එතෙර ජයගොස නඟන අපේ පපර සංගීතය | Page 4 | සිළුමිණ

එතෙර ජයගොස නඟන අපේ පපර සංගීතය

 

මේ දිනවල සිම්බාබ්වේ පිලේ මෙරට ක්‍රිකට් සංචාරයෙන් නැවතත් ප්‍රේක්ෂකාගාරයෙන් නද දෙන සුපුරුදු පපර සංගීතයට ප්‍රතිවිරුද්ධ ප්‍රේක්ෂකයන් ද ඇදි යනුයේ නිරායාසයෙනි. එම පපර සංගීතය මෙරට පැවැත්වෙන තරගවලදී බහුලව රැව් දෙනවා සේම වර්තමානයේදී ශ්‍රී ලංකා පිල ලොව කොතැනක තරග කළත් දක්නට ලැබෙන සුලබ දසුනකි. එසේ පසුගිය ශූරයන්ගේ කුසලානයේදී ශ්‍රී ලංකා තරගවලදී ප්‍රේක්ෂකාගාරය රැව්-පිළි රැව් දුන් පපර කණ්ඩායමක් නිතරම පාහේ රූපවාහිනී කැමරා කාචවලට හසුවිණි.

මෙරට වැසියන් වැඩිම පිරිසක් වෙසෙන එතෙර නගරය වන ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයේ ශ්‍රී ලාංකික පිරිසක් මුල් වී නිර්මාණය කරගත් ‘මෙල්බන් පපර බෑන්ඩ්’ යනුවෙන් හඳුන්වන එම පපර කණ්ඩායම ශූරයන්ගේ කුසලානයේදී ශ්‍රී ලංකා පිලට ශක්තියක් වීමට මෙවර එංගලන්තයට ගියේය.

දිහාන්, ගයාන්, නවින්, සංජය, ජානක, කසුන් යාපා, නටාෂා, චමල්, මංජු, දුලාන්, කසුන්, හර්ෂ, සමඟ සමාධි, උදේශි, දුමින්ද සහ ඔස්ට්‍රේලියන් ජාතික ට්රේන් ඇතුළු පහළොස් දෙනකුගෙන් යුත් මෙල්බන් පපර කණ්ඩායම ගැන එහි නායක දිහාන් නම්මුනි දේවගේ රසඳුනට මෙසේ අදහස් දැක්වීය.

“පිටරටක ජීවත් වුණත් දිනන පරදින සෑම විටම අපි හදවතින්ම ශ්‍රී ලංකා ක්‍රිකට්වලට ආදරෙයි. ඒ නිසා අපි හිතුවා අපේ කණ්ඩායම ඔස්ට්‍රේලියාවේදී තරග වදින විට දිරිගැන්වීමට මෙහෙම බෑන්ඩ් එකක් හැදුවොත් හොඳයි කියලා. අපි දැකලා තියෙනවා පිටරටවලදී සමහර ප්‍රේක්ෂකයෝ ආගම්වාදී, ජාතිවාදී අදහස් උලුප්පාගෙන ප්‍රේක්ෂකාගාර දෙවනත් කරනවා. මේ වගේ සංගීතයත් සමඟ ප්‍රේක්ෂකයන් එකතු වෙලා තරග නරඹන විට එහෙම දේවල් ඇත්තටම හිත්වලට එන්නෙ නෑ.

මෙවැනි පපර සංගීතයත් සමඟ සියලු ජාතීන් එක්ව තරගයක් නරඹන විට නොසන්සුන්තාවන්ට ඉඩක් නොමැති වග පවසන දිහාන් 2002 වර්ෂයේ ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ඕස්ට්‍රේලියානු සංචාරයකදී කලඑළි දුටු මෙල්බන් පපර කණ්ඩායමේ ආරම්භය ගැන පැවසුවේය.

