දුක් කම්ක­ටොලු අම­තක කිරී­මට ගීත ගයන මෙහෙ­ණිය | Page 2 | සිළුමිණ

දුක් කම්ක­ටොලු අම­තක කිරී­මට ගීත ගයන මෙහෙ­ණිය

ඇනී චෝයින්ග් යන නාමය ලංකාවේ අපිට එතරම් හුරුපුරුදු නමක් නොවුණාට, ඇයව ලොව පුරා ප්‍රසිද්ධ වී දැනට බොහෝ කලක් ගතවී තිබෙනවා. ජීවිතයේ විඳි සියලු දුක් කම්කටොලු බුදු දහමින් හා ගීතයෙන් අමතක කර දැමූ ඇය දැන් අන් අයගේ ජීවිත සුවපත් කිරීමට කැපවී සිටිනවා. අද මෙම විශේෂාංගය වෙන් වන්නේ ඇයගේ කතාවටයි.

ඇය වයස අවුරුදු 5ක් තරම් කුඩා කාලයේ සිටම ගෘහස්ථ හිංසනයට ලක්වූවාය. අවසානයේ වයස අවුරුදු 13 දී නිවෙසින් පැන යාමට තීරණය කරන්නේ මෙතෙක් කල් අතට අහුවුණ දෙයකින් පහරදුන් පියා, චෝයින්ග් හට පිහියකින් ඇනීමට තැත් කිරීම නිසායි. පවුල තුළින්ම ලද ජීවිත කලකිරීම නිසා කිසි දිනක විවාහ නොවීමට තීරණය කළ ඇය සසුන් ගත වීම එකම ගැලවීම බව අවබෝධය කර ගත්තාය.

නේපාලයේ කත්මණ්ඩු නගරයේ බෞද්ධනාත් විහාරයේ ස්ථූප පෙනෙන මානයේ ඉපදුණු දා පටන් ජීවත් වූ ඇයට ‘නගි ගොම්පා’ මෙහෙණි ආශ්‍රමය තුළ ජීවත් වීම එතරම් නුහුරු දෙයක් නොවීය. මෙහිදී ඇය ඉංග්‍රීසි භාෂාව හා අධ්‍යාත්මික ගීත ගායනා කිරීමට ඇයගේ ගුරුතුමා වන Tulku Urgyen Rinpoche නායක හිමියන්ගෙන් හදාරා තිබේ. ඉන්පසුව ඇය වැනිම පුද්ගලයකු වන ස්ටීව් ටිබ්බෙට්ස් ව හමුවී තිබෙන අතර එයින් පසුව චෝයින්ග් විසින් අධ්‍යාත්මික ගීත ගැයීමට පටන් ගෙන තිබේ. මොවුන් දෙදෙනා එක්ව ‘චෝ’ නමින් ගීත ඇල්බමයක් එළි දක්වා ඇති අතර එම ඇල්බමය භාවනානුයෝගී ගීත අඩංගු ඇල්බමයකි. වසර 1997දී එළි දැක්වූ මෙම ගීත ඇල්බමය එම වසරේ හොඳින්ම අලෙවි වූ ගීත ඇල්බමය බවට පත් වී තිබේ. මේ වන විට ඇය ගීත ඇල්බම 11 ක් එළිදක්වා තිබෙන අතර මෙයින් සමහරක් නේපාලි භාෂාවෙන් ගායනා කර තිබීමත් විශේෂත්වයක්.

2014 වසරේදී UNICEF සංවිධානයේ පළමු නේපාල තානාපති ලෙස චෝයින්ග් මෙහෙණිය පත් වී තිබෙන අතර ඊට අමතරව කාන්තාවන් හා දරුවන් ප්‍රචණ්ඩත්වයෙන් ආරක්ෂාකර ගැනීම සඳහා තනතුරක්ද ඇය වෙත පිරිනමා තිබේ. 2004 වසරේදී ඇය විසින් නේපාල බසින් ගයන ලද ‘සාමය හා සංහිඳියාව වෙත ඇමතුමක්’ නම් ගීතය වසරේ හොඳම ගීතය, වසරේ හොඳම කාන්තා ගායනය සඳහා නේපාල ගුවන්විදුලි නාළිකාවක් සංවිධානය කරන සම්මාන උළෙලකට නිර්දේශ වීම ඇයගේ සංගීත හැකියාව කියා පෑමට හොඳම නිදසුනක් ලෙස හැඳින්විය හැකියි.

දැන් ඔබට චෝයින්ග් මෙහෙණිය වෙත ලැබෙන මුදල් පිළිබඳව කුතුහලයක් ඇති වෙන්නට ඇති. මැය වෙත ලැබෙන සියලුම මුදල් පැවිදි මෙහෙණින් වහන්සේලාගේ සුබසාධන අරමුදලක් වෙත යොමු කර තිබේ. කලක් නි‍ෙවසේ පියාගෙන් පහර කෑමට ලක් වූ ඇය අද නිල් අහසේ පියඹා යන කිරිල්ලියකටත් වඩා දැන් නිදහසේ ජීවත් වෙනවා. මැයගේ මව වකුගඩු රෝගය නිසා මියගොස් ඇති අතර ඒ නිසා වකුගඩු රෝගීන් සඳහා විශේෂ රෝහලක්ද මැය ස්ථාපිත කර තිබෙනවා. ඇය අපි හැමෝගෙන්ම ඉල්ලා සිටින්නේ ජීවන ප්‍රශ්න හමුවී නොසැලී සතුටින් සිටීමට ඇයගේ ගීත භාවිතා කරන ලෙසයි. 

 

 

Comments