සතර සවිය සහ නෙළුම 7 | Page 2 | සිළුමිණ

සතර සවිය සහ නෙළුම 7

 කලාසූරි සතිස්චන්ද්‍ර එදිරිසිංහ

පොලොන්නරුව තෝපාවැව මහා විද්‍යාලයීය ශාලාවේ පැවැත්වූ අසාර්ථක නාට්‍ය දර්ශනයෙන් මා ණය කාරයකු විය. මා සමඟ ගිය පිරිසට සහ උපකරණවලට ගෙවීමට සිදුවූ හිඟ මුදල රුපි. 1750/= කි.

“අනේ දෙයියනේ මං කොහොමද? මේ ණය ගෙවන්නේ” යන්න මගේ සිතෙහි හොල්මන් කරන්නට විය. නිවෙසින් පිටව කොහේවත් නොයමින් කාලය ගත කිරීමට සිදුව‍ූයේ දින තුනක් පමණි. නොසිතූ දෙයක් සිදුවිය. එනම් මාගේ දෙවැනි නාට්‍ය නිෂ්පාදනය උදෙසා නාට්‍ය අනු මණ්ඩලයෙන් රුපියල් 2500/= ක චෙක් පතක් ලියාපදිංචි කළ තැපෑලෙන් මා වෙත ලැබීමයි. ඇතිවූ සතුට වචනයෙන් ප්‍රකාශ කළ නොහැක. අතිශය සතුටට පත් මම ඒ ලද මුදලින් සියලුම ණය ගෙවා නිම කළෙමි. තරුණ කල සිටම ණය ගැනිමට ණයවීමට මා තුළ කැමැත්තක් නොවීය. ඒ ප්‍රතිපත්තිය අදටත් මා සතුව පවතින්නකි.

පොලොන්නරුවේදී ලත් අත්දැකීම් වලින් බිඳක් මෙහි සටහන් කරමි. පළමුවැන්න අර්බුදකාරී වාතාවරණ ගැන නොසැලී, කලබල නොවී ගැටලු හා ප්‍රශ්නය හඳුනා ගැනීමයි. දෙවැන්න ඉවසීමයි. තුන්වැන්න මොන බාධක, ප්‍රශ්න පැමිණියත් බොරු නොකියා අවංකව ම අභියෝගයන්ට මුහුණ දීමයි. සිවුවැන්න විශ්වාසවන්තකම රැක ගැනීමයි. සතර සවියේ එක් සවියක් වන විනය, ස්ථාවරව මා තුළ ගොඩනැගුනේ ඒ පසුබිම නිසාය. ‍‍‍‍‍‍‍

කිසියම් ශිල්පියකුට හෝ ශිල්පිනියකට දක්ෂතාවය නිසා ජනප්‍රිය වීමට පුළුවන. එහෙත් ගෞරවයට පාත්‍ර වීමට නම් ශික්ෂණය හෙවත් විනය අත්‍යාවශ්‍ය කරුණකි. ධර්මාලෝක විද්‍යාලයේ ඉගෙනුම ලැබූ කුඩා කලදීම රණතුංග නමැති මාගේ පංති ගුරුතුමිය කී ප්‍රකාශය මෙසේය. “එදිරිසිංහ කවදාහරි හොඳ කලාකරුවකු වෙනවා - හොඳ නළුවකු වෙනවා” යන්න යි. මේ වදන් පෙළ යථාර්ථයක් බවට පත්කර ලීමට මා තුළ දැඩි අධිෂ්ඨානයක් පහළ විය. ඒ අධිෂ්ඨානය සඵල කර ගැනීමට නිරතුරුව ම මා වැපුරුවේ යහපත් සිතුවිලි ය. එයින් මම යහපත් ක්‍රියාවන් නෙළා ගත්තෙමි. ඒ ක්‍රියාවන් යළි යළිත් වැපුරූ නිසා ප්‍රතිපත්තියක් නෙළා ගත්තෙමි. එයින් ද නොනැවතී ඒ ප්‍රතිපත්තිය යළිත් වැපුරුවෙමි. එයින් මම චරිතයක් නෙළාගතිමි. ඒ චරිතය යළි යළිත් වපුරමින් සිටින නිසා එදා සිතූ දේ පමණක් නොව දැන් සිතන කියන දෙයින් සාර්ථක ප්‍රතිඵල ලබන්නෙමි. කලාවට අධිපති දෙවඟන අපට කියාදෙන පාඩම වූ බුද්ධිය, රසිකත්වය, කථිකත්වය හා විනය නමැති ශක්තීන් සතර සැලකීමත් වූ නිසා සතර සවිය හෙවත් සරස්වතිගේ බැල්ම හා ආශීර්වාදය ලැබුවෙමි. ඒ නිසා ම සමාජය නමැති පොකුණේ නෙළුමක් වීමට හැකි විය. පිදිය යුත්තන් පිදීම, කළගුණ සැලකීම, නොදන්නා දේ කෙසේ හෝ ඉගෙන ගැනීම හා දන්නා දේ ප්‍රගුණ කිරීම අපගේ ජීවිතයේ සතත අභ්‍යාසයයි.

