
‘වොන්ඩර් වුමන්’ රඟද්දී ගැබිනියක්
මේ දිනවල ආදායම් වාර්තා තබමින් තිරගත වන ‘වොන්ඩර් වුමන්’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන ගාල් ගැඩොට් වෙත බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබෙනවා. මේ වන විට 32 වැනි වියෙහි පසුවන ඇය, නිරූපණ කලාවට යොමු වී ඉන් පසුව හොලිවුඩ්පුරයට පා තැබු සුරූපිනියක්. 2004 සිට සිනමා රංගනයට එක්වී සිටින ගාල් ගැඩොට් විවාහ වී සිටින්නේ කෝටිපති ව්‍යාපාරිකයකු වන යරොන් වාසනෝ සමඟයි. ඔවුන් දෙදෙනා දැන් දරුවන් දෙදෙනකුගේ මවුපියන්. බොක්ස් ඔෆිස් වාර්තා තබමින් තිරගත වන ‘වොන්ඩර් වුමන්’ චිත්‍රපටයේ දර්ශනවල රඟපෑමෙන් පසුව ඇයට නැවතත් තවත් දර්ශන කිහිපයක රඟපාන්නට සිදු වුණා. ඒ, පසුගිය නොවැම්බර් මාසයේදී. ඒ වන විට ඇය පස් මසක ගැබිනි මාතාවක්. එහෙම වුණත් ඇය ‘වොන්ඩර් වුමන්’ චිත්‍රපටයේ එම අතිරේක දර්ශනවල රඟපෑමට ලන්ඩනයේ, ලීවෙස්ඩන් චිත්‍රාගාරයට පැමිණියේ කිසිදු අපහසුවකින් තොරවයි. එහිදී ඇයව වෙස් ගන්වද්දී ඇගේ ගැබිනි බව කැමරාවට හසු නොවන ලෙස උපක්‍රම යොදන්නට වේශ නිරූපණ ශිල්පීන් උත්සාහ ගත්තා. ඒ උත්සාහයන් සාර්ථක වුණා.
“ගාල් ගැඩොට් එදා රඟපෑවේ මාස දෙකකට කලින් ඇයට ලැබුණු මායා කියන බිලිඳු දියණිය කුස දරා සිටිද්දීයි. එක්තරා යුදමය දර්ශනයක රඟපාද්දියි මායා, ගාල්ගේ කුසේ සිටියේ.” චිත්‍රපටයේ අධ්‍යක්ෂ පැටි ජෙන්කින්ස් පැවසුවා.
‘අමතක කරලමු පැරැණි කතා’
“ගිය දේ ගියාවේ. මම එයාට සමාව දෙනවා” මෙහෙම කියන්නේ බ්‍රෑඩ් පිට් සමඟ එක වහලක් යට යුගදිවියක් ගත කළ සුපිරි නිළි, ඇන්ජලිනා ජොලීයි.
“බ්‍රැඩ් දරුවන්ට ආදරෙයි. බීමත්ව හිටියත් එයා ගෙදර දොර වැඩ කටයුතුවලදී ප්‍රමුඛත්වය දෙන්නේ දරුවන්ටයි. ඒ අය බ්‍රැඩ්ගෙ ජීවිතය වගේ. ඔවුන්ගෙ ආරක්ෂාව සහ සතුට තමයි, බ්‍රැඩ් නිතරම ප්‍රාර්ථනා කරන්නෙ බ්‍රැඩ්ට කවදාවත් තනියෙන් ජිවත් වෙලා පුරුද්දක් නැහැ.” බ්‍රැඩ් සහ ඇන්ජලිනාගේ සමීපතම මිත්‍රයකු එලෙස පැවසුවේ බලාපොරොත්තු සහගතවයි. ඔහුගේ පැතුම වන්නේ නැවතත් පෙර ලෙසින්ම ‘බ්‍රැන්ජලිනා’ යුග දිවියක් උදා වේවා ය යන්නයි.
ඇන්ජලිනා සමාව දෙන්නට සූදානම් බවට පළවූ ප්‍රවෘත්තිය ගැන යහපත් ප්‍රතිචාරයක් මේ වන විට බ්‍රැඩ්ගෙන් ලැබී තිබෙන බවයි ආරංචි.
