පණ්ඩිත් අම­ර­දේ­වයන් මගේ දෙවැනි පියායි | Page 2 | සිළුමිණ

පණ්ඩිත් අම­ර­දේ­වයන් මගේ දෙවැනි පියායි

 රංගනය,ගායනය,වාදනය,සංගීත අධ්‍යක්ෂණය යන මේ කුමන පරාසයක වුවද ඔහු ඔහුටම අනන්‍යවූ චරිතයක් ගොඩනගාගෙන තිබේ. මෙරට ගීත කලාවේ සන්ධිස්ථානයක් සනිටුහන් කරන මේ සොඳුරු කලාකරුවා ගයන ගීත රස විදින්නන්ගේ සිත් සතන් නිවීසැනසෙයි .බොදු ගී,ළමා ගී,ආදර ගී,දේශානුරාගී ගී ආදි විවිධ තේමාවන් ඔස්සේ ගීත රැසක් ගායනාකර ඇති ප්‍රවීණ ගායන ශිල්පී ජගත් වික්‍රමසිංහ මෙවර අමතක නොවන මතක විශේෂාංගයට එක් වෙයි.

 

• පළමු වසර එළිමහන් පන්ති කාමරයක

1972 මුලින්ම පාසල් ගිය වසර.ඒ කොළඹ මරදාන අසෝක කනිෂ්ට විද්‍යාලයට.පාසලකට කියා කිව්වට කාලයක් යනකම් අපි අකුරු කළේ පාසල් බිමේ.ඒක හරිම අමුතු අත්දැකීමක්.මම හිතන්නේ කාටවත් මුහුණ දෙන්න සිදු නොවුණු අත්දැකීමක්.එළිමහනේ ඩෙස් බංකු දමා අපිට ඉගැන්නුවා.ටිකකලක් යනවිට දෙමවුපියන් පිරිස එක් වී ගොඩනැඟිල්ලක් ඉදිකර පන්තිකාමරයක් හැදුවා.ඉන් පස්සේ තමයි පන්ති කාමරයක ඉගන ගන්න ලැබුණේ. මට මතකයි පාසලේ විදුහල්පති ධර්මරත්න සර් හරිම වාසනාවන්ත උත්සහවන්ත ගුරුවරයෙක්.එතුමා පාසල සංවර්ධනයකර රටේ නමගිය පාසලක් බවට පත්කළා.

 

• උසස් පෙළ කළේ අනුරාධපුරේ

මගේ මව පියා දෙදෙනාම ගුරුවරු. වැඩිමහල් සහෝදරියක් , නැගණිය සහ මල්ලී තමයි අපේ පවුලේ සාමාජිකයන්.ජගත් වික්‍රමසිංහ දැන් නිවුණු චරිතයක් වුණාට ඒ කාලෙ ගෙදර අනිත් හැමෝටම වඩා දඟකාරයිලු.ඒ නිසාම අම්ම තාත්ත කොහේ ගියත් මාව එක්කරගෙන ගිහින්.දඟකළා කියා ඉගෙනුම් වැඩ අතපසුකරලත් නෑ. කොහොමහරි හොඳින් ඉගෙනගෙන ටික ටික ලොකු මහත්වෙනකොට දඟකාරකම් පහව ගියා කියල අම්ම කියනව මට මතකයි.අපේ ගෙදර අධ්‍යාපනයට හොඳ පරිසරයක් තිබුණා. පාසලෙන් හොඳ දැනුමක් ලැබුණු නිසාත් පහ වසර ශිෂ්‍යත්ව විභාගය හොඳින් සමත්වුවා.ඉන් පසුව කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත් කළා. එහිදීත් මට මතකයි මම කැපී පෙනෙන ශිෂ්‍යයකුව සිටියා. අ.පො.ස(සා.පෙ) ආනන්ද විද්‍යාලයේදි කළත් උ.පෙළ කරන්න ලැබුණේ නෑ.එයට හේතුව අම්මට සහ තාත්තට ගුරු සේවයේ මාරුවීම් ලැබී අනුරාධපුරයට යන්න සිදුවීමයි. අනුරාධපුරය මධ්‍ය මහා විද්‍යාලයට උ.පෙළ කරන්න ඔවුන් මාව ඇතුළත්කළා. මට මතකයි ඒ 1982 වසර. අනුරාධපුරේ ඒ කාලේ ත්‍රස්තවාදි ප්‍රශ්නය තදින්ම තිබුණා. අපේ ගෙදර තිබුණේ අනුරාධපුර ගුවන්තොටුපළට අල්ලපු ඉඩමක.ඒ නිසාම අපි නිතරම හිටියේ බයෙන්. වරක් ත්‍රස්තවාදීන් අපේ හිතවතුන් පිරිසක්ම ඝාතනය කර තිබුණා. පසුව අම්මයි තාත්තයි තීරණයකළා නැවතත් කොළඹට එන්නට.අනුරාධපුරේ වසර තුනක් ගෙවුණු කාලයට සමුදී නැවතත් කොළඹට ආපු දිනය තවමත් මතකයි.