“මෙල්බන් ක්‍රීඩාංගණයේදී ඔස්ට්‍රේලියා අගමැති පිලත් එක්ක අපේ ටීම් එකට තරගයක් තිබුණා. මම එදා මැච් එක බලන්න ට්‍රම්පට් එකකුත් අරන් ගියා. ඒත් මට ආරක්ෂක අංශ ට්‍රම්පට් එක ඇතුළට ගෙනියන්න දුන්නේ නෑ. අපි තරගය දිනුවා. පස්සෙ මං ට්‍රම්පට් එකත් අරන් එළියට ඇවිත් ‘සුරංගනී’ සින්දුව වාදනය කරමින් කාර් පාර්ක් එකට ආවා. එදා මැච් එක බලපු අපේ අය ඔක්කොම වගේ මගේ ඒ වාදනයට එකතු වෙලා නටලා, ගයලා හොඳ ජොලියක් ගත්තා. පස්සෙ එදා පාර්ක් එකේදිම සංජය මට කිව්වා, ‘අපි බෑන්ඩ් එකක් හදමු’ කියලා.”

එසේ පපර කණ්ඩායම බිහි වූවත් ඔස්ට්‍රේලියා ක්‍රීඩාංගණවලට ඇතුළුවීමට නම් නීතියෙන් අවසර නොලැබිණි. එහෙත් එදා 2002 තුන්කොන් තරගාවලියේ එංගලන්තය සමඟ ඇඩිලේඩ්හි පැවැති තරගයේදී දිහාන්ලාගේ සංගීත නාදයට ඇඩිලේඩ් බලධාරීන් අවසර දී ඇත. “එදා තමයි අපි ක්‍රීඩාංගණයක ප්ලේ කළ මුල්ම අවස්ථාව. අපි මැච් එකනම් පැරදුණා. ඒත් එදා විස්තර විචාරය අතරතුර ටෝනි ග්‍රේග් කිව්වා, ‘ඇඩිලේඩ් ඕවල් හරියට නිකන් ලංකාවේ බිග් මැච් එකක ක්‍රීඩාංගණයක් වගෙයි’ කියලා.

තරගය පරාද වූවත් ක්‍රීඩාංගණයෙන් පිටතට පැමිණි ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් දිහාන්ලා ඇතුළු පිරිසේ පපර සංගීතයෙන් ලබන ආස්වාදය දුටු සුප්‍රසිද්ධ එංගලන්ත චියර් කණ්ඩායම වන ‘බාමි-ආමි’ පිරිස පවසා ඇත්තේ, ‘උඹලා පරාද වෙලත් පුදුම සතුටක්නේ ලබන්නෙ’ යනුවෙනි. අවසානයේ විශාල පිරිසකගෙන් යුත් බාමි-ආමි කණ්ඩායමද අප වැයු තාලයට එක්වී නර්තනය විදහාපෑ බව දිහාන් පැවැසුවේ අතීත මතකය ආවර්ජනය කරමිනි.

ඔස්ට්‍රේලියා ක්‍රීඩාංගණවලට ඇතුළු වීමට නීතිමය බාධා නිසා ලතැවෙමින් සිටි මෙල්බන් පපර කණ්ඩායමට 2008 වසරේදී ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනයේ නිසි අවසරයෙන් ක්‍රීඩාංගණවල දොරගුළු විවර විණි.

“ඒත් ආරක්ෂක අංශවලිනුයි සමහර ප්‍රේක්ෂකයන්ගෙනුයි දිගින් දිගට ප්‍රශ්න ආවා. මොකද ඔස්ට්‍රේලියන් වැසියන්ට ක්‍රීඩාංගණවලදී සංගීතය හුරු නෑ. මුලින් වතාවල ආරක්ෂක අංශ අපිව එළියටත් දැම්මා. ඒ වෙලාවට අපි කළේ පාර්ක් එකට ගිහින් රූපවාහිනී තිරයක් අසල ‍ප්ලේ කරන එක. ලාංකිකයෝ ඔක්කොම එතැනට එකතු වෙනවා. ආරක්ෂක අංශවලට පස්සෙදි මේක ලොකු ප්‍රශ්නයක් වුණා.”

අනතුරුව දිහාන් ඇතුළු පිරිස එකතුවී ශ්‍රී ලංකා ‘ෆෑන් සෝන්’ යනුවෙන් ප්‍රේක්ෂක කණ්ඩායමක් නිර්මාණය කිරීම හේතුවෙන් ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය විසින් ශ්‍රී ලංකා තරගවලදී ඔවුන් හට ප්‍රේක්ෂකාගාරවල වෙනම කලාපයක් වෙන් කිරීමට වග බලාගෙන ඇත. විදේශිකයන් වෙනුවෙන් ඔස්ට්‍රේලියා ක්‍රීඩාංගණවලදී එලෙස වෙනම කලාප වෙන් වූයේ ඉතිහාසයේ ප්‍රථම වතාවට බවද සඳහන් වේ.

