
එහෙම තිබුණා නං නේද හොඳ
‘ආණ්ඩුව නියම කරන තැනකට ගිහින්, ඒ ගොල්ලෝ කියන දවසට කියනවෙලාවට උද්ඝෝෂණයක් කළාම අපි නිකම් ම ඒ ගොල්ලන්ගේ රූකඩ වෙලා ජනතාව ඉස්සරහ හෑල්ලු වෙනවා නේද?’ වෘත්තීය සමිති රැස්විමේදී බන්දුපාල නැඟී සිටිමින් ප්‍රශ්න කළේ ය.
‘මොකෝ නැත්තෙ? ඒකත් හරියට අපේ කන්තෝරු කැන්ටින් වල කෑම රස නැති වුණා ම අපි පිට හෝටල්වලට ගිහින් කෑම කන්ඩ පුරුදු වුණා ම දවල්ට කන්තෝරුවෙන් පිටට යන එක තහනම් කරලා කන්තෝරුවේ ප්‍රධාන ගේට්ටුව වහලා අපිට කැන්ටිමෙන් ම කන්ඩ සිද්ධ කරනවා වගෙ වැඩක් නෙ.’ සභාපති සහෝදරයා කීවේ වේගවත් ස්වරයකිනි.
එහෙම වෙන්නෙ කොහොමද?
‘ඔය දුර ඉඳලා එන බස්වල එල්ලිලා ඉක්මණට යන්ඩ ගිහින් ඒවා බැරිවෙලාවත් ඉස්ටේසම ළඟ නැවැත්තුවේ නැත්තං අපි කොටුවෙන් බැහැලා ආපහු එනකොට කෝච්චිය ගිහින් තියෙන්ඩ බැරි නැහැ.’ ඈත එන බස්රථයකට අත දිගුකළ මනෝජ් දෙස බලා තිලක් කීවේ ය.
‘උඹ පැහෙන්නෙ නැතුව වරෙංකො. කොටුව ඉස්ටේසම ළඟ උද්ඝෝෂණයක් නැති දවසක් උඹ මට කියපං පුළුවන් නං. උද්ඝෝෂණ කාරයෝ පාර වහ ගත්ත ම බස් ඩ්‍රැයිවර්ලට කොහොමත් තමන්ගේ වාහන නවත්තන්ඩම වෙනවා. එතකොට අපිට පුළුවන් ලේසියෙන් ම ඉස්ටේසම ළඟින් බහින්ඩ.’ මනෝජ් කීවේ ජයග්‍රාහී උද්දාමයකිනි.
උද්දාමයේ රහස
‘අපේ ඔය මිතුරු සංවිධානේ ඉන්නෙ මීට අවුරුදු හතළිහකට විතර කලින් එක ම දෙපාර්තමේන්තුවක එකට වැඩ කරපු උදවියනෙ. ඉතින් දැන් ඒ ගොල්ලෝ හැමෝට ම හැට පැනලා. සමහරු හැත්තෑවටත් කිට්ටු කරලා. ඒත් මේ ළඟදි පානදුරේ පැවැත්වුණු ඒ මිතුරු සංවිධානේ වාර්ෂික හමුවෙදි හැමෝම වගෙ හිටියෙ වෙනදාට වඩා ලොකු උද්දාමයකින්.’ චන්ද්‍රසිරි කීවේ විජිත ඔහු සමඟ කළ අල්ලාප සල්ලාපයේදී එම මිතුරු සංවිධානයේ වාර්ෂික හමුව පිළිබඳව කළ විමසීමේදී ය.
‘ඒ කොහොමද මේ සැරේ හැමෝම ළඟ ලොකු උද්දාමයක් තිබුණේ?’ විජිත ඇසුවේ චන්ද්‍රසිරි කී දෑ තුළින් පැන නැඟුණු ප්‍රශ්නයක් හේතුවෙනි.
‘ඇයි බං. අවුරුදු හැත්තෑපහක් පිරුණයින් පස්සෙ වුණත් ආයෙත් කසාඳ බදින්ඩ පුළුවන් කියන අත්දැකීම ගැන සුබ ආරංචියක් ඒගොල්ලන්ට ලැබුණේ මේ ඊයේ පෙරේදානෙ.’ චන්ද්‍රසිරි කීවේ ය.
දුව කිව්ව එක හරි
‘අම්මේ ඔය වැඩසටහනේ ඉන්නෙ අපිට දහම් පාසලේදි කියලා දුන්න තන්හා, රතී, රඟා කියන මාර දූවරු තුන්දෙනා නේද?’ වෙසක් පෝදින රාත්‍රියේ වෙසක් වැඩසටහනක් ඉදිරිපත් කළ තිදෙනෙකු වෙත යොමුවෙමින් දක්ෂිණා තම මවගෙන් විමසුවා ය.
‘නෑ... නෑ... දුව ඒ ඔය වෙසක් වැඩසටහන ඉදිරිපත් කරන ටෙලිනාට්‍ය නිළියෝ තුන්දෙනෙක් නෙ.’ අමිතා තම දියණිය නිවැරදි කරමින් වහා කීවා ය.
‘නෑ හාමිනේ, අපෙ දුව කිව්ව එක හරි. ඔය අලුත් ටෙලි නාට්‍ය නිළියන්ගෙන් වැඩි හරියක් මාර දූවරු ම තමයි.’ කරුණාසේන කීවේ ය.
පුදුම උනන්දුවක්
‘අපේ නාට්‍ය විනිශ්චය මණ්ඩලේ ඉන්න මහත්තුරුන්ගේ පුදුම උනන්දුවක් නෙ තියෙන්නෙ අක්කෙ.’ සුජිත් කීවේ නාට්‍ය උලෙළේ දෙවැනි දිනයේ නාට්‍ය ශාලාව වෙත යමින් සිටියදී ය .
‘නාට්‍ය විනිශ්චය කරන්න ද?’ රුවිනි වහා විමසුවා ය.
‘නෑ... නෑ... විනිශ්චය ඉවර වෙලා අපේ වාහනයකින් ඒ ගොල්ලන්ව ගෙවල්වලට ඇරලවන්ඩ යද්දි අතරමඟදි බොන්ඩ.’ සුජිත් කීවේ සිනාසෙමිනි.