
විසි අටයි - විසි අටයි
සරත් කොතලාවල අපට සිටින ප්‍රවීණතම රංගන ශිල්පියෙක්. වේදිකාව , පුංචි තිරය,සිනමාව යන ත්‍රිවිධ මාධ්‍යයන්හිම සිය අනන්‍යතාව ගොඩනඟාගත් මේ ප්‍රවීණයා ගැන අපූරු ආරංචියක් අපිට දැන ගන්නට ලැබුණා. ඒ තමයි ඔහුගේ කලා දිවියට වසර විසි අටක් සපිරීම. ඒ වගේම මේ අවුරුදු විසි අට සමරන මොහොතේම ඔහු රඟ පෑ විසි අට චිත්‍රපටයත් තිරගත වෙන්නේ ප්‍රේක්ෂකයන් ගේ ඉමහත් ප්‍රතිචාර ලබමින්. විසි අට අතරේ වාසානාවන්ත වූ මේ අපූර්ව රංගන ශිල්පියා අපිත් එක්ක විසි අට ගැන කතා කළා. ‘ විසි අට‘ කියන්නේ මගේ ජීවිතයේ වැදගත් අංකයක් බවට පත්වී තිබෙනවා. එක පැත්තකින් කලා දිවියේ 28 වැනි වසරයි අද මම සමරන්නේ.
අනෙක් අතට ප්‍රසන්න ජයකොඩිගේ ‘28‘ චිත්‍රපටය. මෙහිත් ප්‍රධාන චරිතයක් මම රඟ දක්වනවා. මේ සිදුවීම් දෙකම මගේ ජීවිතයේ දෛවෝපගත සිදුවිම් දෙකක් ලෙසයි මම දකින්නේ. 1989 දි තමයි මම කලාවට එක් වුණේ. අද වන විට විසි අට වසරක් ගත වෙලා. මේ දිනවල මගේ නවතම වේදිකා නාට්‍ය නිර්මාණය ‘ඒකා සාක්කුවේ‘ වේදිකා ගත වෙනවා. එය මගේ පස්වැනි වේදිකා නාට්‍ය නිර්මාණය. මීට පෙර ‘ද්වන්ධ‘, සූකරයෙක් සමඟ,නරි බුරති, ජයසිරිට පිස්සු, නාට්‍ය මම නිර්මාණය කළා. මේ දිනවල රට වටේ යන ‘ඒකා සාක්කුවේ‘ වේදිකා නට්‍යයට හොඳ ප්‍රෙක්ෂක ප්‍රතිචාරයක් ලැබෙනවා. මෙහි පුබුදු චතුරංග, සාරංග දිසාසේකර ප්‍රධාන චරිත නිරූපණය කරනවා.විසි අට වසරක් ගෙවුණු කලා ජීවිතය මට දෙවියන්ගෙන් ලැබුණු තෑග්ගක් ලෙසයි මම දකින්නේ. මට මතකයි 1989 දෙසැම්බරයේ දී ‘යක්ෂාධිගමනය ‘ නමින් මගේ පළමු වේදිකා නාට්‍යය නිර්මාණය කළා. එහි රචනය මගේ. මම උසස්පෙළ කළේ වාණිජ විෂයධාරාවෙන්. පසුව වසර දහයක් පමණ ගත වුණේ කලාව පිළිබඳ මගේ අධ්‍යයන කටයුතු වෙනුවෙන්. උසස් පෙළින් පසුව වීදි නාට්‍යවලට මම සම්බන්ධ වෙනවා.
ජයලාල් රෝහණගේ ‘දිරිය කැදැල්ල‘ වේදිකා නාට්‍යයට එක්වෙන්න මට අවස්ථාව ලැබෙන්නේ ජයන්ත අමරසිංහ මිතුරා මඟින්. පසුව ෂෙල්ටන් පයාගල සිනමා වේදියාගේ හමුවීමත් සමඟ සිනමාව පිළිබඳ දැඩි ලෝභයක් සිතේ ඇති වෙනවා. එතැන් පටන් වේදිකාවේ , සිනමාවේ බොහෝ නිර්මාණ වලට මම දායක වෙනවා. ඉන්පසුව කලාවේ විවිධ නිර්මාණ සහ චරිත වෙනුවෙන් සම්මාන ලබා ගත්තා.
ගෙවීගිය කාලය ගැන ලොකු සතුටක් වගේම ඉදිරියේ දී තවත් විශාල වැඩකොටසක් කලාව වෙනුවෙන් ඉටු කිරීමයි මගේ පැතුම
අගනාම අවස්ථාවක්
රජිත හිරාන් ගැන අමුතුවෙන් හඳුන්වා දෙන්න අවශ්‍ය නැහැ. මේ දවස්වල රජිත ඔහුගේ ජීවිතයම වගේ කැප කරලා තිබෙන්නේ චිත්‍රපට වෙනුවෙන්. සිනමා ජීවිතයට වැදගත් චිත්‍රපටයක රඟපාන්න රජිතට අවස්ථාව ලැබිලා. ඒ තමයි ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරිගේ ‘ඝරසර්ප‘ චිත්‍රපටය. ජයන්තගේ මේ සිනමා නිර්මාණයේ රඟපාන්න ලැබීම ගැන රජිත අපිත් එක්ක කතා කළා.