පින්තූර ගත්ත අපූරුව
ඈශ්ලේ ග්‍රැහැම් සුපිරි නිරූපිකාවක්. ජනප්‍රිය තරුවක්. මේ සුරූපිනිය නිරූපණ කලාවට පැමිණි කාලයේදී මුහුණ දුන් අප්‍රසන්න අත්දැකීමක් පසුගියදා පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කළා. දැන් 30 වැනි වියෙහි පසුවන ඈශ්ලේ මෙම අත්දැකීම ලබන්නට තරම් අවාසනාවන්ත වූයේ 17 වියැති යුවතියකව සිටිද්දීයි.
“එක්තරා ප්‍රචාරක කටයුත්තකට මගේ පින්තූර ගන්න ගිහින් තමයි මේ දේ සිද්ධ වුණේ. එතන හිටියා කැමරා සහායකයෙක්. එයා මාත් එක්ක ගොඩක් යාළු වුණා. ‘මෙහෙ එන්න’ කියලා ඒ මිනිහා මට කතා කළා. මම හිතුවෙ මොකක්හරි වැදගත් වැඩකට කතා කරනවා කියලයි. මට ඔය මිනිස්සු ගැන හරි අවබෝධයක් තිබුණෙ නැහැ. මම ඒ මිනිහාව විශ්වාස කළා. මොකද, මට වඩා ගොඩක් වැඩිමල් නිසා. එදා ඒමිනිහා මාව දූෂණය කළා. එදා ඉඳල මේ වන තුරු මේ සිද්ධිය මම කාටවත් කිව්වෙ නැහැ.”
ඈශ්ලේ, තමන්ට එදා සිදුවූ ඒ අමිහිරි සිදුවීම අද හෙළි කළේ සමාජය වෙත දෝෂාරෝපණයක් ද එල්ල කරමින්.
ත්‍රාසජනක රූගත කිරීමක්
‘මිෂන් ඉම්පොසිබල්’ චිත්‍රපට මාලාවට අයත් අවසන් වරට තිරගත වූ චිත්‍රපට යුගලයෙහි සුපිරි නළු ටොම් කෲස් රඟපෑ අතිශය ත්‍රාසජනක දර්ශන ප්‍රේක්ෂකයන්ගේ මනසින් කිසි දිනෙක ගිලිහෙන්නේ නැහැ.
මේ අතිදක්ෂ රංගන ශිල්පියාගේ නවතම රැඟුම් ඇතුළත් වන්නේ ලබන සැප්තැම්බර් මාසයේදී තිරගත වීමට නියමිත ‘ඇමෙරිකන් මේඩ්’ චිත්‍රපටයේ. ටොම් කෲස් මෙහි රඟන්නේ ද ත්‍රාසජනක දර්ශන රැසක්. ඔහු මේ චිත්‍රපටයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස චරිතයක් නිරූපණය කරනවා.
එක් දර්ශනයක ටොම් කුඩා ගුවන් යානයක් පදවාගෙන යන අවස්ථාවක් නිරූපණය කළා. ගුවන් යානය පදවාගෙන යන ඔහු, එහි තිබෙන කොකේන් අඩංගු පාර්සලයක් පොළොවට විසි කරනවා. ඔහු ඒ මොහොතේදී කොකේන් පාර්සලය විසි කරන්නේ ගුවන් නියමු කුටියෙන් පිටතට පැමිණයි. එය අතිශයින්ම අවදානම් සහගත අවස්ථාවක් බවයි චිත්‍රපටයේ අධ්‍යක්ෂ ඩෞග් ලිමාන් පැවසුවේ.
“ඒක ඇත්තෙන්ම ලොමු දැහැගන්වන දර්ශනයක්. ඒක රූගත කළේ ගුවන් යානයත් එක්ක ගමන් කළ හෙලිකොප්ටර් එකක ඉඳන්. ටොම්, අර පාර්සලය බිමට දමද්දී නියමු කුටියේ කිසි කෙනෙක් හිටියෙ නැහැ. ටොම්, ඒ ගුවන් යානයේ පිටිපස්සට ඇවිල්ලයි පාර්සලය අතහැරියේ.” අධ්‍යක්ෂවරයා එලෙස කීවේ ටොම්ටත් වඩා බියපත් වෙලයි.