“දැන් අපේ පෑන් සෝන් එකේ සාමාජිකයෝ 35000ක් ඉන්නවා. අපි බලාපොරොත්තු වෙනවා මේක මුළු ලෝකයේම ව්‍යාප්ත කරන්න.”

මෙල්බන් පපර කණ්ඩායමේ එම අප්‍රතිහත ප්‍රතිඵලවලට මහේල සහ සනත්ගේ මැදිහත් වීමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන්ද මහත් සේවයක් වූ බව දිහාන් කීවේය.

ශ්‍රී ලංකා පිලේ ඔස්ට්‍රේලියානු සංචාරයකදී මාස ගණනාවක සිට ලකලැහැස්ති වන මෙල්බන් පපර කණ්ඩායම වර්තමානයේ ක්‍රිකට්වලට අමතරව පාපන්දු, රගර් තරගවලදීද පපර නාදය දියත් කරයි. එය ඕස්ට්‍රේලියානු වැසියන් දැන් දැන් පපර සංගීතයට දක්වන ලැදියාවට සවියක් වශයෙනි.

2015 ලෝක කුසලාන තරගාවලියේදී අයිසීසී නිල පිළිගැනීම ලත් මෙල්බන් පපර කණ්ඩායමේ ගාල්ල, මාතර, කොළඹ, කුරුණෑගල සහ නුවර පෙදෙස්වල උපන් පිරිසක් සිටී. මෙදා ශූරයන්ගේ කුසලානයට විසිහතර පැයක පමණ අධික වෙහෙසකර ගුවන් ගමනකින් එංගලන්තය බලා ගිය මේ පිරිස ක්‍රිකට් ක්‍රීඩාවේ පපර සංස්කෘතියට නිසි වටිනාකමක් දුන් පිරිසක් වශයෙන් හැඳින්විය හැක.

“අපි තමයි අයිසීසීයෙන් නිල පිළිගැනීම ලත් ප්‍රථම සහ එකම පපර කණ්ඩායම. ඉතිහාසයේ ප්‍රථම වතාවට අපි මෙදා එංගලන්ත ක්‍රීඩාංගණවලදී සංගීත භාණ්ඩ වාදනය කළා. ඒ අවස්ථාව තවම බාමි-ආමි අයටවත් ලැබිලා නැහැ.” ඒ දිහාන්ලා ක්‍රිකට්වල අලංකාරත්වයට කරන සේවයට ලැබී තිබෙන නිසි ඇගැයීම්ය. මෙවර ශූරයන්ගේ කුසලානයේදී ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර තරගයේදී ඕස්ට්‍රේලියා කණ්ඩායම වෙනුවෙන් දිරියක් වන්නැයි ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනයෙන් මෙල්බන් පපර කණ්ඩායමෙන් විශේෂ ඉල්ලීමක් කර තිබේ.

“අපිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ලොකු ඉල්ලීමක් තියෙනවා ඇවිල්ලා ලංකාවෙදිත් ප්ලේ කරන්න කියලා. අපි හදලා තියෙන ෆැන් යෝන් එක ගැන ඔවුන් බොහොම සතුටුයි. අපේ ක්‍රීඩකයොත් කියන්නෙ ඔයාලගේ ප්‍රේක්ෂක සහාය නිසා ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා කළත් දැනෙන්නෙ ලංකාවේ ක්‍රීඩා කරන හැඟීමකුයි කියා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් කළහොත් නොපැකිලව පපර කණ්ඩායම මෙරටට ඒමට සැදි-පැහැදි සිටී. දිහාන් ඇතුළු පිරිස ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් මෙතරම් කැපකිරීමක් කරනුයේ තම පෞද්ගලික ධනය මෙන්ම රාජකාරියේදී ලැබෙන කෙටි විවේකයද කැප කරමිනි. අපේ ක්‍රිකට් පිලට දිරි දෙමින් ලෝ වටා සංචාරයට සැරැසෙන මෙල්බන් පපර කණ්ඩායමට අපගේ සුබ පැතුම් මෙසේ පිරිනමන්නෙමු. 

 

Comments