ජීවිතය විනිවිද දුටු කවියා | Page 2 | සිළුමිණ

ජීවිතය විනිවිද දුටු කවියා

කොළඹ යුගයේ දෙවනි කවි පරපුරට අයත් බොහෝ කවියන්, සොබා සෞන්දර්ය, ස්ත්‍රිය, ප්‍රේමය පිළිබඳ අභිරුචියෙන් කාව්‍ය රචනා නිර්මාණය කළ යුගයක, ඉන් බැහැර තේමා, චරිත තම කවියට විෂය කොටගත් කවියා සේ හැඳින්විය හැක්කේ විමලරත්න කුමාරගම බව අවිවාදිතයි. කුමාරගම කවියා අනුරාධපුර කච්චේරියේ ලිපිකරුවෙකු ලෙස සේවය අරඹා ඉන් වසර කිහිපයකට පසු ප්‍රාදේශීය ආදායම් පාලක හෙවත් ඩීආර්ඕ තනතුරට පත්වීම ඔහු ‍‍ෙග් කාව්‍ය නිර්මාණ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය වී ද කියා කල්පනා වේ. මට එසේ හැ‍ඟෙන්නේ, ඔහුගේ ඩීආරෝ තනතුරෙහි වෘත්තීය ජීවිතය අනුරාධපුරයෙන් පටන්ගෙන, පුත්තලම, ආණමඩුව, හඟුරන්කෙත, කලවාන, මහියංගනය රත්නපුරය, කෑගල්ල, නුවර එළිය, කොත්ම‍ලේ ආදී ප්‍රදේශයන් හි සේවය කිරීම ඔස්සේ, තම කවිය පෝෂණය කර ගැනීම සඳහා ලබා ගන්නා ලද විවිධ අත්දැකීම් සමුදාය ඔහු ගේ කවියේ පිළිබිඹුව සේ පෙනෙන බැවිනි. බටහිර රොමෑන්ටික් කවියේ ආභාසය ලබමින්.

ඊට ගොදුරු වූ බහුතර කොළඹ කවීන්ගේ නිර්මාණ සම්ප්‍රදායෙන් වෙසෙසි කොට සැලකිය හැකි කවියෙකි ලෙස විමලරත්න කුමාරගම කවියා පිළිබඳ හා ඔහු ගේ නිර්මාණ පිළිබඳ විමසීමට හැකි වන්නේ, ඔහු නාගරිකත්වයෙන් ඈත් වූ සරල චාම් ගති ලක්ෂණයන්ගෙන්, හෙබි ගැමි ජන ජීවිතය ම දකින්නට උත්සාහ ගත් බැවිනි. රජරට වියළි කලාප‍යේ මතු නොව, මධ්‍යම කඳුකරයේ ද සබරගමුවේ ද සේවය කිරීමෙන් ලද ජීවිතානුභූතීන්, කුමාරගම ගේ කවිය පුරා විද්‍යමාන වන්නේ, ඔහු විසින්, එබඳු ප්‍රදේශවල ජනතාව ගේ ජීවිතය යථාර්ථවාදී ව දුටු බැවිනි.

වන්නියේ ගැමි ජනතාවගේ දුෂ්කර ජීවන චර්යාව, ඔවුන් ජීවත්වීම සඳහා ස්වභාව ධර්මය, ගහ කොළ, සතා සීපාවා ලෙඩ දුක් සමඟ ඔට්ටු වන ජීවන සංග්‍රාමය තමන් විසින් ම අත් විඳනු ලැබීම හේතුකොටගෙන, කුමාරගම කවියා ගේ කවිය ජීවිතය පිළිබිඹු කෙරෙන කවියක් බවට පත් වී තිබේ. අනෙක් බොහෝ කොළඹ කවීන් මෙන්, ගහකොළ, වනපෙත, අව්ව, වැස්ස, සුළඟ, සාගරය, ගංගා, ඇළ දොළ තම කවියට ද විෂය කොට ගත්ත ද කුමාරගම කවියා මෙකී වස්තු තුළින් මානවීය ගුණයෙන් යුත් අත්දැකීම් හා චරිත, විවිධ සංසිද්ධීන්, තෝරා බේරාගෙන, ඒවා හෘදය සංවේදී ව, කවි ගුණය රැඳුණු කවි බසකින් කීමට සමත් වූ කවියා බවට පත්වන්නේ ය. පාඨකයන් ගේ, සිත් කලකිරවන ශෝකාර්ථයක් කුමාරගම ගේ ඇතැම් රචනාවල පෙනේ යයි, මාර්ටින් වික්‍රමසිංහ, තම නව පද්‍ය සිංහලයෙහි ද සඳහන් කරයි. තවදුරටත් කුමාරගම කවියා විමසන මහගත්කරු පවසන්නේ, ගතානුගතිකත්වයෙන් තොරව මනුෂ්‍ය ජීවිතය දුටු කවියෙකු ගේ නිර්මාණ කුමාරගම ගේ කවියෙහි වන බවයි.

