
කොහොමද උපේක්ෂා..මවු පදවිය ලැබීමත් සමග කාරය බහුල වෙලා වගෙයි..?
ගොඩක් කාර්ය බහුලයි.ඒ වෙනත් කිසිම දෙයක් නිසා නෙමෙයි දරුවාගේ වැඩකටයුතුවල යෙදෙන නිසයි. දවස ගෙවෙනවා දැනෙන්නෙ නෑ. හරිම සතුටින් කාලය ගෙවනවා.
තනිකඩ ජීවිතේ හොඳයි කියලා හිතෙන්නේ නැද්ද..?
කොහෙත්ම නෑ. දුව ලැබුනයින් පසුව තමයි මගේ ජීවිතය කොතරම් සුන්දරද කියලා දැනුනෙ. දැන් තමයි ජීවත්වනවා කියන හැගීම දැනෙන්නෙ.දැන් මගේ ජීවිතයේ සියළුම වැඩ හැඩගැහෙන්නනෙ බබත් එක්ක. තනිකඩ ජීවිතේට වඩා සෑහෙන්න වගකීම් වැඩියි තමයි. ඒත් මම මේ ජීවිතේට කැමතියි.
ඒ කියන්නෙ දුවගේ වැඩ තනියම කරගන්නවා කියන එකද..?
ඔව්. මම තමයි දුවගේ සියලු වැඩ කරන්නෙ. ගෙදර වැඩ කරන්න කෙනෙක් ඉන්නවා. සමහර අවස්ථාවල මවත් සහාය වනවා. ඒත් දෝණිගේ වැඩ කරන්න කාටවත් දෙන්නේ නෑ. දෝණි නාවන එක, කවන, පොවන, නිදිකරන හැම වැඩක්ම මම කරනවා. මගේ ආසාව දරුවට අවුරුද්දක් යනකම් මවුකිරි පමණක් දෙන්න.
දියණිය ගැන කියන්නේ නැද්ද..?
ඇය ධනුජි ෂැනන් පෙරේරා. මාස හතයි.
දියණියගේ ක්‍රියාකාරකම් දකිනවිට මොකද හිතෙන්නේ..?
ඇත්තටම..මම කවදාවත් පුංචි දරුවෙක් එක්ක සමීපව සිට නෑ. මට ඥාතිවන කෙනෙකුගේවත් චූටි දරුවන් හුරතල් කරන්න ලැබී නෑ. ඉපදුණු මුල්ම දවස්වල දෝණිව දැක්කම පුදුම බයක් දැනුනා. මෙච්චර චූටි ළමයව ලොකුකරගන්නේ කොහොමද කියා. එහෙත් දවසෙන් දවස එයාගේ ක්‍රියාකාරකම් දකිනකොට හිතේ තිබුණු බය පහව ගියා. දැන් ඇයව නාවන්නේ, නිදිකරවන්නේ, සියල්ල මගේ අතින්. මුල් කාලයේ වඩා ගන්නත් බයයි. දැන් ඇය හරිම හුරතල්.
දියණිය වැඩියම සමීප ඔබටද.. සැමියාටද..?
මගේ මහත්තයා සමන්ත පෙරේරා. ඔහු ව්‍යාපාරිකයෙක්. නිතරම ගෙදර නැතත් ඉන්න හැම වෙලාවකම දෝණි සමග තමයි කාලය ගෙවන්නේ. දරුවා බලන්න පැමිණි සියල්ම දෙනාමත් පැවසුවේ ඇය තාත්තා වගෙයි කියා. ඒ වෙලාවට මටනම් ඉරිසියත් හිතෙනවා. මුලින්ම දෝණි බහ තේරුවෙත් තාත්තා කියල. මට හිතෙන්නේ මම කොච්චර ඇයට සමීපව සිටියත් ඇය වැඩිපුරම ආදරේ තාත්තට.තාත්තව දැක්කම හිනාවෙලා අතට පනින විදිහට මට එහෙම හිතෙනවා.
කොහොමද ඔබේ සැමියා... සමන්තගෙන් ලැබෙන සහාය..?
ඔහු ව්‍යාපාරිකයෙක් නිසා හැම වෙලේම ගෙදර රැඳෙන්නේ නෑ. ගෙදර ඉන්න සෑම විටකම මට උදවු කරනවා. මමත් එයා ගෙදර ඉන්නවනම් දෝණිව බලාගන්න කියලා වැඩ කරගන්නවා. ඔහු මා ගැන හරියට සිතනවා. හැම වෙලේම මාත්,දරුවාත් සතුටින් තියන්න උත්සාහ කරනවා.මට දරුවා ගැන සිතෙන්නේ මගේ සැමියා වැනි පියෙක් ලබන්න ඇය පින්කර තිබෙනවා කියා. මම මගේ පියා නැතිව දුක්විඳපු හැටි තාමත් මතකයි. අම්ම මාව හදාගත්තෙ කොච්චර දුකසේද. මමත් මගේ දරුවත් හරිම වාසනාවන්තයි මගේ සැමියා වැනි කෙනෙක් හමිවීම ගැන. අපි ආදරය කරන කාලෙට වඩා ඔහු දැන් මට ආදරෙයි කියලා හිතෙනවා.
උපේක්ෂා රූපය ගැන හිතන්නේ නැද්ද..?