පොලොන්නරුවේ අතරමං වීම හා අසරණ වීම නිසා පුලතිසි පුරයට දැඩි ළබැඳියාවක් ඇති විය. පරාක්‍රම සමුද්‍රය, මින්නේරිය වැව, පරාක්‍රමබාහු පිළිමය හා මහසෙන් දෙවියෝ කෙරෙහි පුදුමාකාර හැඟීම් වලින් ම සිත පිරුණේය. ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ සංස්කෘතික කටයුතු පිළිබඳ කළමනාකාර පදවිය ලබා එම ප්‍රදේශයේ කුශලතා පූර්ණ ගොවි දරු දැරියන්ට කලා විෂයන් පිළිබඳ දැනුම ලබාදීම හැකි විය.

වාරි සංස්කෘතියට පෙම් බැන්ද මා 1964 දී අසරණ වූවද, 2004 දී ‘දියවඩන මළුව’ ටෙලි නාට්‍යයේ නිෂ්පාදක හා අධ්‍යකෂ ලෙසින් කටයුතු කළෙමි. රුපියල් ලක්ෂ 35ක් එම ටෙලිනාට්‍ය වෙනුවෙන් පොලොන්නරුවේදී වැය කිරීමටත්, නවක කලාකරුවන් කිහිප දෙනෙක් හඳුන්වා දීමටත් මට හැකිවිණි. වනජීවි නිලධාරියකු වන ඇස්.එම්. විජේසේකර හා ගුරුවරයකු වන අබ්දුල් කේ. සාදිකින් මගේ කලණ මිතුරන් බවට පත්විය. පොලොන්නරුව, කදුරුවෙල, ජයන්තිපුර හා ගිරිතලේ පාසල් දරුවන්ට මෙන් ත්‍රිවිධ හමුදාවේ රණවිරුවන් හටද දේශන පවත්වා ඇත. එපමණක් නොව දිසාපති කාර්යාලයේ නිලධාරි මහත්ම මහත්මීන්ට ද දේශනා පවත්වා ඇත්තෙමි. සතර සවියේ කථිකත්වය මනාසේ ප්‍රයෝජනයට ගැනීමට ලැබීම සතුටකි. අතීතය නමැති මඩ ගොහොරේ විකසිත නෙළුමක් වී මේ භාග්‍ය ලද්දෙමි.

1965 වර්ෂයේදී ප්‍රවීණ නාට්‍යවේදීන්ගේ නිර්මාණවල චරිත නිරූපණය කිරීමට ලැබුණේ ය. හෙන්රි ජයසේනයන්ගේ ‘හුණුවටය’ කථාවේ සොල්දාදුවාගේ චරිතය පළමුව ලැබුණේ මා හටය. එම කාලයේදීම ගුණසේන ගලප්පත්ති ශූරීන්ගේ ‘ලියතඹරා’ වේදිකා නාට්‍යයේ ප්‍රධාන චරිතය වූ හියුගෝ ගේ චරිතය නිරූපණය කිරීමට ලැබුණි. එකම කාලසීමාවක් තුළදී නාට්‍ය දෙකක පුහුණුවීම් කිරීම අසීරු බව මට වැටහිණි. නාට්‍යයක රඟපෑමේ ආශාවෙන් සිටි ඩග්ලස් රණසිංහට ‘හුණුවටය’ කථාවේ රඟපෑම සඳහා හෙන්රි ජයසේනයන්ගෙන් අවස්ථාව ලබා දුන්නේ මා එයින් ඉවත් වීමෙනි. ඩග්ලස් වැනි රංගන ශිල්පියෙකුගේ රංගන ජීවිතයට මට අත්වැල සැපයීමට ලැබීම ද සතුටකි.

