මුඩු බිමක මැවූ සොඳුරු වනා­න්ත­රය සායි අභ­ය­භූ­මිය | සිළුමිණ

මුඩු බිමක මැවූ සොඳුරු වනා­න්ත­රය සායි අභ­ය­භූ­මිය

සීග්‍රයෙන් වනාන්තර විනාශ වීමට ලක් වන නිසා මිහිතලය දිනෙන් දින අපගේ දෑස ඉදිරිපිටම විනාශ වී යනවා. ඊට හේතුව වන්නේ ස්වභාව ධර්මයේ පරම අයිතිය මිනිසා සතු බව සිතා සොබාදහම විනාශ කිරීමයි. අද අතිරේකය වෙන්වන්නේ සොබාදහමේ පරම අයිතිය යහපත් මඟකට යොදා ගත් යුවලක් ගැන තොරතුරු ඉදිරිපත් කිරීමටයි. එනම් වනාන්තර විනාශකිරීම වෙනුවට අලුතින්ම වනාන්තරයක් නිර්මාණය කළ අපූරු යුවළක් පිළිබඳ පුවතයි.

පැමෙලා මල්හෝත්‍රා හා ආචාර්ය අනිල් මල්හෝත්‍රා වසර 1991දී දකුණු ඉන්දියාවේ බටහිර ඝාට්ස් ප්‍රදේශයෙන් අක්කර 55ක පෞද්ගලික ඉඩමක් මිලදී ගෙන තිබෙනවා. එම ඉඩමේ වෘක්ෂලතා සියල්ල කෘෂිකාර්මික කටයුතු සඳහා විනාශ කර තිබෙන අතර පසුව එය මුඩු බිමක් ලෙසින් අත්හැර දමා තිබෙනවා.

මෙම මල්හෝත්‍රා යුවළ එම ඉඩම මිලට ගෙන තිබෙන්නේ මෙලෙස අතහැර දමා තිබියදීයි. දැඩි පරිශ්‍රමයක් දරා එම භූමිය නැවතත් කොළ පැහැයෙන් බැබළවීමට මෙම යුවළට හැකියාව ලැබී තිබෙන්නේ ඔවුන් සොබාදහම කෙරෙහි ඇති දැඩි ආලය නිසාමයි. අතරින් පතර විශාල ගසක් දෙකක් පමණක් තිබුණු මුඩුබිම වසර 26කට පසුව අභයභූමියක් බවට පරිවර්තනය කිරීම එසේ මෙසේ කර්තව්‍යයක් නම් නොවේ.

මේ සඳහා ඔවුන් දෙපළට අවට ප්‍රදේශවාසීන්ගේ හා ස්වේච්ඡා සේවකයන්ගේ විශාල සහයෝගයක් ලැබී තිබෙනවා. අක්කර 55කින් ඇරැඹූ මෙම වනය වර්තමානය වන විට අක්කර 300 කට වැඩි ප්‍රදේශයක පැතිර තිබෙන අතර මෙම අභයභූමිය ‘සායි’ අභයභූමිය (SAI Sanctuary) ලෙසින් හඳුන්වනු ලබනවා.

පැමෙලා උපතින් ඇමෙරිකා එක්සත් ජනපදයේ පුරවැසියකු වන අතර අනිල් සමඟ විවාහ වී මෙලෙසින් අභයභූමියක් ගොඩනඟා තිබෙනවා.

මෙම කර්තව්‍යය ආරම්භ කරන විට බොහෝ දෙනා මෙම යුවළගේ ක්‍රියාව උමතු ක්‍රියාවක් ලෙස සැලකූවත් වර්තමානය වන විට නම් මොවුන් දෙදෙනාට ලැබෙන්නේ පැසසුම් පමණක් බව ඔවුන් පවසනවා.

ඖෂධ වටිනාකමින් යුතු දේශීය ගස් වැල් වර්ග සිය ගණනක් මෙම කැළය පුරා දක්නට ලැබෙන්නේ මෙහි වටිනාකම සියල්ලන්ටම ප්‍රදර්ශනය කරමිනි. මීට අමතරව තර්ජනයට ලක් වී සිටින සතුන් වර්ග රැසක්ද දක්නට ලැබෙනවා. ඒ අතරට දිය බල්ලන්, කැලෑ බළලුන්, දිවියන්,රාජ නාගයන්, බෙන්ගාලි ව්‍යාඝ්‍රයන් හා ආසියානු අලින් අයත් වනවා.

පැමෙලා පවසන්නේ වනාන්තරයේ මුල් කාලයේ දී මේ භූමිය නිහඬ වූවත් වර්තමානය වන විට විවිධ සතුන්ගේ ශබ්ද වලින් විශේෂයෙන්ම රැහැයියන්ගේ නාදයෙන් මුළු වනයම පිරී තිබෙන බවයි. ඇය තව දුරටත් පවසන්නේ වනය තුළින් ඇවිද යනවිට දැනෙන අපරිමිත සතුට වෙන කිසිම අවස්ථාවක ඔවුන් දෙදෙනාට නොදැනෙන තරම් විශාල සතුටක් බවයි.

වී, කෝපි හා කරදමුංගු වගාවන් සඳහා විනාශ කර තිබූ මෙම භූමිය නැවතත් ජීවයෙන් පිරවූ මල්හෝත්‍රා යුවළගේ එකම පැතුම වන්නේ මෙම වනය තවදුරටත් ආරක්ෂා වී වැඩි වර්ධනය වීමයි. පෞද්ගලික අරමුණු වෙනුවෙන් සෑම විටම වනය විනාශ කරන දේශපාලුවන් ජීවත් වන අපේ රටටත් මොවුන් දෙදෙනා සපයන්නේ විශාල ආදර්ශයක්. එක පැළයක් හෝ සිටවා සොබාදහම මතු පරපුරටත් ඉතිරි කිරීම අපගේ යුතුකමක් බව සැවොම සිතේ තබාගත යුතු කරුණකි. 

 

Comments