නිර්මාණකරුවා තම නිර්මාණ සඳහා විෂයකොට ගන්නේ, තම මනැසට හසුවන වස්තූන් ය. ඔහුට ඇසුරු කරන්නට ලැබෙන, දැන හැඳුනුම්කම් පවත්වන මිනිසුන් ය. ගැහැනුන් ය. ඔහුට දකින්නට අසන්නට, විඳින්නට ලැබෙන ජීවන සංසිද්ධීන් ය. එහෙත් නිර්මාණශීලී කලාකරුවා, එබඳු චරිත, සංසිද්ධීණ්, අත්දැකීම් තියුණු නිරීක්ෂණයකින් පසුව තෝරා බේරාගෙන, තම පරිකල්පනයෙන් ද යුතුව පෙරළා. රසිකයන්, පාඨකයන් වෙත ඉදිරිපත් කරයි. කුමාරගම කවියා ගේ කාව්‍ය නිර්මාණවලිය පුරා, ඔහු තුළ වූ නිරීක්ෂණය මෙන් ම පරිකල්පනීය ගුණයෙන් ඇතැම් චරිත හෝ සංසිද්ධීන්, පාඨක හදවතට සමීප ජීවිතානුභූතින් ලෙස ප්‍රතිනිර්මාණය කළ’යුරු කැපී පෙනේ.

ඔහුගේ නිර්මාණාවලියෙහි හමුවන බොහෝ රචනා තුළ, ඔහු මිනිස් ජීවිතය, විනිවිද දුටු මානව දයාව හදැති කවියකුගේ රුව ගුණ පෙනෙන මුත්, මේ කෙටි සටහන සඳහා මවිසින් තෝරා ගනු ලබන්නේ, හේරත් හාමි, අය්යනායක හා වන්නියේ දොස්තර නම් කාව්‍ය රචනා ත්‍රිත්වයයි. මේ අතරින් ද, හේරත්හාමි හා අය්යනායක යන නිර්මාණ, නිරන්තරයෙන් ම, විචාරක හා පාඨක විමර්ශනයට ලක් ව ඇති බව දන්නෙමි. එසේ වුවත්, කුමාරගම ගේ කවියෙහි ජීවිත පිළිබිඹුව විමසීමේ දී එකී නිර්මාණ ද්වය අත්හැරීම කළ නොහැකි යයි විශ්වාස කරමි.

වන්නියේ දොස්තර කාව්‍ය නිර්මාණය 1947 ඔක්තෝබර් 21 දේදුන්න කවි සඟරාවෙහි 1 කාණ්ඩය 2 කලාපයෙහි පළ වී ඇත. පී.එම්. සේනාරත්න විසින් සංග්‍රහ කරන ලද විමලරත්න කුමාරගම කාව්‍යවලී කෘතියෙහි වන්නියේ දොස්තර නිර්මාණය පළ වී තිබේ. කුමාරගම කවියා, තම කවියෙන් ජීවිතය ම ප්‍රතිනිර්මාණය කළ’යුරු ඉන් ජීවිතය ම පිළිබිඹු වන’යුරු අපුරුවට දැකගත හැකිය. හේරත්හාමි චරිතය කවියාට හමුවන්නෙ, වන්නිකරයේ සේවය කරමින් සිටි වකවානුවකය. පළමු පද්‍යයෙන් ම කවියා හේරත්හාමි කවුරුන් ද කෙබඳු චරිතයක් ද ය න්න පාඨකයන් හමුවේ තබන්නේ අපූරු චිත්ත රූපයකිනි.

