මඩ ගහපු අයට දැන් උත්තර ලැබිලා තියෙ­නවා | Page 2 | සිළුමිණ

මඩ ගහපු අයට දැන් උත්තර ලැබිලා තියෙ­නවා

පසුගිය 28 වැනිදා පැවැති , ‘Mrs. Top of the World ‘ නමැති විවාහක රූ රැජින තරගයට ලංකාවෙන් සහභාගී වුණු ජනප්‍රිය නිළි ඕෂදී හේවාමද්දුමට රටවල් 19 ක් අභිබවා යමින් එහි කිරුළ දිනා ගැනීමට හැකියාව ලැබුණා. මේ පිළිබඳව අන්තර්ජාලයේ වෙබ් අඩවි වලින් විවිධ පුවත් මවා තිබුණා. මේ ජයග්‍රහණය පිළිබඳව ඇය රසඳුනට මෙලෙස අදහස් දැක්වූවා.

ගොඩක් සතුටින් වගේ?

ඔව්. ඇත්තටම, හරිම සතුටුයි ලංකාවට ජයග්‍රහණයක් ගෙනෙන්න ලැබීම ගැන.

ලැබුණ කිරුළ ගැන කියමු

මට ලැබුණේ, ‘Mrs. Top of the World 2017’ People’s choice කිරුළ. එම තරගාවලියේ ප්‍රධාන කිරුළු දෙකක් තියෙනවා. එකක් People’s choice සහ අනිත් එක Judges choice. මෙතැනදී judges choice කිරුළ හිමි වුණේ බෙල්ජියමයට. අවසන් වටයේ රටවල් 20 ක් අතරින් වැඩිම මනාප ගනිමින් මට ජයග්‍රහණය කරන්න ලැබුණා. ඒ වගේම මට mini title එකක් ද ලැබුණා. ඒ ‘MrsTalent’ කියලා මම ඉදිරිපත් කළ නර්තනයට. කියන්නම ඕන මම මේ වගේ තරගයකට සහභාගී වුණේ පළමු වැනි වතාවටයි. ඒ අවස්ථාවේදී ම මට ලංකාවට ජයග්‍රහණයක් ගෙන ඒමට හැකියාව ලැබීම ගැන සතුටුයි.

Mrs. Top of the World කියන තරගය ගැන කතා කරමු ?

Mrs. Top of The World කියන තරගය ලෝකය පුරා සිටින විවාහක රූ රැජිනන් සහභාගිවන තරගයක්. මේ අයගේම තව තරගයක් තියෙනවා අවිවාහක අයට ඒ Miss Top of the World කියලා.

රටවල් කීයක් මේ සඳහා සහභාගී වුණාද?

යුරෝපියන් රටවල් ගණනාවක් ඇතුළු ඊශ්‍රායලය, වගේ මැද පෙරදිග රටවල්, ඉන්දියාව, සිංගප්පුරුව වගේ ආසියානු රටවල් 20 ක් පමණ සහභාගී වෙලා හිටියා.

මේ අවස්ථාව උදා වුණේ කොහොමද?

ඇත්තටම මට මුලින්ම කතා කළේ ජනරංජන පතිරණ කියලා කෙනෙක්. පස්සේ මම ගයත්‍රී ඩයස් අක්කගෙන් මේ ගැන ඇහුවා. මොකද ගිය අවුරුද්දේ එයා තමා මේ සඳහා ලංකාවෙන් සහභාගී වුණේ. ඊට පස්සේ එයා මාව කෙලින්ම සංවිධායකවරුන්ට සම්බන්ධ කළා. ඒ හරහා තමා මට මේ තරගාවලියට යන්න අවස්ථාව උදා වුණේ.

හිතුවද ජයග්‍රහණය ලබා ගන්න පුළුවන් වෙයි කියලා?

නෑ ඇත්තටම එහෙට යන තුරු හිතුණේ නැහැ. මට ඕන වුණේ අපේ රට නියෝජනය කිරීම සහ experience එක ලබා ගැනීම. හැබැයි Mini pageant සඳහා සහභාගී වෙනකොට ලැබුණු ප්‍රතිචාර වලින් හිතුණා මොනවහරි ලැබෙයි කියලා.

මෙහිදී ඔබට මොනවගේ අභියෝගයන්ද ආවේ?

ඇත්තටම මාත් එක්ක මගේ හස්බන්ඩ් ආවා. එයා මට ගොඩක් උදව් කළා. ලංකාවෙන් යනකොට ගොඩක් අය මාව බය කළා, ලංකාවට සලකන්නේ නැහැ සහ අපිට වෙනස්කම් කරනවා කියලා. හැබැයි කවූරුත් එහෙම නැහැ. අපි දෙන්නට උපරිමයෙන්ම උදව් කළා. විශේෂයෙන් කියන්න ඕන, මෙතැනදී මට රටවල් ගණනාවක හොඳ යාළුවෝ ටිකක් ලැබුණා.

මේ ජයග්‍රහණය පිටුපස සෙවනැල්ල වගේ ළඟින් හිටියේ ඔබගේ සැමියා නේද?

අනිවාර්යෙන්ම. එයා නැත්නම් මම මෙතැන නැහැ.

සංස්කෘතිය කියන දේ මෙතැනදී ඔබට මොන විදියටද බලපෑවේ?

