඩි මැතිතුමාත් සුනේත්‍රා මැතිනියත් විශාල කැපවීමක් කරන ලදී. මා මිය යන බවක් වැටහී මගේ මංගල මුද්ද ගලවා ගාමිණී ගනේගොඩ මගේ මිතුරාට දුන්නේ, බිරියට මෙය භාර දෙන ලෙස ඉල්ලමිනි. වෙද කමත්, හෙද කමත් දෙකම නොවඩුව ලත් නිසා ජීවිතය බේරුණි.

ලබන සතියට...

 

Comments