මම මගේ රූපය ගැන හිතනවා. ළඟදි දරුවා ලැබුණා කියා මගේ ශරීරයේ කිසිම වෙනසක් සිදුවී නෑ. මහත්වෙලත් නෑ. මට හිතෙන්නේ මගේ සමත් එදාටත් වඩා අද පැහැපත්.
මවක් ලෙස දියණිය ගැන තියෙන බලාපොරොත්තු දැන ගන්න කැමතියි..?
දුවගේ දක්ෂතාවට සහ ආසාවට නිදහස දෙනවා. ඇය මොන වෘත්තියක නියැළෙන්න කැමති වුනත් ඇයට හොඳ අධ්‍යාපනයක් ලබා දීමයි බලාපොරොත්තුව. විශේෂයෙන් ඇය ක්‍රියාශීලි ගුණ යහපත් දරුවෙක් ලෙස රටට දායාද කිරීමයි අප දෙදෙනාගේම බලාපොරොත්තුව. මටත් වැඩි දුර අධ්‍යාපනයක් ලබන්න නොහැකිවීම ගැන අදටත් පසුතැවෙනවා. ඒ නිසා දුවට හොඳින් ඉගැන්වීම තමයි අප දෙදෙනාගේම බලාපොරොත්තුව.
උපේක්ෂා කියන කලාකාරිණිය අපට නැවතත් දකින්න ලැබෙන එකක් නැති වෙයිද..?
එහෙම වෙන්නෙ නෑ. දිගටම මම ක්ෂේත්රයේ රැඳී ඉන්නවා. දෙසැම්බර් මාසෙ film එකක වැඩ භාරගෙන තියෙනවා. රෂ්මි ටෙලිනාට්‍ය ඉදිරියේදි විකාශය වෙන්න තියෙනවා. නර්තන ප්‍රසංග කිහිපයක් භාරගෙන තිබෙනවා.
ඔබ කොහොමද දරුවත් සමග කලා කටයුතුවලට සහභාගිවෙන්නේ..?
මම කොහේ ගියත් දෝණි අරගෙන යනවා. මට ඇය හැම වෙලේම ඇසට පෙනෙන මානයේ සිටිය යුතුයි. ඒ යන ගමන්වලට අම්මා හෝ සහයට සිටින කෙනා මාත් සමග යනවා. මට හිතෙනවා අපි දරුවන් වෙනුවෙන් කරන කැප කිරීම් දීර්ඝකාලීනව දරුවන්ගේ දියුණුව වෙනුවෙන් කරන දේවල් කියා.
උපේක්ෂා කලක් මන්ත්‍රිවරියක් ලෙස කටයුතුකළා..ඇයි දැන් දේශපාලනය කරනවා පේන්න නැත්තේ..?
ආපහු දේශපාලනය කරන්න කිසිම අදහසක් නෑ. දේශපාලනයේ නිරතවුණා කියා ලැබිච්ච දේකුත් නෑ. රඟපෑමෙන් හම්බකරගත් දේවලුත් දේශපාලනයට ඇවිත් නැති කරගත්තා. හැබැයි ජීවිතයට අත්දැකීම් රැසක් ලැබුණා. ඒවා වටිනවා. සමහරවිට වයස අවුරුදු 50ක් 60ක් යනකොට දේශපාලනය කරන්න හිතෙයිද දන්නේ නෑ. එතකන් මම ආසකරන රංගනය කරගෙන ඉන්නවා.
දේශපාලනය ඒ තරමටම එපා වෙලාද..?
ඇත්තටම එපා වුණා. මොකටද අපි කාගෙවත් කීමට වැඩකරන්නේ. අපේ ප්‍රසිද්ධියෙන් ප්‍රයෝජන ගන්න බලන් ඉන්න අයට අහු වෙන්න හොඳ නෑ. එහෙමයි කියල දෙනදේ කාල වෙනදේ බලන් ඉන්න චරිතයක් නෙමෙයි මම. ඇත්තටම දේශපාලනය කරල හම්බ වුණේ මගේ මහත්තය විතරයි. වසර ගණනාවක් ඔහු මගේ දේශපාලනික වැඩවලට උදවුකරමින් මා ගැන හොඳ නිරීක්ෂණයක යෙදී දේශපාලනයෙන් ඉවත් වුනාමයි ඔහු මට විවාහ යෝජනාව කළේත්.
අදත් ඔබව බහුතරයක් දන්නේ පබා යන නමින්...මතකයිද ඒ අතීතය..?
ඒ අතීතයට හරිම කැමැතියි. අපේ රටේ කොහේ ගියත් හැම කෙනාම මාව අදටත් හදුනන්නෙ පබා යන නමින්. ඒ කාලෙ රූ ගතකිරීම් වලදි අපි සියලු දෙනාම හිටියෙ එක පවුලක් වගෙයි. අදටත් ඔවුන් දැක්කම තමන්ගෙ කෙනෙක් හමුවුණා වගේ හැඟීමක් දැනෙනවා. නැවත එම නාට්‍ය ස්වාධීන රූපවාහිනියෙන් විකාශය කිරීම ගැන ස්තූතිවන්ත වෙනවා. දැන් පබා නරඹනකොට හිතෙනවා මේ රඟපාන්නෙ මමද කියා. ඇත්තටම පබා චරිතය මට වාසනාව ගෙනාවා.