ලාල්ගේ කවි සංකල්පනා දෙවිස්සක් රූ අතර | සිළුමිණ

ලාල්ගේ කවි සංකල්පනා දෙවිස්සක් රූ අතර

 ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ පහුගිය 23 - 25 දක්වා තිබුණු ප්‍රදර්ශනයක සමීප රූපය ඉන්ද්‍රචාපගෙ මෙවර සමීප රූප අතර. ප්‍රදර්ශනයෙ නම සොළොසක් රූ - ලාල් හෑගොඩ ඡායාරූප අත්දැකීම්. ප්‍රදර්ශනය නරඹන්නට අවසාන මොහොතෙ එක්වුණු ඉන්ද්‍රචාප දැක්කෙ සොළොසක් රූ වෙනුවට දෙවිස්සක් රූ. සමීප රූපයේ පෙනෙන ලාල් හෑගොඩ, තමන්ගෙ සමරු කලාපයේ නාමාවලියෙ (catalogue) රූ විසි දෙකක නම් සඳහන් කරනවා. සොළොසක් රූ ගෙන සියල්ල සම්පාදනය කළ පසු ජනිත වන කලලයන් කෙසේ ගබ්සා කරම් ද කියා පවසන ලාල්, සොළොසක් රූ දෙවිස්සක් කොට අපට පුදනවා. 17 - 22 රූ අතර කෙසේවත් ගබ්සා නොවිය යුතු රූ තිබුණා කියල ඉන්ද්‍රචාපට කල්පනා වුණේ, බුදුන් දැකීම වගේ රූපයක් සමඟ. ලාල් හෑගොඩ සත් සාළිස් වසක් පමණ ඡායාරූප ශිල්පය උගන්වන, ගුරුවරයෙක් වගේ නිර්මාණශීලි, අපූරු ඇසක් සතු ඡායාරූප ශිල්පියකු ලෙස අප හඳුනන බව ඉන්ද්‍රචාප දන්නවා. ඡායාරූප ශිල්පයෙන් කවියට ආගමනය වෙමින්, කවියත් අත් නොහැර සිටින ලාල්, මා මිනිසෙක් ඔබ’ ගඟක් නිසා (1994) සිට මේ දක්වා පළ කර තියෙන්නෙ, කවි පොත් පහක් පමණයි. පසළොස්වක සඳ මගේය, සඳුන් අරටුව දැල්වූයේ ඔබයි ගඟ වක්වී ගලන තැන සමඟ මෙකව මෙතනින් නවතමි’ ඒ කවි පොත්. කවිය මෙන්ම ලාල්ගෙ ප්‍රමුඛ ඡායාරූපකරණය, ඡායාරූප ප්‍රදර්ශනත් ඉන්ද්‍රචාපගෙ සමීප රූපාවලියෙ. ප්‍රොයිඩ් දියණියගෙ (1971) සිට සොළොසක් රූ තෙක් ප්‍රදර්ශන හතරයි. ජනේලය තුළින් (1993) රූප ඡායා (2005) අනෙක් ප්‍රදර්ශනය. ප්‍රොයිඩ් දියණිය, 1971 ප්‍රදර්ශනයෙ සමහර ඡායාරූප ඉන්ද්‍රචාපට තවමත් මතක් කරන්න පුළුවන්. ලාල්ගෙ කැටලොගයේ සොළොසක් රූ බිහි කිරීම ගැන මෙහෙම ලියල තියෙනවා.

“මා ගත කළ ජීවිතයේදී සමාජය මා වෙත සාධාරණ ලෙස ද, විටෙක අසාධාරණ ලෙස ද ක්‍රියා කළේය. විටෙක රිදුම් ද සැනසුම් ද ඇති විය. ප්‍රීති ප්‍රමෝදයන් ද අපමණ විය. අද මම සොළොසක් රූ මඟින් සමාජය වෙත ප්‍රතිචාර දක්වමි.” ලාල් ප්‍රතිචාර දැක්වීමට දෙවිස්සක් රූ තෝරා ගැනීම පිළිබඳ ඉන්ද්‍රචාප මෙන්ම ඔහුගේ කවියට ඡායාරූපයට ලොල් වඩන හැමෝගෙම ප්‍රතිචාර යහපත් විය යුතු කියල ඉන්ද්‍රචාප කල්පනා කරනවා.

