ගැමිදිවියේ ශෝකී රිද්මය | Page 2 | සිළුමිණ

ගැමිදිවියේ ශෝකී රිද්මය

විමලරත්න කුමාරගම

කවි ශක්තියෙහි උසස් ම අංගය වන්නේ උචිතා’නුචිත විවේක බුද්ධිය යැයි පැරණි අලංකාරිකයෝ පැවසූහ. මේ විවේක බුද්ධිය යනු කුමක් ද? දැන උගත්කමින්, විභාග වැට තරණයෙන් එය සොයා-සපයා ගත හැකි වේ ද? ඇසූ-පිරූ තැන් බහුලවීම මීට අත්වැලක් සපයන්නේ ද? නැත. සියලු බහුශ්‍රැතයෝ කවියෝ නොවෙති. මාර්ටින් වික්‍රමසිංහ සූරීන් කවියාගේ මේ විශේෂත්වය දකින්නේ, හඳුනාගන්නේ අනභිමානයට නෑකම් කියන්නක් ලෙසිනි.

කොළඹ යුගයේ දෙවන පරපුරේ කවියකු ලෙස ප්‍රකට ව ඇති විමලරත්න කුමාරගම ගැන කතා කරන විට මුලින් ම සඳහන් කළ යුත්තේ ද ඔහුගේ මේ අනභිමානය පිළිබඳව ය.

අලියා වැටුණු වැව සිටි හේරත් හාමී
මා වැනියෙක් වුවද මම වැදගත් වීමි
මිනී කපන මුත් ඒ හේරත් හාමී
ඔහු මට වඩා විසිතිස් ගුණයෙන් දෑමී

මේ කවිය බොහෝ වර, බොහෝ දෙනකුගේ කතාබහට ලක්වූවකි. මෙහිදී අප යළිත් මේ කවිය මතු කර දක්වන්නේ එය කවියාගේ අනභිමානයට සාක්ෂි සපයන අතර සමාජය පිළිබඳ, මිනිසා පිළිබඳ සැඟවුණ සත්‍යයකට ද ජීවය පිඹින නිසා ය. එය කියවන්නා තුළ ප්‍රශ්න කිහිපයක් ද මතු කරයි. දැහැමි යැයි කිව හැකි මිනී කපන්නන් ලොව සිටින්නේ ද? මිනීකැපීම හා ධර්මිෂ්ටකම අතරේ භේදයක්, පරතරයක් පවතින්නේ ද? මළමිනියකට අත ගැසීම පිළිකුළින් බැහැර කරන සමාජය තුළ වෙසෙන සියල්ලන් පව් නොකරන ධර්මිෂ්ඨ පුද්ගලයන් ද? බාහිර වශයෙන් පිරිසිදු ව සිටින මිනිසා තුළ ආභ්‍යන්තරික පවිත්‍රිකරණයක් සිදු වී ඇත්තේ ද?

හේරත්හාමි පණ ඇති මිනිසුන් කපන්නේ නැත. ඔහු සත්ත්ව ඝාතනයෙහි ද නොයෙදෙයි. ‘මළමිනිය’ යනු අචේතනික වස්තුවකි. පිහිතුඩක් ඇතුළු කරන විට මළමිනියකට නොරිදෙයි. කවියා නොකියා කියන්නේ මේ සැබෑවයි.

ගම හා ගැමිකම පිළිබඳව එදා මෙදා තුර ලියැවුණු කවි අතරේ විමලරත්න කුමාරගම කවියාගේ පද්‍යයනට හිමවන්නේ සුවිශේෂි ස්ථානයකි. පිටු ගණනකින් කිව නොහැකි දෙයක් වචන දෙක තුනකින් දැනවීමට තරම් පොහොසත් වන ජනවහර කුමාරගම කවියා අත තියුණු අසිපතක් වී තිබේ. සඳැස් කවි ලියන්නකුට එක්තරා රාමුවක් තුළ සිරගතවීමට සිදුවෙතත් වන්නියේ ගම්දනවු තුළ වෙසෙමින් ගැමිකම විනිවිද දුටු කුමාරගම කවියා මේ අභියෝගයට සාර්ථක ව මුහුණ දෙයි. කෙටි ජීවිත කාලයක් තුළ (1919-1962) කවි ගංගාවක් ඉතිරි කර තැබීමට ඔහුට හැකිවන්නේ මේ නිසයි.