‘මම පළමුවැනි වතාවට තමයි ජයන්ත චන්ද්‍රසිරි මහත්මයාගේ සිනමා නිර්මාණයකට දායක වෙන්නේ. මෙය මම හිත්න්නේ මගේ කලා දිවියේ මම ලැබූ අගනාම අවස්ථාවක් ලෙසයි. වෙනස්ම ආකාරයේ චරිත නිරූපණයක් සහ වෙනස්ම අත්දෑකීම් ලබන චිත්‍රපටයක් වේවි මෙය. ඊට අමතරව තවත් චිත්‍රපට දහයක පමණ මේ දිනවල මම විවධ චරිත රඟ දක්වනවා. ඒ වගේම මම ප්‍රධාන චරිතය රඟ පෑ‘නෝනා හරි වසයි‘ තිරගත වීමට නියමිතයි.
ඇක්ෂන් - කට් ෂෙහානි මඩ වළේ
ෂෙහානි පෙරේරා කියන්නේ නවපරපුරේ සුරූපී නිළියක්. ඇය පසුගිය දවස්වල හර්ෂ උඩකන්ද අධ්‍යක්ෂණය කරන නවතම සිනමා නිර්මාණය ‘ෆේස් ටු ෆේස්‘ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයකට දායක වුණා. මෙහි ‘භාග්‍යා‘ කියන චරිතයට තමයි ඇය පණ පොවන්නේ. මේ චරිතය රඟපාන්න ගිහින් ෂෙහානි නොහිතුව අකරතැබ්බයකට ලක් වෙලා. කොහොම හරි මේ ගැන අපිටත් දැනගන්නට ලැබුණා. ෂෙහානි රඟපාන චරිතය ඇතුළත් පිටපත ෂෙහානිට ලබා දුන්නාම ඇය මේ චරිතය ගැන කියවලා ඒ චරිතයට රඟපාන්න කැමැති වුණා.
මේ චරිතයට අනූව භාග්‍යාට මෝටර් බයිසිකල් පැදීමටත් හැකියි. ෂෙහානිත් ඉතින් තමන්ට බයිසිකල් පදින්න පුළුවන් බවත් පවසලා චරිතයත් බාර අරගෙන. ඔන්න ෂුටින් පටන් ගත්තා. ෂෙහානිට තියෙන්නේ බයිසිකලේ තමන්ගේ සහාය නිළියවත් දාගෙන පදින්න. ඔන්න අධ්‍යක්ෂවරයා ඇක්ෂන් කිව්වා විතරයි. ෂෙහානි වේවලනවා. බයිසිකලෙත් අරගෙන සහය නිළියවත් දාගෙන යන්න පටන් ගත්තා. දෙන්නම ගිහින් ඇදගෙන වැටුණෙ මඩවලකට. මොනවා කරන්න ද ඇඳුම්වලත් හොඳටම මඩ තැවරිලා. පසුව සහාය නිළිය ෂෙහානිව දාගෙන බයිසිකලේ පදින විදිහට තමයි සියල්ල රූගත කරන්න සිදු වුණේ.
හරි පුදුම හමුවීමක්
මේනකා මධුවන්ති සුන්දරත්වයත් දක්ෂතාවයත් එක් තැන් කොට ගත් ජනප්‍රිය නිළියක්. මේ දවස්වල මේනකා ‘නැතිබැරි ටාසන් ‘චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාවක් රඟ දක්වනවා. ඒ රජිත හිරාන් (පිංපොං) සහ ටෙනිසන් කුරේ සමඟ. ඔවුන් සමඟ ගෙවෙන රූගත කිරීම් අතරතුර මේනකා ලබන විනෝදය නම් සුළුපටු නැහැ. ඉල කැඩෙන්න හිනා යන දේවල්ම තමයි සිදු වන්නේ. දැන් රජිතත් සමඟ හරි හරියට මේනකා රඟපෑවට රජිතගේ රඟපෑම් මේනකා දකින්නේ පාසල් යන දවස්වල. ඒ ගැන අපූරු කතාවක් අපිට දැනගන්න ලැබුණා.
‘ඒ දවස්වල ‘තට්ටු ගෙවල්‘ ටෙලි නාට්‍යයේ පිංපොං චරිතයට රජිත රඟපෑවේ අපේ නිවෙස අද්දරමයි. මම ඒ වෙනකොට නවය දහය ශ්‍රේණිවල ඉගෙනුම ලබනවා. පාසල නිම වී නිවෙසට පැමිණෙන කොට රජිත තට්ටු ගෙවල් නාට්‍ය යේ රූගත කිරීම්වල යෙදෙන හැටි දකිනවා. හරිම ආසාවෙන් තමයි නැරැඹුවේ. දැන් වසර ගණනකට පස්සේ එදා රජිත රඟපාන හැටි බලපු මම ඔහුත් සමඟ රඟපානවා. ජීවිතේ මොනතරම් පුදුමද? හරි පුදුම හමුවීම් තමයි සිදු වන්නේ. කියලා හිතෙන්නේ මේ වගේ දේවල් නිසයි.