සොළොසක් රූපාවලියට එක්වූ අලුත් රූ සමඟ ඉන්ද්‍රචාප අත්වින්දෙ කවි පොතක් කියවල අවසන් වුණාට පස්සෙ දැනෙන සතුටක් වගේ හැඟීමක්. දෙවිස්සක් රූහි සෑම රුවකම කවියකට ගන්න පුළුවන් කවි නිමිත්තක්, සංකල්පනාවක් තිබුණ නේද කියල ඉන්ද්‍රචාපට දැනුණෙ සමහර රූපයක් එක් වතාවකට වඩා වැඩි වතාවක් නැරැඹුවට පස්සෙ. හරියට කවියක් දෙතුන් වතාවක් කියවල අවසන් වුණාට පස්සෙ, ඒකෙ, යටි අරුත්, හැඩතල දැනෙන්න, පෙනෙන්න ගන්නව වගේ. දෙවිස්සක් රූ අතර වර්ණ මෙන්ම, කළු සුදු රූ කිහිපයකුත් ඉන්ද්‍රචාපගෙ සමීප රූපවලට එක්වෙනවා.

ඒවා එකින් එක සංසන්දනය කරල, මේ රූ දෙවිස්සෙන් වඩාත්ම නිර්මාණාත්මක, ලස්සණ රූ මේවා කියල කියන්න ඉන්ද්‍රචාප කැමැති නෑ. මොකද, ඒවා එකකට එකක් වෙනස්. ඒත් හැම එකකින්ම අපට අපූර්ව රසයක් ගෙනෙන නිසා. පද්මා-ලතා, ශිෂ්‍යත්කරණය, අරුන්දතී (1 සහ 2) භව චාරිකා, දැදුරු ඔයේ මිලින මල, දිව්‍යමය මෙහෙවර, රූපකාර සියයකින් වෙස්ගෙන, සියවරක් පෙම් කළෙමි, ඇවිද යන දුර, නොදැමුණු සුන්දරත්වය, බුදුන් දැකීම වගේ රූ ඉන්ද්‍රචාපගෙ සිතට රිදුම් ගෙනා රූ. ඒවා නිසැකයෙන් ම කවියක් කියෙව්වට පස්සෙ, (හොඳ?) හිතට ළං කරන, සසල කර වීම, රිදවීම ඇති කළ රූ. ඉන්ද්‍රචාපට කල්පනා වුණේ, කවියක වචනවලින් කියන්නට අපහසු බොහෝ දේ ලාල්ගෙ රුවක මුහුණකින්, සිදුවීමකින්, ඉරියව්වකින් ප්‍රබලව කියල තියෙනව නේද කියලා.

ඉන්ද්‍රචාපට මතක් වෙන්නෙ දිව්‍යමය මෙහෙවර (Divine Duty) කියල ලාල් නම් කරල තිබුණු වර්ණ රුව. ධාවනය වන යතුරු පැදියක රුවක්. පිලියනයෙ පිටුපස අසුනෙ ඉන්න තරුණ අම්මා කෙනෙක්. මල් වැටුණු සාරියක්. රතු පාට හැට්ටයක්. රතු පාට හෙල්මටයක්. තුරුලෙ ඉන්නා බිලි‍ඳෙක්. බිලිඳා අම්මගෙ මුහුණ දිහා බලාගෙන ඉන්නවා. අම්මා, ධාවනය වන යතුරු පැදියෙ යන ගමන්ම, බිලිඳු මුවට තම ළමැද විවර කරල කිරි දෙනවා. මේ රුව කොයිතරම් සංවේදී කතාවක් ද පවසන්නෙ? මෙතන කවි සිතුවිල්ලක් නොමැති ද?

මෑතකදී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙ මන්ත්‍රී මවක් තම බිලිඳාට කිරි පොවමින්, සභාව ඇමතූ ඡායාරූපයක් ඉන්ද්‍රචාපට මතක් වුණා. ඒත් ලාල්ගෙ රුව අපට පවසන කතාව, ඉතාම සංවේදීයි. කරුණා රසය දනවන්නක්. නොදැමුණු සුන්දරත්වය, කළු සුදු රුව, ලාල් සමාජයට දක්වන ප්‍රතිචාරයෙ විශිෂ්ට රුවක්. රුවට යෙදු නම පවා අපූරුයි. අපට සුන්දරව පෙනෙන වස්තුවක්, අපේ හිතට සතුටක්, නිවුමක් ඇති කරන, වස්තුවක්ම, ස්වභාව ධර්මයේ, විපර්යාසයක් විදියට නොදැමුණු විදියට සැපිරුණු මොහොත, ලාල්ගෙ රුවට එක්වෙලා තියෙන්නෙ, අදහගන්න බැරි විදියට. අලුත් කියවීමක් එක්ක. ලාල්ගෙ කවි කල්පනා හැංගුණු රූ දෙවිස්ස මතකයේ රැ‍ඳෙයි දිගු කලක්.  

Comments