අලියා වැටුණු වැව සිටි හේරත් හාමී
මා වැනියකු වුව ද මම වැදගත් වීමි
මිනී කපන මුත් ඒ හේරත් හාමී
ඔහු මට වඩා විසි තිස් ගුණයෙන් දෑමී...

හේරත්හාමි යනු කවියා බඳු ම චරිතයකි. එහෙත් කවියා වැදගතෙකි. හේරත්හාමි මිනී කපන්නෙකි. එහෙත් ඔහු තමාට වඩා බෙහෙවින් දෑමි ගුණවත් යයි කවියා ම පවසයි. ඔහු අවිවාහකය. කිසිවකු තව ම නැත පැවසුමට බාරිය යයි කවියා ඉතා අපූරුවට හේරත්හාමි තනිකඩයෙකු බව පවසයි. රෝහලේ හදිසි මරණයක් වුවහොත් දොස්තර ගේ අණින් සිරුර කපන්නේ හේරත් හාමි ය. එය ඔහු ගේ රාජකාරියයි. එක් අවස්ථාවක ඔහුගේ ම නැඟණිය පිහියා පහරකින් ජීවිතක්ෂයට පත්වේ. ඈ මළ දිනයේ ඔහු නොහඬයි. එහෙත් ඔහු ම උණ රෝගය වැලඳුණ කල්හි හඬයි. ඈ ඔහු ගේ දුක සැප බැලූ, ලෙඩට දුකට තනිවට සිටි ගැහැනියයි. සොහොයුරියයි. ඇ‍ගේ වියෝව ඔහුට දුකක් ගෙනෙන්නේ ඔහු තනි වූ කලය.

ඔහුට ඇගේ මරණය සමඟ අපූරු සිදුවීමකට මුහුණ පාන්නට සිදුවේ. හදිසි මරණයක්. මනුෂ්‍ය ඝාතනයක් බැවින් මිනිය කපන්නට වෛද්‍යවරයා තීරණය කරයි. මේ ස්ත්‍රිය ගේ මිනිය කපන්නේ කවුරුන් ද? රෝහලේ එකී රාජකාරිය බාරව සිටින්නේ හේරත්හාමිය. ඔහු නොපැකිළව තම රාජකාරිය ඉටු කරයි. තම සොයුරියගේ සිරුර නිරුවත් කොට කැපීම, ගැමියන් ගේ දෝෂාරෝපණයට ලක්වේ. එහෙත් හේරත් හාමි ඉන් නොසැලේ.

‘බැන්නත් ඔහුට මේ ගැන ගම නරක බසින්
ඔහු හට වැඩක් නැත ලොව ඇති රිහිරි මසින්’