ගොඩක් අය හිතනවා මේ වගේ දේකට ගියාට පස්සේ සංස්කෘතියට, ගෞරවයට හොඳ නැහැ කියලා. ඒ නිසා අපේ රටේ සමහර girls ලා මේ වගේ ඒවට එන්නේ නැහැ. හැබැයි මම ඒක බොරු කළා. මම සමහර අවස්ථාවන් වලදී ඒ තැනට අවශ්‍ය විදියට ඇඳුම් ඇන්දා. හැබැයි අපේ රටේ ගෞරවය රැක ගෙන. ඒ වගේම මම මත්පැන් , දුම්වැටි පාවිච්චි කළේ නැහැ. සමහර අලුතින් එන girls හිතනවා, මේ සමාජයට ඒවා ඕන කියලා.මාත් එක්ක හිටපු අනිත් අය ඒවා පාවිච්චි කළා. හැබැයි ඕන කෙනකුට තමන්ගේ ගෞරවය තියාගෙන ඉන්න පුළුවන්.

ඔබට වැඩිපුරම මනාපය (Vote) දීලා තිබුණේ ලාංකේය ප්‍රේක්ෂකයින් නේද?

මට දවස් දෙකක් ඇතුළත මනාප 13000ක් ලැබිලා තිබුණා. votes කරන්න තිබුණේ online. එක්කෙනකුට votes දෙකක් දෙන්න බැහැ. ඒ හැම vote එකක්ම අවංක ලැබුණු ඒවා.වැඩිපුරම vote කළේ ලාංකිකයෝ. ඒ වගේම මට වෙන රටවල්වල අයත් vote කරලා තිබුණා. ඒ හැමෝටම මේ වෙලාවේ ස්තුතිවන්ත වෙනවා.

ඔබගේ ජයග්‍රහණයට සමහර වෙබ් සයිට් වලින් මඩ ගහන්නත් උත්සහ ගෙන තිබුණ නේද?

සමහර ගොසිප් සයිට්ස් ඒ කිව්වේ හැම එකක්ම නෙවෙයි, බාල ගණයේ සමහර ගොසිප් සයිට්ස් ඒ අය මේක පටලවාගෙන එක එක දේවල් කියලා තිබුණා. ඒක ඇති වෙන්නත් එක හේතුවක් වුණේ, මම තරගය අවසන් වුණු ගමන් ලංකාවට ආවේ නෑනේ.

මම ලංකාවට ආව නම් ඔය හැම එකකටම උත්තර දෙන්න තිබුණා. දැන් මේ වෙද්දී හැමෝටම පැහැදිලි වෙලා තියෙනවා, මට ලැබුණ කිරුළ ගැන, මම බොරු කිව්ව ද ඇත්ත ද කිව්වේ කියලා ,මේ හැමදෙයකටම දැන් පිළිතුරු ලැබිලා තියනවා. වගකීමෙන් යුතු මාධ්‍ය හරහා හරි දේ දැන ගන්න ලැබිලා තියෙනවා.

විශේෂයෙන් කියන්න ඕන , මම තරගයට ගිය දවසේ ඉඳන් සියලුම update මම FB හරහා මගේ රසික ජනතාව වෙත ලබා දුන්නා. එතකොට මම බොරුවක් කළා ද නැද්ද කියන එක ඇත්තටම බලා ගැනීමේ හැකියාවක් තියෙනවා ඔවුන්ගේ officially web site එකට ගියාට පස්සේ. මට බොරු කරන්න බෑ. ඒක ජාත්‍යන්තර පිළිගත් , ප්‍රමිතිගත pagent එකක්. මගේ FB එක හරහා ( ඕෂදී බුද්ධිමා හේවාමද්දුම) මම හරිම තොරතුරු දීලා තියෙනවා. මඩ ගහපු අයට දැන් උත්තර ලැබිලා තියෙනවා.

ඔබට මේ ජයග්‍රහණය සඳහා සහයෝගය දැක්වූ අයට අවසානයේ මොනවද කියන්න තියෙන්නේ?

විශේෂයෙන් ගයත්‍රී අක්කාට , මේ සඳහා මාව යොමු කර සියලු දෙනාටම, ඊට අමතරව මගේ හස්බන්ඩ්ට ගොඩක් ස්තුති වන්ත වෙනවා. ඒ වගේම මගේ අම්මටයි, තාත්තටයි,සහ හස්බන්ඩ් ඇතුළු පවුලේ සියලු දෙනාම මට ලොකු සපෝර්ට් එකක් දුන්නා. ඒ වගේම මගේ ඇඳුම් නිර්මාණය සහ නර්තනය සඳහා උදව් කළ හැම කෙනකුටම වගේම මුල්‍ය අනුග්‍රහය දැක්වූ අයට , තව ගොඩාක් අය මට ලොකු සහයෝගයක් දුන්නා.

නම් වලින් මේ වෙලාවේ කියන්න අමාරුයි. ඒ හැම කෙනකුටම මම මගේ හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. මට vote එකක් හරි ලබා දුන්නු ලෝකේ වටේ ඉන්න මගේ රසික ජනතාවට ස්තුතිවන්ත වෙන්න ඕන. ඒ අය නිසා තමා මට මේ ජයග්‍රහණය ලැබුණේ. රසඳුන ඇතුළු සියලුම විද්‍යුත්, මුද්‍රිතමාධ්‍ය සියල්ලටම ස්තුති වන්ත වෙනවා. 

 

Comments