 

•'රන් තාරකාවන්'ගායකයෙක් කළා

පළමුව ගායන ශිල්පියෙක් ලෙස අන්තර් ලංකා තරගයකින් ජයග්‍රහණය කළා.ඉන් පසුව එම තරගයේම අන්තර්ජාතික සමස්ත ලංකා තරගයෙන් පළමුවැනියා වුණා.මුල් කාලයේ ජගත් වික්‍රමසිංහ කියන්නේ ගායන ශිල්පියෙක් නෙවෙයි වාදන ශිල්පියෙක්.1988 වර්ෂය වන විට ජාතික ගුවන්විදුලියේ වාදන ශිල්පියෙක් ලෙස කටයුතු කළා.වරක් මගේ ජීවිතේ වෙනස්ම පෙරළියක් සිදුවුණා. ඒ ඊවන් සුවාරිස් මහතා පද රචනය කළ ගීත පහක් ගුවන්විදුලියේ පටිගතකළා. ඒ සඳහා සංගීතය සැපයුවේ මමයි. මේ ගීත පහෙන් අන්තිම ගීතය ගායනාකරන ගායන ශිල්පියා එදින ඇවිත් සිටියේ නෑ.පසුව එම ගීතය මට ගායනාකරන්න පුළුවන්ද කියලා ඇසුවා.මටත් ඇත්තටම ඒ වෙලාවෙ ආසාවක් ඇතිවුණා එම අභියෝගය බාරගන්න.'රන් තාරකාවන් දිලෙන රැයේ'ගීතය පදවැල් ලියාගෙන බලාගෙන ගායාකළා.පළමු වරට ගායනාකළ එම ගීතය නොසිතූ පරිදි ජනප්‍රිය වුණා.

 

• ප්‍රවීණයන්ගේ ඇසුර දිවිය එළියකළා

1991 ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ගේ ලෝක සංචාරයක් ආරම්භ කරනවා.ප්‍රසංග ගණනාවක් රටවල් ගණනාවක පැවැත්වෙන මේ වැඩසටහනේ සංගීත අධ්‍යක්ෂණයට යන්න මට අවස්ථාව ලැබෙනවා. එතකොට මට අවුරුදු 25යි. ඒ ලැබුණු වාසනාව මගේ ජීවිතයට ලැබුණු ලොකු අත්දැකීමක්. විශේෂයෙන් පණ්ඩිත් අමරදේවයන්ගේ ඇසුර ලබන්නට, ඔහුගේ සංගීත දැනුම ලබන්නට මට ඒ සංචාරයේදි හැකිවුණා. එතුමා මගේ දෙවැනි පියා ලෙසයි අදටත් මගේ ගෞරවය.1991වසර වනවිට මම ගායනය වගේම රංගනයෙනුත් ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය චරිතයක්. ඒ කාලයේ ජාතික රූපවාහිනියේ විකාශය කෙරුණු කන්දේගෙදර ටෙලිනාට්‍යයේ චරිතයක් නිරූපණය කළා.ජැක්සන් ඇන්තනි, ජයලත් මනෝරත්න, ශ්‍රියන්ත මෙන්ඩිස්, වීණා ජයකොඩි වැනි ප්‍රවීණ රංගන ශිල්පීන් හා ශිල්පිනියන් රැසක් සමග රංගනයේ යෙදුණු නිසා රඟපෑමේ අද්දැකීම් බොහොමයක් විඳගන්න හැකිවුණා.