ඔහු දෑමි, ධර්මිෂ්ඨ යැයි, කවියා හේරත් හාමි ගේ චරිත ලක්ෂණය පාඨකයන් හමුවේ තබන්නේ, හේරත්හාමි, පන්සලට යන එන ඊටත් වඩා අය්යනායක දෙවියන් පිළිබඳ විශ්වාසයෙන් සිටින පුද්ගලයෙක් බව පවසමිනි. අලුතින් හැදූ වෙහෙරට හේරත් හාමි ද දායක වෙයි, ඔහු දනවත් මහරු පායක උපත නොලද මුත්. වන්නිකරයේ දී කවියාට හමු වූ අපූරු ගති පැවතුම් ඇති සැබෑ මිනිසෙකු නොවේ ද අප හේරත් හාමි තුළින් දකින්නේ. කුමාරගම කවියා තුළ මිනිස් ජීවිතයේ පිළිබිඹුව අපූරුවට දකින්නට ලැබෙන විශිෂ්ට නිර්මාණය ලෙස අය්යනායක පද්‍යය හැඳින්වීමට කැමැත්තෙමි. වන්නියේ දුකට පත්, අසරණ ගැහැනුන්ගේ මිනිසුන්ගේ එක ම අදෘශ්‍යමාන ගැලවුම්කරුවා වන්නේ අය්යනායක දෙවියන් ය. නූගත් ගැමියන් නො පෙනෙන දෙවි කෙනකු කෙරෙහි විශ්වාසය තබා වැඳුම් පිදුම් කළ ද, කවියා බුද්ධිමතෙකු බැවින්, දෙවියන් පිළිබඳ විශ්වාසය බැහැර කොට සිටින්නෙකි. එහෙත් ඔහු සැබෑ මානව දයාවෙන් යුතු කවියෙකු ලෙස, අසරණ ගැමියන්ගේ නූගත් කමට අන්ධ භක්තියට සිනාසෙන්නෙක් නොවේ. ඔහු ගැමියන් ගේ අන්ධ විශ්වාසය ගැරහුමට ලක් නොකරයි.

“සංහිද ළඟ බාරයට කිරි ඉතිරී ම
කෙම්මුර දවස්වල පානින් සැරසී ම
වන අතු කඩා ගස් දෙබලක දැවටී ම
මා නොකෙරුවත් නො කළෙමි එය ගැරහී ම

ජීවිතෙය් යථාර්ථය දකින කවියා තම බුද්ධිය පසෙක තබා, සත්‍යය දකින’යුරු අපට පසක් කරවන්නේ කුමාරගම කවියා තම කවිය තුළින් ජීවිතය විනිවිද දුටු අන්දමයි. කවියා තුළ මිනිස් වර්ගයා කෙරෙහි පතල දයානුකම්පාව තීව්‍ර කොට පෙන්වන මොහොත වන්නේ මොහොතකට ඔහු ද අය්යනායක දෙවියන් කෙරෙහි විශ්වාසය තැබූ පුද්ගලයෙකු බවට පත් වෙමිනි. ඔහු එසේ පත් වී දෙවියන්ගෙන් අයැද සිටින්නේ, දුකට, පීඩාවට, භීතියට පත් මේ මිනිසුන් රැක දෙන්න කියායි. මක්නිසාද යත් ඔහු තුළ මේ මිනිසුන් කෙරෙහි ආදරයක් දයාවක් අනුකම්පාවක් ඇති බැවිනි.

“මාපිල් පිඹුරු නාපොළඟුන් සිටින තැන
අලිකොටි වලස් මුළු කොලහල කරන තැන
නිතර ම ඔබ පුදන මේ අය ඇඳින ගෙන
බලවත් දෙවිතුමනි දිව රෑ රකිනු මැන”

 

බලවත් දෙවිතුමනි යන්න ධ්වනිත කරන්නේ කවියා ද දෙවියන් පිළිබඳ විශ්වාසයෙන් සිටින බව නොවේ ද? වන්නියේ දොස්තර කාව්‍ය නිර්මාණය පිළිබඳ පළ වූ විවරණ හෝ විචාර මඳ යයි සිතමි. එහෙත් එකී නිර්මාණය ඔස්සේ කුමාරගම කවියා පාඨකයන් හමුවට රැගෙන විත්, ව්‍යවච්ඡේනය කරනු ලබන ජීව සංසිද්ධිය, වන්නිකරයේ දුෂ්කර පළාතක ගැමියන් තළා පෙළා තම වෘත්තීය නිලබලය පෙන්වන, ලිංගික අපයෝජනයට තම තනතුරේ රැස් ප්‍රභාව භාවිත කළ වෘත්තිකයෙකුගේ අභ්‍යන්තරයයි. වන්නියේ දොස්තර ගේ රූප සොබාව කවියා විස්තර කරන්නේ මෙසේ ය.