60 දශකය ඉතා සුන්දර කාලයකි. ‘අකල්වැස්ස’ නාට්‍යයෙන් ප්‍රසිද්ධියට පත්වූ මාලනී ෆොන්සේකා අපේ නිළි රැජින, මා විසින් නිෂ්පාදිත ‘බකතපස්’ හි ප්‍රධාන චරිතය නිරූපණය කළාය. එකල මා සමඟින් මාලනී, රංජිත් ධර්මකීර්ති ගේ ‘මහගෙදර’, ‘චෙරි උයන’, එස්. කරුණාරත්න ගේ ‘එරබදු මල් පොට්ටු පිපිලා’, සුනන්ද මහේන්ද්‍රගේ ‘ගැහැනියක්’, ‘සයුරෙන් ආ ළඳ’, සහ ගුණසේන ගලප්පත්තිගේ ‘ලියතඹරා’ යන වේදිකා නාට්‍යවල රඟපෑවා ය. නාට්‍යවල රඟපෑමෙන් පසු ඇය අම්මා සමඟ රාත්‍රී කාලයේ යනවිටදී ඔවුනගේ ආරක්ෂක භටයා වූයෙමි. හේතුව මාලනීත් මාත් කැලණියේ පදිංචි කරුවන් වීම යි.

මහජන කලා මණ්ඩලය විසින් ඉදිරිපත් කළ ‘හුණුවටයේ කථාව’ නාට්‍ය ‘නළුකැල’ නිෂ්පාදනයක් වශයෙන් ස්වාධීන විය. මහජන කලා මණ්ඩලයේ සාමාජිකත්වය ලත් මා 1966 දී ‘හොටබරි යුද්දේ’ නමින් වේදිකා නාට්‍යයක් නිෂ්පාදනය කළෙමි. ජෝර්ජ් ඕවල්ගේ ‘ඇනිමල් ෆාම්’ කෘතිය ඇසුරෙන් පිටපත රචනා කළේ තලංගම ප්‍රේමදාස නම් ලේඛකයා ය. සංගීතය ෂෙල්ටන් ප්‍රේමරත්න ගෙනි. නැටුම් නිර්මාණය වසන්ත කුමාර සමඟ මිණිපුර රත්නසේකර ය. ඇඳුම් හා වේදිකා නිර්මාණය සෝමබන්දු විද්‍යාපති විසිනි.

රංගනයෙන් දායක වූවන් අතර, විජේරත්න වරකාගොඩ, චන්ද්‍රා කලුආරච්චි, බුද්ධි වික්‍රම, ඩග්ලස් රණසිංහ, සමන් බොකලවෙල ග්‍රේස් ද සිල්වා, යු. ආරියවිමල්, අතුල සෝමසිරි සහ තවත් බොහෝ පිරිසක් විය. ප්‍රවීණ කලා අධ්‍යක්ෂ කේ.ඒ. මිල්ටන් පෙරේරා සහ චිත්‍රපට අධ්‍යක්ෂ සරත් ගුණරත්න ගේ ප්‍රථම ප්‍රසිද්ධ නාට්‍ය වූයේ ‘හොටබරි යුද්දයයි’. අතිශයින් ජනප්‍රිය වූ මේ නාටකය අර්බුදකාරී තත්වයකට පත් වූයේ ය. සෝවියට් දේශය උපහාසයට ලක්කළ ජෝර්ජ් ඕවල්ගේ කථාවක් නිසා වාමාංශික එක්තරා පිරිසක් නාට්‍ය නොබලා නාට්‍යයට විරෝධය පළ කළේ ය. අප නිවැරැදි බ ව කියා පෑමට සිරිමාවෝ බණ්ඩාරනායක, ආචාර්ය එන්.එම්. පෙරේරා, ටී.බී. ඉලංගරත්න, ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා සහ ටී.බී. සුබසිංහ වැනි දේශපාලන ප්‍රවීණයන් ඉදිරියේ රඟදැක්වූයේ ය. ආචාර්ය එන්.එම්. පෙරේරා ගේ ප්‍රකාශය වූයේ ‘කිසිම වරදක් නැහැ’ සැම දෙයක් ම විශිෂ්ට යි යන්නයි. 

 

Comments