 

• මාරක අනතුරකින් බේරුණා

1996 සාගර තරංගා ටෙලිනාට්‍යයේ රූගතකිරීම් සිදුකළේ මාලදිවයිනේ,මධුමාධව, නිල්මිණි, රොඩ්නි විදානපතිරණ ආදි නළු නිළියන් එයට සහභාගි වුණා. එහිදී අපි මාරක අනතුරකින් බේරුණා බෝට්ටු සංචාරයකදී. 1993 රඟපානවා 'බේබි'ටෙලි නාට්‍යයේ. එය පුනර්භවය ගැන කියවෙන්නක්. එහි රූගතකිරීම් සිදුවන්නේ බදුල්ල ප්‍රදේශයේ.මට මතකයි එක රූගතකිරීමක් තිබුණා පරණ මෝටර් රථයක නැග රුවනි ෆොන්සේකා සමග පල්ලමට ධාවනය කරන්න.එහෙම යද්දි මෝටර් රථය ප්‍රපාතයට පෙරළීයන දර්ශනයක් තමයි රූගතකරන්න තිබුණේ. බොහොම පැරැණි මෝටර් රථයක් හොයාගෙන තිබුණා. ඒ දර්ශනයට රුවනිට ඉන්න බෑ කිව්වාම වෙනත් ද්‍රවිඩ තරුණියක් ගෙන තිබුණා. ඇත්තටම පල්ලමට ධාවනයකරන විට මෝටර් රථය කන්දෙන් පල්ලෙහාට පෙරළෙන්න ගියා. යන්තම් දකුණු පැත්තට කපාගෙන කන්දේ හප්පගෙන තමයි බේරුණේ. එදා පෙරළුනානම් මගේ කෑලිවත් හොයාගන්න ලැබෙන්නේ නෑ. ඒ සිදුවීමෙන් පස්සෙ රංගනය ගැන තිබූ උනන්දුව අඩු වී ගියා.

 

• දුක්මුසු අවස්ථා ගණනක්

ජීවිතයේ හැම කෙනාටම මුහුණ දෙන්න වන දුක්මුසු අවස්ථා මටත් උරුමයි. පියාගේ වියෝව අදටත් දරාගන්න බැරි අවස්ථාවක්. ඒ 2001 වසර. අදත් පියා මතක්වන විට හිතෙන් දුක්වනවාර අනන්තයි. 1995ගොඩක්ම කම්පනයට පත් වු සිදුවීමක් වුණා. ඒ මේ ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ පුද්ගලයෙක් මට විරුද්ධව නඩුවක්දමා මුලින්ම උසාවියට යන්න සිදු වු නිසා. එදා තමයි මගේ ජීවිතේ මුලින්ම උසාවියකට අඩිය තිබ්බ දවස. 1998 ජනවාරි 28 ඒ නඩුවෙන් ජයග්‍රහණය කර නිදොස්කොට නිදහස්වෙනවා.ඒ වසර තුන පුරාවට බොහොම සිත් තැවුලට පත්ව සිටියා. අද වනතුරු මම ඔහුට විරුද්ධව කිසිම ක්‍රියාමාර්ගයක් ගෙන නෑ. විවිධ අය මාව පොළඹවන්න හැදුවා නිෂ්ශබ්දව නොසිට ඔහුට විරුද්දව ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස. ඒත් කවදාවත් එවැනි තතත්වයකට පත්වන්නේ නෑ. 2016 දි පණ්ඩිත් අමරදේවයන්ගේ අභාවය මට දරාගන්න බැරි වු සිදුවීමක්. ඔහු තමයි මගේ දෙවැනි පියා. මා සංගීත ක්ෂේත්‍රයට පිය නැගූ දිනයේ පටන් ගුරුහරුකම් දි මා මේ තැනට ගෙන එන්න කැප වු පුද්ගලයා ඔහුයි. එතුමාගේ වියෝව මගේ ජීවිතයට කිසිම දවසක අමතකවෙන්නෙ නෑ. ඒ ඇසුර ඒ තරමටම ප්‍රියයි.