‘ඇස් දෙක ගිලී යට පොවනා තරම අත
වානරයෙකු ද මේ මිනිහ ද කවුද කැත’

ගමෙහි ජීවත් වූ ‘කලු’ නම් රූමත් ස්ත්‍රියගේ ජීවිතය මේ වානරයෙකු බඳු දොස්තර නිසා විනාශ වූ අයුරුත් ඉන්පසු ඈ දිවි ‍ෙතාර කර ගත් අයුරුත් කවියා නිර්මාණය කරන්නේ ඔහුගේ මානවීය ගුණය කැටිකර ගනිමිනි. ඈ දිවි තොර කර ගන්නේ කිනම් හේතුවක් නිසා ද? සැමියෙකු නොමැති දරුවකු සහිත ගැබිනියක වීමට වඩා ජීවිතයෙන් පලා යාම වටනේ යයි ඈ සිතුවා නොවන්නී ද!

 

‘මැස්සක් සදා ඒ මත ඇගෙ පැදුර එලා
ඈ එහි තැබිණි ලොකු දොස්තර ළඟට වෙලා
මළ ඇගෙ හිස පපුව බඩදරු පපුව පලා
විමස විට ද මම සිටියෙමි එතන බලා...’

කලූ ට අත් වූ ඉරණම සංයමයෙන් පැවසීම කවියා වග බලා ගනී. දොස්තර විසින් ඈ බිලිගත් පුවත, පැහැදිලි වන්නේ කවියේ ආරම්භයේ දී ම දොස්තර පිළිබඳ කෙරෙන විවරණයෙනි.

‘අලියා වැටුණු වැව සිටි දෙවෙනි දොස්තර
ගමට ම එපා වූවෙකි දිනුව පස්සර
ඔහු කළ හරිය මා එහි යන්නට ඉස්සර
හේරත්හාමිගෙන් දත හැකිය විස්තර...’

රෝහලේ මිනී කපන හේරත්හාමි, මේ වෛද්‍යවරයාගේ තතු දනී. කවියා එ තතු මොනවාදැයි අපට නොපවසයි. එහෙත් කලු දිවි තොර ගන්නේ ගැබිනියක වීම නිසාය. ඊට වගකිව යුත්තා කවුරුන් දැයි පාඨකයා දනී. තම නිල බලයෙන් අසරණ ගැමි ගැහැනියකට දරු ගැබක් දුන් වෛද්‍යවරයා කෙරෙහි පාඨක සිත, ක්‍රෝධයක් ඇති කරවීමට කවියා සමත් වේ.

“කපා බලා අවසන් වු පසුව කුස
එහි තැන්පත්ව තිබුණේ වස කදුරු යුස
සිය පණ හානි කර ගත්තා රැගෙන විස
යන තීරණෙන් පසු ගොඩවිය පොළොව පස”

‘කලු’ මිහිදන් වන්නේ පෙට්ටියකින් තොරව පාංශු කූලයක් ද නොමැතිව ය. එහෙත් ඇගේ තනියට, ඈ වළලා දැමීමට, ඈ වැතිර සිටි පැදුර ද පොළොවේ පස ද වේ යයි කවියා පවසයි.

“මිනී පෙට්ටියක් නැත සිවුරකුදු නැත
ඒ කිසි දෙයක් මේ පෙදෙසට පුරුදු නැත
කුමට ද කිසි ම වැඩකට නැති අමුතු මත
ඈ වැළලුමට පස සහ ඇගෙ පැදුර ඇත...”

සංවේදී ජීවන ප්‍රවෘත්තියක් සංයමයෙන් කීමෙහි ලා කුමාරගම කවියා දක්වන ප්‍රතිභාව ඔහු ගේ බොහෝ නිර්මාණ තුළින් විශද වේ. විශේෂයෙන් ඔහුට හමුවූ හැබෑ මිනිසුන් හා ගැහැනුන් හා ඔවුන් අත්විඳි ඛේදවාචක විෂය කර ගැනීමේ දී, ජීවිතය ම උඩු යටිකුරු කොට මතුපිටින් දකින සරල බවට යටින් දිවෙන ශෝකය ම කුමාරගම කවියෙන් අපි අත්විඳින බව කීමට කැමැත්තෙමු.

Comments