
ඉන්ද්‍රචාපගේ සමීප රූපාවලිය, පසුගිය දහවැනි ශනිදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ, ලෝටස් ශාලාවේ පැවැති උත්සවයක තොරතුරු හා මුහුණුවලින් පිරේ. ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ නිලධාරීන්ගේ මුහුණු ශ්‍රී ලංකාවේ පළමුවරට පැවැත්වෙන අපූරු නිර්මාණ සම්මාන රාත්‍රියක අසිරිය සමීපරූප අතරය. මේ අසිරිමත් වූ රාත්‍රිය කුමක් සඳහාදැයි ඉන්ද්‍රචාප විමසිලිමත් වීය. සිංහල කෙටිකතා සහ කාව්‍ය කලාවට පිදෙන ප්‍රකාශක උත්තමාචාරය හෙවත් රජත පුස්තක සම්මාන 2017 යි. මේ අසිරිමත් උත්සව රාත්‍රිය.
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන් ගේ සංගමය විසින් පසුගිය දස වසර තුළ මෙරට ප්‍රකාශකයන් විසින්, පළකරන ලද හොඳ ම නවකතාවට රුපියල් අඩමිලියනයක් බැඳි පඬුරු පූජා කරනු ලබනවා. ස්වර්ණ පුස්තක සම්මානයත් මෙතෙක් එය දිනූ ලේඛක ලේඛිකාවන් ගේ මුහුණුත් ඔවුනගේ සම්මානිත නවකතා කෘතීන් ඉන්ද්‍රචාපගේ සමීප රූපයට හසු වී හමාරය. එහෙත් පසුගිය දින වන ශනිදා සමීපරූප අතරට මෙරට තවත් ජනප්‍රිය කලා මාධ්‍ය ද්වයක් වන සිංහල කෙටිකතාව හා සිංහල පද්‍යය යන නිර්මාණ ක්ෂේත්‍රයන්හි 2016 වසරේ පළවූ හොඳ ම කෙටිකතා සංග්‍රහයට හා හොඳ ම කාව්‍ය සංග්‍රහයට දහසින් බැඳි පියලි පිරිනැමීමේ සද්කාර්යයක් සංවිධානය කළ ප්‍රකාශක සංගමයට ඉන්ද්‍රචාප ගේ ස්තුතිය පිරිනැමෙන බව සමීප රූපයෙහි සඳහන් කළ යුතුය.
කෙටිකතා විනිශ්චයට, කාව්‍ය සංග්‍රහ විනිශ්චයට එක් වූ පාදක, උත්තරීතර මණ්ඩල සාමාජික සාමාජිකවන් ගේ මුහුණු සමීපරූපයට එක් වනු ඉන්ද්‍රචාප දකී. කෙටිකතාව හා කාව්‍යයේ 2016 වර්ෂයේ හොඳ ම නිර්මාණකරුවා හෝ නිර්මාණකාරිය කවුරුන් ද යන්න පිළිබඳ උණුසුමක් ඒ වන විටත් ඇති වී තිබුණේ ඒ සඳහා තරගවැදුණු නිර්මාණකරුවන් හත් දෙනකුගේ ම මුහුණු ඉන්ද්‍රචාපට පෙනුණු නිසායි. හොඳ ම කාව්‍ය සංග්‍රහය සඳහා ‘සමහර කමටහන්’ රචනා තුළ ලක්ෂාන්ත අතුකෝරල, මඳහසක මැදියම රචනා කළ කිවිඳිය, අනුරාධා නිල්මිණි, කපුටා සහ සිටාණෝ කාව්‍ය සංග්‍රහයෙහි කවියා එරික් ඉලයප්පාරච්චිත් විල් නෙතක මල් මතක සමඟ නඳුන් යසිත දසනායක ගේ මුහුණත් ඉන්ද්‍රචාපට පෙනේ. කෙටිකතා නිර්දේශ නාම අතර බැග්ඩෑඩ් සමඟ එරික් ඉලයප්පාරච්චිත්, දුෂ්ටකමේ සෞන්දර්ය සහ රත්මලානේ කතා සමඟ මංජුල වෙඩිවර්ධනත් සමරසිංහ ගුණසේකර කාලිදාස කල්ඉකුත් වී නැත කෙටිකතා සංග්‍රහය සමඟත් ජයතිලක කම්මැල්ලවීර එකොළහ කතා සංග්‍රහය සමඟත් සිටිනු ඉන්ද්‍රචාප ගේ සමීප රූපයට හසුවේ.
රජත සම්මාන උලෙළේ ආරාධිත දෙසුමට සපැමිණි අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම ගේ මුහුණ ද ඔහුගේ දේශනය ද සමීප රූප අතර සටහන් වන්නේ හද තුළ ආසා කවි එකතුවේ කවි ගායනයන් ද ප්‍රේක්ෂාගාරයට අසන්නට ලැබීමෙන් අනතුරුවය. පාසල් වියේ උසස් පෙළ සිංහල හැදීරීමේදී නිර්දිෂ්ටව තිබූ කවි, කෙටිකතා හා නවකතා පිළිබඳ නිවැරැදි මතකයෙන් තම කෙටි අදහස් දැක්ම ඉදිරිපත් කළ අමුණුගම කවියා පැවසුවේ, ඔවුන් පාසල් සමයේදී ම සාහිත්‍යය ඇසුරින් ජීවිතය හා ජීවිතයට බැඳුණු ආදරය ලිංගිකත්වය, පවුල් සබඳතා පිළිබඳ පවා ඉගෙනුමක් මෙන් ම රසවිඳුමක් ද ලැබූ බවයි. දශක ගණනාවකට පෙර පාසල් සාහිත්‍ය නිර්දේශය පිළිබඳ ආචාර්ය අමුණුගම ප්‍රකාශ කළ සත්‍යය වෙනුවට අද දවසේ සිංහල විෂය නිර්දේශය පිළිබඳ පෙනෙන්නට ඇති පටු, සාම්ප්‍රදායික, පුද්ගලබද්ධ මති මතාන්තර පිළිබඳ ඉන්ද්‍රචාපගේ මතකයට නැඟුණේ කලකිරීමක් ද සහිතවය. ආචාර්ය අමුණුගම වැන්නන් ගේ සමීප රූපය ඉන්ද්‍රචාප දකින්නේ මෙරට උසස් අධ්‍යාපනය, ජනමාධ්‍යය, සංස්කෘතික ක්‍රියාකාරකම් සමඟ මිස විශේෂ කාර්ය වැනි විෂය පථ සමඟ නොවන බවයි ඉන්ද්‍රචාපට හැඟී ගියේ. කෙසේ වුවත් සංක්ෂිප්ත හා කෙටි අදහස් මඟින් ඔහුගේ දේශනයෙන් මතු කළ කරුණු පිළිබඳ අවධානය යොමුවීම අවශ්‍ය බවයි ඉන්ද්‍රචාපගේ හැඟීම වූෙය්.
පළමු රජත පුස්තක සම්මාන දිනූ මංජුලට මෙන් ම ලක්ෂාන්තටද ඉන්ද්‍රචාප ගේ උණුසුම් සුබපැතුම් එක්වන්නේ ඔවුන් දෙදෙනා ම එම සම්මානයට සුදුස්සෝය යන සිතුවිල්ල සමඟයි. චාම් එහෙත් ගෞරවනීය සම්මාන ප්‍රදානයක ඇරැඹුම සටහන් කිරීමට පුරෝගාමී වූ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන් ගේ සංගමයට ඉන්ද්‍රචාප ඇතුළු කවියට කෙටිකතාවට ආදරය කරන හැමගේ ආචාරය!