‘කොළඹ යුගය’ යනු සිංහල කවියෙහි සැලකිය යුතු විපර්යාසයක් සිදු කළ කාලවකවානුවකි. සමාජ අත්දැකීම් මෙන් ම සිය පෞද්ගලික අත්දැකීම් ද විෂය කරගනිමින් භාෂාව, ආකෘතිය හා කාව්‍යාලංකාර පිළිබඳ නව අත්හදාබැලීම්වල යෙදෙමින් කොළඹ කවීහු කාව්‍යකරණයේ යෙදුණාහ. පැරණි කවීන් විසින් පද්‍යයේ රිද්මයානුකූල බව සඳහා බහුල වශයෙන් උපයෝගී කරගනු ලැබූ එළිසමය, අනුප්‍රාසය, පුනරුක්තිය ආදී ශබ්දාලංකාර ඒ අයුරින් ම යොදා නොගත් කොළඹ කවීහු බොහෝ අවස්ථාවලදී කවියේ මුල හා මැද එළිවැට බැහැර කළහ. සැමවිට ම පාහේ ඔවුන් යොදා ගත්තේ අග එළිවැට පමණි. මේ ලිහිල් බව නිසා ම ජනකවියක වැනි සරල වූත් නිර්ව්‍යාජ වූත් සුන්දරත්වයක් ඒවාට ප්‍රවිෂ්ට කරවීමට ඔවුන් සමත් වී තිබේ.

විමලරත්න කුමාරගම කවියා කොළඹ යුගයේ සෙසු කවීන්ගෙන් වෙනස් වන්නේ වන්නියේ ගැමි ජනතාව අතරට ගොස් ඔවුන් අතරේ ජීවත් වෙමින් ඔවුන්ගේ සැබෑ අත්දැකීම් හා ඛේදය ද කවියට හසුකරගත්තකු ලෙසිනි. ඔහුගේ බොහෝ කවිවලට පසුබිම් වී ඇත්තේ ‘අලියා වැටුණු වැව’ නම් වූ ප්‍රදේශයයි. මේ ප්‍රදේශයේ ජීවත් වූ සුන්දර යුවතියක පිළිබඳව වරක් ඔහු මෙවැනි කතාවක් කියයි.

අලියා වැටුණු වැව වෙල ළග ගෙදර කලූ
හරි සමතියකි වියුමට පන්පැදුරු මලූ
ඇගෙ අඟපසඟ පියකරු මඳහස ද බැලූ
හැම දෙනෙකුටම ඒ රුව සිහි තිබෙන වලූ

කවියා මේ අයුරින් වර්ණනා කරන රුවැත්තිය හදිසියේ මිය යයි. ඇගේ මරණය පිළිබඳව කවියා පදවැල් අමුණන්නේ සාම්ප්‍රදායික ලෙස අනිත්‍යය මෙනෙහි කරමින් නොවේ. එහිදී ඔහුගේ නෙතට උනා එන්නේ දුප්පත්කමේ වේදනාත්මක කඳුළයි.

මිනී පෙට්ටියක් නැත සිවුරකුදු නැත
ඒ කිසිදෙයක් මේ පෙදෙසට පුරුදු නැත
කුමටද කිසිම වැඩකට නැති අමුතු මත
ඈ වැළලුමට පස සහ ඇගෙ පැදුර ඇත

මේ කවිය ගම්‍ය කරන්නේ නොදියුණු ගමක නූගත් ගැමියන්ගේ ඛේදය පමණක් ම නොවේ. මරණයේ අනිවාර්ය අංගයක් ලෙස සැලකෙන මිනීපෙට්ටියකින් මළමිනියකට කුමන නම් ප්‍රයෝජනයක් දැයි කවියා යථාර්ථවාදී ව අසයි. අලියා වැටුණුවැව ගමේ නොදියුණු වැසියෝ මිනීපෙට්ටි නොසොයති. ඔවුහු පාංශුකූලය ගැන ද කරදර නොවෙති. එහෙත් මළකඳ වැළලිය යුතු බව නම් මනාව දැන සිටිති.

මරණයක් සිදු වූ විට කළ යුතු අනිවාර්ය කාර්යය නම් එය වැළලීම හෝ දවාලීමයි. ඒ සඳහා ප්‍රමාණවත් වන අඩුම-කුඩුම නම් අලියා වැටුණු වැව ප්‍රදේශයෙහි ද තිබේ. මිනිසුන් විසින් ම තමන් උදෙසා ම පනවාගනු ලැබූ අණපනත්, ආගමික, සංස්කෘතික බන්ධන අලියා වැටුණුවැව ගම්මුන්ට බලපෑම් කරන්නේ නැත.

කුමටද කිසිම වැඩකට නැති අමුතු මත?ඇය වැළලුමට පස සහ ඇගෙ පැදුර ඇත

විමලරත්න කුමාරගම කවියාගේ බොහෝ කවිවල බොහෝ සෙයින් ම අන්තර්ගත ව ඇත්තේ ශෝක රසය ය.

සිංහල කාව්‍යවංශය තුළ ඔහු අමරණීයත්වයට පත්වන්නේ ද මේ නිසා ය. ශෝකයත් රසයක් දැයි ඇතැම් විද්වතුන් විසින් ප්‍රශ්න කරනු ලැබ ඇතත් මිනිස් සන්තානයේ ගැඹුරු ම ඉසවු ස්පර්ශ කළ හැක්කේ, ශෝක රසයට ම යැයි අපි සිතමු. සාහිත්‍ය නිර්මාණයකින් ප්‍රේමය සදාතනික කළ හැකිවන්නේ එහි කූටප්‍රාප්තිය සලකුණු කරන සංයෝගයකින් නොව වියෝගයකිනි. සාලිය අශෝකමාලා ප්‍රේමයේ උත්කර්ෂවත් ජයග්‍රහණයට වඩා අප තුළ හැඟීම් දනවා ඇත්තේ රොමියෝ-ජුලියට් ශෝකාන්තයයි. ‘ඇනා කැරනිනා’, ‘එමා බෝවාරි’ නවකතා අමරණීයත්වය හිමිකර ගෙන ඇත්තේත් ‘ගොළු හදවත’ නවකතාවේ දම්මි හා සුගත් තවමත් අප අතර ජීවමාන වන්නේත් ඔවුන් අපට තිළිණ කර ඇත්තේ ශෝක රසය ම වන නිසයි. ප්‍රේමයේ විජයග්‍රහණය ගැන කියන ගීතයකට වැඩියෙන් අප තුළ භාවසංවේදනා දනවන්නේ ද විරහ ගීතයයි. ‘සිංහල කවි සමයෙහි අතීත වේදනාව කොළඹ කවිය ලෙස මම හඳුන්වමි’ යි ප්‍රකට ලේඛක, විචාරක සමන් වික්‍රමාරච්චි වරක් කී කතාව ද සැබෑවක් ම වන්නේ ඒ අනුවයි. අප ජීවිතය පසුකර යන්නේ අතීත වේදනාවන් ද සමඟයි. අපට කිසිදිනෙකත් අතීතයෙන් ගැලවී ගත නොහැකියි. කොළඹ කවියෙන් ගැලවෙන්නට අපට හැකි නොවන්නේ ද මේ හේතුව නිසාමයි.

විමලරත්න කුමාරගම කවියාගේ ‘අයියනායක’ නම් වූ කවි පන්තිය වැඩි දෙනෙකුන්ගේ අවධානයට යොමු වූවකි. මේ ගැන විටින් විට කරළියට නැගුණු කතාබහ අතරට අපගේ ද අදහසක් මෙසේ එක් කළ යුතුව තිබේ.

සංහිඳ ළඟ බාරයට කිරි ඉතිරීම
කෙම්මුර දවස්වල පානින් සැරසීම
වන අතු කඩා ගස් දෙබලක දැවටීම
මා නොකෙරුවත්, නොකළෙමි එය ගැරහීම

මේ කවිය විදාරණය කරන්නේ කවියාගේ නිහතමානය හා මුදු අනතිමානයයි. අයියනායක දෙවියන්ගේ ඔද-තෙද-බල කෙරෙහි විශ්වාසයක් තමා තුළ නුවූවත් ඒ විශ්වාසය මත සැනසීම සොයා යන ගැමියන් දෙස උපහාසයෙන් බලන්නට කවියා සූදානම් නැත.

මිනිසාගේ ප්‍රීතියට බාධා පැමිණෙන්නේ ලෝකය අබිරහස්වලින් තොර වන තරමට යැයි සමහරු කියති. ඉන් අදහස් වන්නේ මිනිසාගේ සංතුෂ්ටියට හිතකර වන්නේ අබිරහස් ඉතිරි කර ගැනීම වැන්නකි. සියල්ල විසඳාගත් මිනිසා තුළ බොහෝ විට ජනිත වන්නේ ඒකාකාරී වියළි හැඟීම් විය හැකි ය. ප්‍රාථමික සමාජවල ජීවත්වන මිනිසුන්ගේ සැහැල්ලු සතුට දැකීමෙන් තමා තුළ කිසියම් ඊර්ෂ්‍යාවක් හටගැනුණේ යැයි බ්‍රර්ට්‍රන්ඩ් රසල් නම් වූ චින්තකයා පවසා ඇත්තේ ද මේ අනුව ය. මේ අදහස හොඳින් පැහැදිලි වන්නේ කුඩා දරුවනගේ සතුට නිරීක්ෂණය කරන්නකුට ය. දරුවාට ලෝකය අබිරහසකි. ඒ නිසා ම කෙළිමඬලකි. ගහ-කොළ, සතා-සීපාවුන් මෙන් ම වැස්ස ද ඔවුන් තුළ ප්‍රීතිය ජනනය කරයි. වැගිරෙන වැහිබිඳු දෙස බලමින් ඔවුන් ප්‍රීතියෙන් අත්පොළසන් දෙන්නේ එහෙයිනි. මෙය මුලාවකි යි දැනුමැත්තෝ සිතති. ගැමියකුගේ මිථ්‍යාව, මුලාව, අවිද්‍යාව හුවාදක්වමින් විද්වත් භාවයේ ගිරිශිඛරය මත නැගී සිටින්නෝ බොහෝ ය. එහෙත් අයියනායක දෙවොල අබියස සිටින කවියා සිය නිහතමානී හැඟීම් වචනයට නගන්නේ එසේ ය.

අප උපදින්නේත්, ජීවත් වන්නේත්, මිය යන්නේත් අනාරක්ෂිතව ය. උපතේදී ම හව්හරණයක් අවශ්‍ය වන හව්හරණයක් නොලැබුණහොත් මිය යන එක ම සත්ත්වයා මිනිසා ය. එහෙත් ඔහු වචනයෙන් පන්දු කෙළින්නෙකි. ඔහුගේ වහසිබස් අහස උසට රාව-ප්‍රතිරාව නංවන්නේ සොබාදහම ඔහුට ශාරීරික සුවය, ජවය සම්පාදනය කර දෙන තුරු පමණ ය. වියපත් වී, අබල-දුබල වන තුරු, සුවනොවන රෝගයකින් ඔත්පළ වන තුරු ඔහුට ඒ වාගාඩම්බර කතා තෙපලිය හැකි ය. ඒ වන තුරු ම ඔහුට ජීවිතයේ මුළාව සාක්ෂාත් නොවේ. දෙවියන් සොයා යන අහිංසක ගැමියකුගේ විශ්වාසය දෙස දයාවෙන්, මුදුහදින් නෙත් යොමු කළ හැක්කේ එවැනි මාන්නාධික පුද්ගලයකුට නොව කවියා වැනි සංවේදී හදවතක් ඇත්තකුට ය.

මිනිසා සිටි නමුත් මුදුනෙම මොළය වැඩී
ඔහුගේ පපුව ඇයි මේ තරමටම දැඩී
උඹහට පමණ වත් විණිනම් වලග පොඩී
යහපත් නොවේවිද මිනිසා මෙයට වැඩී

කුමාරගම කවියාගේ ‘නීලා මළා’ නම් වූ කවි පන්තියෙහි එන මේ කවිය මතුකරන්නේ අමුතු ම ආකාරයේ ප්‍රශ්නාර්ථයකි. මහමොළකාරයාගේ හදවත මේ සා දැඩි වූයේ වලගය නොමැතිවීමේ අඩුපාඩුව හේතුවෙන් දැයි ඔහු අසයි. කවියා මෙහිදී උත්සාහ කරන්නේ තිරිසන් සත්ත්වයා මුදු ගුණයෙන් මනුසතා ඉක්මවා ඇති බව කීමට ය. මේ කවි සංකල්පනාව ඔහු තුළ පහළ වන්නේ නීලා නම් වූ තමාගේ සුරතලා මිය ගිය දිනට පසුදා ය.

මගෙ හදවතට ඇතුළුව හුරතල් දවස
සිට නිව්වෙහිය තනි ජීවිතයක පවස
මා සැතපෙන අතර කළුවර කර නිවස
නීලා මළා හතරට ඊයේ හවස

මේ කවිය කියවීමේදී අපට හැඟීයන්නේ කිසියම් මිනිසකුගේ හෝ මිනිස් කැලකගේ අකෘතඥභාවයට කවියා ගොදුරු වූ බවකි. නිස්සරණාධ්‍යාශයෙන් යුතු ව තමා කළ බොහෝ දෙයින් ඉතිරි වූ දෙයක් වේ දැයි කවියා ප්‍රශ්න කරන්නේ ද ‘නීලා මළා’ කවිපෙළිනි.

හැම පියවරම කරුණාවේ සුවඳ කවා
පොදු යහපතට මගෙ මුළු කාලයම ගෙවා
ලද දේ කිම ද ගත් මිස අත් දෙකම දවා
දැන ගත්තෙහිය උඹ උන් ගැන එදින පවා

විමලරත්න කුමාරගම කවියා වැඩිදෙනකුන් විසින් හඳුන්වනු ලබන්නේ මානව දයාවෙන් සපිරි කවියකු ලෙස ය. එහෙත් ඔහුගේ සත්ත්ව කරුණාව, මෛත්‍රිය, මානව දයාව ද අතික්‍රමණය කරමින් බොහෝ ඈතකට විහිදී ගිය බව ‘ටාසන් මළා’, ‘වලස් දඩයම’, ‘පූසිගෙ මරණය’ වැනි කවිපන්ති වලින් ප්‍රකට වෙයි.

නාරම්පනාවේදී (1919) උපත ලබා අනුරාධපුර කච්චේරියේ ලිපිකරුවකු වශයෙන් ජීවිතය ඇරඹූ විමලරත්න කුමාරගම කවියා 1946 වසරේදී අගනුවර තරුණ කවි සමාජයේ සභාපති ධූරයට පත්වූවේ යැයි අපි අසා ඇත්තෙමු. 1942 දී ප්‍රාදේශීය ආදායම් පාලක හෙවත් ඩී.ආර්.ඕ. තනතුරට පත් වූ ඔහු සිය ජීවිත ගමන නිමා කළේ 1962 වසරේදී ය. අවුරුදු 43 ක් වැනි කෙටි කාලසීමාවක් මුළුල්ලේ ඔහු බොහෝ කවි ලියුවේ ය. ඒ සියල්ලට ම පාහේ පාදක වූයේ ඔවුගේ අත්දැකීම් ය. අනුභූතීන් ය. මනුෂ්‍යත්වය කෙරෙහි අපමණ දයාවක් දැක්වුව ද මිනිසා නම් වූ සත්ත්වයා පිළිබඳ නොසතුටක්, කලකිරීමක් ඔහු තුළ කෙමෙන් ලිය ලා වැඩුණු බවට පසුකලෙක ලියැවුණු ඔහුගේ ඇතැම් කවි සාක්ෂි දරයි. 1949 දී ලියැවුණු මේ කවිය ද එවැන්නකි.

බුදු ගුණ සතපවන්නට හැකි කළු ගලක
සමුදුර සිර කරන්නට පුළුවන් විලක
මිනිසුන් උපන් සව්සිරි පිරි දිවයිනක
අප වැන්නවුන් ඉපදුම බියකරු පවෙක

විමලරත්න කුමාරගම වැනි කවියකු අද වනතුරු ජීවත් ව සිටියේ නම් ඔහු අතින් කවර ආකාරයේ කවි ලියැවෙනු ඇද්දැයි අපට සිතෙයි. අකාලයේ මියැදුණ විමලරත්න කුමාරගම කවියාගේ මරණයට තුඩු දුන් කායික හේතූන් මොනවා දැයි අප දන්නේ නැත. එහෙත් ඒ රෝගී තත්ත්වයට පසුබිම් වූ කිසියම් මානසික පරාභවයන් සිදු ව තිබෙන්නට ඇති බව අපට උපකල්පනය කළ හැකි වන්නේ ඔහුගේ කවි නිර්මාණ ඔස්සේ ය. නිර්මාණකරුවකු මිය ගිය පසු ඔහුගේ මෙහෙවර උත්කර්ෂයට නැගීමත් ඔහු ජීවත්ව සිටිනතාක් කල් ඒ හඬ කෙරෙහි නෑසු කන් ව සිටීමත් ශ්‍රී ලංකාවට ආවේණික තත්ත්වයක් ලෙස හඳුනාගැනීමට අපි දු පුරුදු ව සිටිමු. අද තව වනතුරු ද එහි වෙනසක් සිදුවී ඇති බවක් පෙනෙන්නට නැත.

Comments