1998 ගංගොඩවිල සෝම හිමිගේ අභාවයත් රටට ජාතියට මෙන්ම මගේ ජීවිතේටත් බලපෑවා. උන්වහන්සේව කලක් ළඟින්ම ඇසුරුකරනවා. ඒ වගේම අරිසෙන් අහුබුදු ශූරීන් හා වසර 20 ක් පමණ ඇසුරුකරනවා. එතුමන්ලාගෙන් ජීවිතයට ලබාගත් ගුරුහුරුකම් බොහෝමයි. ඒ අය යුග පුරුෂයන් ලෙස හැමදාමත් මතකයේ තිබෙනවා. ඔවුන් ජීවිතයට හමු වු සුවිශේෂී වු ගරුකටයුතු පුද්ගලයන්.

 

• විවාහයට වසර 17යි

2000ජුනි 22දවස ජීවිතේ සුවිශේෂි දිනයක්. ඒ විවාහය සිදු වු දිනය. ඇය ගයනි ප්‍රසංගිකා කොහොන. පසුගිය ජුනි 22ට අපි විවාහවී වසර 17ක් සම්පූර්ණයි. 2002මැයි 25පුතා ඉපදුණා. ඒ වෙසක් දවසක. එදා දවස තරම් ජීවිතේ සතුටු වු දවසක් තවත් නෑ. පසුව ලොකු දුවත්,පොඩි දුවත් ඉපදුණා. අද ඔවුන් තුන්දෙනාම හොඳින් අධ්‍යාපනය හදාරනවා.

 

• සම්මාන පිට සම්මාන

එදා මෙදාතුර ගීත 1500ක් පමණ ගායනාකර තිබෙනවා. ඒවාට ලැබුණු සම්මාන බොහෝමයි. හොඳම ගායන ශිල්පියා, සංගීත අධ්‍යක්ෂවරයා, ආදි සම්මාන වසර ගණනාවක්ම හිමිකරගත්තා. ජපානයේ බුන්කා සම්මානය, සුමති, රයිගම් ආදි විවිධ සම්මාන රැසක් ලැබී තිබෙනවා. පසුගිය වසරේ 2016 රාජ්‍ය සංගීත සම්මාන උළෙලේ මා නිර්මාණය කළ ළමා ගීතවල හොඳම ගායකයා, ගායිකාව, හොඳම සංගීත අධ්‍යක්ෂණයට සම්මාන හිමිවන්නේ මගේ යටතේ පුහුණු වු දරුවන් තිදෙනකුට, ඒ ගැන නිහතමානි සතුටක් තිබෙනවා. එන සතියේත් ලන්ඩන්,කිංස්බරි නගරයේ සද්ධාතිස්ස බෞද්ධ මධ්‍යස්ථානයේ ගලයායේ පියදස්සි හිමිගේ ජන්මදිනය වෙනුවෙන් පැවැත්වෙන උපහාර උළෙලේ පිළිගැනීමේ ගීතය ගායනාකරනවා. එය උන්වහන්සේට සෙත් පතා ‍පැවැත්වෙන උත්සවයක්. මෙවැනි ආගමික වැඩසටහන්වලට සහභාගිවීම මම බොහෝම කැමැත්තෙන් නිහතමානිව සිදුකරනවා.ඒවා ජීවිතේ මුහුණ දෙන්න සිදුවන හොඳ මතකසටහන්. 

 

 

Comments