පරා­ජ­යට පසු­ව­ද­නක් | Page 2 | සිළුමිණ

පරා­ජ­යට පසු­ව­ද­නක්

ජයග්‍රහණයට පියවරු සියයකි නමුත් පරාජය අවජාතකයි යන්න අපේ ජනවහරේ එන අපූරු කියමනකි. මා එය සඳහන් කරමින් මෙම ලිපිය ආරම්භ කරන්නේ මේ දිනවල පැවැත්වෙන චැම්පියන්ස් කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයෙන්ම විසිවී මේ වනවිටත් ගෙදර පැමිණ ඇති නිසාය.

මූලික වටයේ සහභාගී වූ තරග තුනෙන් එකක් පමණක් ජයගෙන ඉතිරි තරග දෙකම පරාජය වී තරගාවලියෙන් ඉවතට වීසිවීමට සිදුවූයේ ඇයි දැයි විමසීමේ දී අපේ සිත් කනස්සල්ලෙන් පිරී යන්නේ නිරායාසයෙනි. මෙවර ශ්‍රී ලංකා කණ්ඩායම තරග වැදුණේ B කාණ්ඩය යටතේය. ඉන්දියාව, පාකිස්ථානය සහ දකුණු අප්‍රිකාව මෙම කාණ්ඩයේ අනෙකුත් රටවල්ය. ඕස්ට්‍රේලියාව, එංගලන්තය, නවසීලන්තය සමඟ බංගලාදේශය A කාණ්ඩයෙන් තරග වැදුණි.

මෙම තරගාවලිය සඳහා සහභාගි වුණු අපේ කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවරුණේ ඇන්ජලෝ මැතිව්ස්ටය.උප නායකත්වය උපුල් තරංගට පැවරී තිබුණු අතර ලසිත් මාලිංග, දිනේෂ් චන්දිමාල්, තිසර පෙරේරා, චාමර කපුගෙදර, කුසල් ජනිත් පෙරේරා, කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල, අසේල ගුණරත්න, ධනුෂ්ක ගුණතිලක, සික්කුගේ ප්‍රසන්න, සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්, නුවන් කුලසේකර යන ප්‍රබල ක්‍රීඩකයන් කණ්ඩායම නියෝජනය කළේය. එහෙත් මෙම ක්‍රීඩකයන් ඇතැම් අවස්ථාවල පිටියේ දැක්වූ දුර්වල කම් මෙම පරාජයන්ට හේතුවූ බව පැවසුවහොත් ඔබ මා සමඟ එකඟ වනු ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියේ මුලින්ම තරග වැදුණේ දකුණු අප්‍රිකානු කණ්ඩායම සමඟය.දකුණු අප්‍රිකාව මෙම තරගාවලියට පිවිසියේ ලොව අංක එකේ කණ්ඩායම ලෙස ප්‍රබල තත්වයක සිට වූ අතර ශ්‍රී ලංකාව සිටියේ 7 වැනි ස්ථානයේය. තරගය දෙපිලටම තීරණාත්මක වූයේ තරගාවලියේ රැඳෙන්නට පළමු ජයග්‍රහණය බෙහෙවින් බලපාන නිසාය. ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගයට මුහුණ දීමට සිදුවූයේ නායක ඇන්ජලෝ මැතිව්ස් නොමැතිව වීම බලවත් අවාසියක් විය.

කාසියේ වාසිය ජයගැනීම තරගයෙන් භාගයක් ජයගත්තා වැනියැයි ක්‍රිකට් ක්‍රීඩාවේ විශ්වාසයයි. මේ අනුව නායකත්වය දැරූ උපුල් තරංග කාසියේ වාසිය ජයගෙන දකුණු අප්‍රිකානුවන්ට පන්දුවට පහර දීමට ආරාධනා කළේය.ඒ අනුව දකුණු අප්‍රිකාව කඩුලු 6 කට ලකුණු 299 රැස් කර ගැනීමට සමත්වුණා.මෙහිදී තුන්වැනි පිතිකරුවා ලෙසින් පිටියට පිවිසි පෆ් ඩු ප්ලෙසිස් නුවන් ප්‍රදීප් ගේ පන්දුවකට ලබාදුන් පහසු උඩපන්දුව ලසිත් මාලිංග විසින් අතහැරි අතර අවසානයේ ඔහු පන්දු 70 කින් ලකුණු 75 ක් ලබාගත්තා.

ලකුණු 44 දී පිටියට පිවිසි ඔහු දැවීයන විට දෙවැනි කඩුල්ල හෂීම් අම්ලා සමඟ ලකුණු 145 ක සබඳතාවක් ගොඩ නගා දකුණු අප්‍රිකානු කණ්ඩායම ජයග්‍රාහී මාවතට ‍ගෙනගියා. පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා පිතිකරුවන්ට ලබාගත හැකිවූයේ ලකුණු 203 ක් පමණක් වූ අතර ඕවර 41 පන්දු 3 කදී සියල්ලන් දැවීගියා. චන්දිමාල් ගේ දුවද්දී දැවීයාම කුසල් මෙන්ඩිස් ගේ දැවීයාම මෙන්ම අසේල ගුණරත්න ගේ දැවීයාම මෙම පරාජයට බෙහෙවින් බලපෑවා.

තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් දෙවැනි තරගය වූයේ ඉන්දීය කණ්ඩායම සමඟ පසුගිය 08 වැනිදා පැවැති තරගයයි. පළමු තරගයේ නියමිත වේලාවට අවශ්‍ය ඕවර සංඛ්‍යාව යැවීමට අපොහොසත් වීම නිසා උපුල් තරංගට තරග දෙකක් තහනම් වූ නිසාවෙන් උපුල්ට මෙම තරගය ක්‍රීඩාකිරීමට නොහැකිවුණා. මීට පෙරද උපුල් මෙම වරදටම දඬුවම් ලබා ඇති අතර නායකත්වයේ වගකීම පිළිබඳව මීට වඩා සැලකිලිමත් වීමට ඔහු මෙයින් වත් පාඩම් ඉගෙන ගතයුතුවනවා.

එසේම දක්ෂ පන්දු රකින්නකු මෙන්ම වේගයෙන් පන්දුවට පහර දිය හැකි පිතිකරුවකු වන චාමර කපුගෙදරද ආබාධයට ලක්වීම ලංකාවට එතරම් සුබ දායක නොවූබව අවසන් ප්‍රථිපල දෙස බැලීමේදී පෙනීයනවා. මෙහිදී ඇන්ජලෝ මැතිව්ස් නායකත්වය ගෙන මෙම තරගය මෙහෙයවූ අතර වාසනාව කාසියේ වාසිය දිනා ඔහු ඉන්දීය කණ්ඩායමට පන්දුවට පහර දීමට ආරාධනා කළා.

ඉතා ප්‍රබල ඉන්දීය කණ්ඩායම මෙල්ල කිරීමට අපේ පන්දු යවන්නන්ට තරමක් අපහසු වූ නමුත් විරාට් කෝලි ලකුණු 0 කට, යුවරාජ් සිං ලකුණු 7 කට, හාඩික් පාන්ඩියා ලකුණු 9 කට ක්‍රීඩාගාරයට යවා ලකුණු 321 කින් ඔවුන් නවතාගන්නට හැකිවුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අතරින් නිරෝෂන් දික්වැල්ල ලකුණු 7 කට දැවීගියා. ධනුෂ්ක ගුණතිලක (ලකුණු 76 ),කුසල් මෙන්ඩිස් (89),ඇන්ජලෝ මැතිව්ස් (52),අසේල ගුණරත්න(34) , කුසල් ජනිත් (47) ලෙස සෙසු පිතිකරුවෝ තමන්ගේ වගකීම් කොටස ඉටුකළ අතර ලකුණු 322 ක් ලබා මෙම තරගාවලියේ ඉදිරියට යාමේ බලාපොරොත්තුවක් ඇතිකරගත්තා.එහෙත් මෙම තරගාවලියේ ලකුණු අතර සිටි කුසල් ජනිත් අවාසනාවන්ත ලෙස ආබාධයකට ලක්වී පිටියෙන් ඉවත්වීම අපේ බලාපොරොත්තු සසල කළ අවස්ථාවක්.

මේ බව වඩාත් තහවුරු වුණේ පසුගිය 12 වැනිදා මෙම තරගාවලියේ මූලික වටයේ අවසන් තරගය ලෙසින් පැවැති ශ්‍රී ලංකා පාකිස්ථාන තරගයේදී අපේ කණ්ඩායම අනපේක්ෂිතව ලැබූ පරාජයෙන් පසුවයි.

මෙහිදී පාකිස්ථානය කාසියේ වාසිය දිනා අපට පන්දුවට පහර දීමට ආරාධනා කළ අතර ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ 236 ක් පමණයි.

දෙපිලටම තරගාවලියේ ඉදිරියට යාමට මෙම තරගය ජයගැනීම අනිවාර්ය වූ නිසාවෙන් ඉතා තීරණාත්මක තරගයක් බව මනාව අවබෝධ කරගත් පාකිස්ථානුවන් ධනුෂ්ක ගුණතිලක (13),කුසල් මෙන්ඩිස් (27), දිනේෂ් චන්දිමාල් (0), ධනංජය සිල්වා (1) ලෙස ඉතා අඩු ලකුණු ගණනකට දවාගනිමින් ඉතා හොඳින් තරගයට අවතීර්ණ වුණා.නායක ඇන්ජලෝ මැතිව්ස් ඉනිම ගොඩගන්නට උත්සාහ කරමින් ලකුණු39ක්ද, නිරෝෂන් දික්වැල්ල ලකුණු 73ක්ද ලබාගත් අතර, අසේල ගුණරත්න (27) සහ සුරංග ලක්මාල් (26) තරගයක් දියහැකි මට්ටමකට ගෙන ඒමට දායක වුණා.

මෙහිදී තිසර පෙරේරාගේ පිතිකරණය පිළිබඳව සෑහීමකට පත්වන්නට නොහැකිබවද කිවයුතුය. තිසර වේගයෙන් පන්දුවට පහර දිය හැකි ