
හොලිවුඩ් අදියුරු පුටින්ගෙන් ප්‍රශ්න කරයි
ඔස්කා සම්මාන තුනකින් පිදුම් ලද ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ඔලිවර් ස්ටෝන් විසින් මෙහෙයවනු ලබන ‘ද පුටින් ඉන්ටර්විව්ස්’ නම් වූ රූපවාහිනී සම්මුඛ සාකච්ඡා මාලාව ප්‍රේක්ෂකයන් අතර ඉහළ ජනප්‍රියත්වයක් හිමිකර ගෙන තිබෙනවා. මේ වැඩසටහන්වලට ඔලිවර් ස්ටෝන් සමඟ කතාබහට එක්වන්නේ රුසියානු ජනාධිපති ව්ලැඩ්මිර් පුටින්. 2015 ජුලි මස ඇරැඹුණු මේ වැඩසටහන් මාලාවට මේ වන විට සම්මුඛ සාකච්ඡා 12ක් ඇතුළත් වී තිබෙනවා. ඇමෙරිකාවේ කේබල් රූපවාහිනී නාළිකාවකින් විකාශය වන මේ වැඩ සටහන් මාලාවේ තවත් අලුත් වැඩ සටහනක් පසුගියදා විකාශය වුණා. මේ සම්මුඛ සාකච්ඡාවලදී ඔලිවර් ස්ටෝන්, රුසියානු ජනාධිපතිවරයාගේ දේශපාලන මතවාද මෙන්ම ඔහුගේ පෞද්ගලික තොරතුරු ද විමසුමට ලක් කරනවා.
‘ප්ලැටූන්’, ‘බෝන් ඔන් ද ෆෝත් ඔෆ් ජුලයි’ සහ ‘ජේ. එෆ්. කේ.’ වැනි ජනප්‍රිය චිත්‍රපට නිර්මාණය කළ ඔලිවර්ට දේශපාලන කරුණු හාරා අවුස්සමින් ප්‍රේක්ෂක අවධානය දිනා ගැනීමේ හැකියාවක් ඇති බව ‘ද පුටින් ඉන්ටර්විව්ස්’ වැඩ සටහන්වලින් ඔප්පු කර ඇතැයි හොලිවුඩ්පුරවාසීන් පවසනවා.
ලොව ධනවත්ම කලාකරුවා ඩිඩි
සීන් කෝම්බ්ස් යනු ඔහු කුඩා කල ඔහු ලද නාමයයි. අද වන විට ඔහු රැප් ගී ලොව ජයගත් සුපිරි ගායකයෙක්. දැන් මේ සුපිරි ගී තරුව රසික පරපුර හඳුනාගෙන ඇත්තේ ‘ඩිඩි’ යන කෙටි නාමයෙන්.
ඩිඩි අද සුපිරි ගායකයකු පමණක් නොවෙයි, කෝටිපති ව්‍යාපාරිකයෙක්. ගී ගැයීමෙන්, ව්‍යාපාරික කටයුතුවලින් උපයා ගත් ධනය හේතුවෙන් ඔහු මේ වන විට මුළු ලෝකයේම කලාකරුවන් අතරින් මුල් තැනට පත්ව සිටිනවා. ලෝක ප්‍රකට ‘ෆෝබ්ස්’ සඟරාව පසුගියදා නිකුත් කළ වාර්තාවකට අනුව ඩිඩි, ගෙවී ගිය මාස 12 තුළදී ලැබූ ආදායම ඩොලර් මිලියන 130ක්. එයින් ඩොලර් මිලියන 70ක් ඔහු උපයාගෙන ඇත්තේ තමන් සතු සීන් ජෝන් නම්වූ නිමි ඇඳුම් ව්‍යාපාරවලින්. ෆෝබ්ස් සඟරාව තවදුරටත් සඳහන් කරන්නේ ඩිඩි සතු වත්කම්වල වටිනාකම ඩොලර් මිලියන 820ක් බවයි. ඩිඩි පළමු තැනට පත්වීමත් සමඟම එම ධනවත් කලාකරුවන්ගේ ලැයිස්තුවේ දෙවැනි තැන හිමිකරගෙන ඇත්තේ සුපිරි ගායිකා බෙයොන්සේයි. ඇය පසුගිය මාස 12 තුළදී උපයාගෙන ඇත්තේ ඩොලර් මිලියන 105ක්. ලොව ධනවත් කලාකරුවන් අතරින් තුන්වැනි තැන හිමි වී ඇත්තේ හැරී පොටර් කතා මාලාවේ රචිකාව වන ජේ. කේ. රෝලින්. ඇය පසුගිය දොළොස් මස තුළ උපයා ඇති ආදායම ඩොලර් මිලියන 95 යි.
ජෙනිෆර්ගේ ගුවන් යානය අනතුරක
දැන්, ජෙනිෆර් ලෝරන්ස්ගේ වයස අවුරුදු 26 යි. එතරම් ළාබාල වියේදී වුණත් ඇය මේ වන විට ගුවන් යානයක හිමිකාරියක බවට පත්ව සිටින බවයි, පසුගියදා අහන්නට ලැබුණු පුවතකින් සනාථ වුණේ. ජෙනිෆර් ගමන් කළ කුඩා ගුවන් යානය හදිසියේම යාන්ත්‍රික දෝෂයකට ලක්වෙලා. මේ ගුවන් යානයේ අයිතිකාරියත් ඇයයි. ඇමෙරිකා එක්සත් ජනපදයේ කෙන්ටකි ප්‍රදේශයේ පිහිටි ඇගේ නිවස අසලින් ගුවනට නැඟුණු මේ ගුවන් යානය මඳ දුරක් පියාසර කරද්දී එහි එන්ජින් දෙකම හදිසියේ යාන්ත්‍රික දෝෂයකට හසුවී ඇති බව එහි නියමුවාට තේරුම් ගිහින්. ඒ නිසා ඔහු වහාම නිව්යෝක් නුවර බෆලෝ ප්‍රදේශයේ ස්ථානයකට ගුවන් යානය නිරුපද්‍රිතව ගොඩ බස්වා තිබෙනවා. ඒ නිසා ජෙනිෆර්ටවත් එහි ගමන් ගත් කිසිවකුටවත් අනතුරක් සිදුවී නැහැ.
මහා නළුවකුගෙන් නිහතමානී පැතුමක්
සොෆියා බෞටෙලා මෙරට සිනමා රසික පරපුරට අමුත්තියක වුණත් මේ දිනවල උණුසුම් ප්‍රතිචාර මැද තිරගත වන ‘ද මමි’ චිත්‍රපටය නිසා ඇය දක්ෂ නිළියක ලෙස හඳුනාගෙන තිබෙනවා. ඇල්ජීරියානු සහ ප්‍රංශ සම්භවයක් සහිත සොෆියා කලා ලොවට පිවිසුණේ නර්තන ශිල්පිනියක සහ මෝස්තර නිරූපිකාවක ලෙසින්. පසුව හොලිවුඩ් සිනමා ලොවට එක්වී තම කුසලතා ඔප මට්ටම් කර ගත් සොෆියාට හොලිවුඩයේ ප්‍රවීණ නළුවකු වන ටොම් කෲස් සමඟ ‘ද මමි’ චිත්‍රපටයේ රඟපෑමේ වාසනාව උදාවුණා. චිත්‍රපටයේ ප්‍රධාන නිළිය ලෙස රඟන්නට වරම් ලද ඇය, එයට සූදානම් වුණේ දැඩි උනන්දුවකින්. ඒත්, චිත්‍රපටයේ පූර්ව නිෂ්පාදන කටයුතුවලදී ඇය අසනීප වුණා. මේ නිසා සොෆියාට එම වැඩ කටයුතුවලට දින කිහිපයක්ම යනතුරු සහභාගි වෙන්නට හැකි වුණේ නැහැ. මේ අතර, සොෆියා අසනීපව සිටින බව දැනගත් ටොම් කෲස් ඇයට ඉක්මන් සුවය පතමින් තෑගි පාර්සලයක් යැවීමට කටයුතු කළා. ටොම් වැනි ප්‍රවීණ, සුපිරි නළුවකු එවැනි තිළිණයක් සහ සුබ පැතුම් එවීම සොෆියාගේ සතුටට හේතු වුණා. ‘ටොම්, මොන තරම් කරුණාවන්ත කෙනෙක් ද?’ ඇය, ඔහු අගය කරමින් පැවසුවා.
එදත් අදත් නොවෙනස් රිහානා
‘රිහානා දැන් තරවෙලා. ඇය උත්සාහ ගන්නේ මේ තරබාරු බව අලුත් විලාසිතාවක් හැටියට පෙන්වන්න ද?” මේ ප්‍රශ්නය සටහන් වී තිබුණේ ‘බාස්ටූල් ස්පොර්ට්ස්’ නම් වූ ක්‍රීඩා වෙබ් අඩවියට ඇතුළත්ව තිබුණු ලිපියකයි. මේ ලිපියේ රචකයා, ප්‍රකට ක්‍රීඩා මාධ්‍යවේදියකු වන ක්‍රිස් ස්පැග්.
බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල උපන් බාබේඩියානු ජාතික යුවතියක වන සුපිරි ගායිකා රිහානටයි ක්‍රිස් එම ප්‍රශ්නය යොමුකර තිබුණේ. මෙය දුටු අන්තර්ජාලයේ සැරිසරන්නන් අතිවිශාල පිරිසක් තම සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ අදහස් සටහන් කරමින් ප්‍රකාශ කළේ ක්‍රිස්ගේ අදහස නිවැරැදි බවයි. ඔවුන් තවදුරටත් පවසා තිබුණේ 29 වියැති රිහානා වයසට වඩා තරබාරු වී ඇති බවයි. රිහානා මේ සියලු දෙනාටම ප්‍රතිචාර දක්වන අදහසින් යුතුව ඉන්ස්ටග්‍රෑම් පිටුවෙහි 2007 දී සහ 2017 දී ගන්නා ලද තමන්ගේ ඡායාරූප 2ක් පළ කළා. එලෙස ඡායාරූප පළ කරමින් රිහානා උත්සාහ දැරුවේ තමන් එදත් අදත් නොවෙනස් බව පෙන්වන්නට වෙන්න ඇති.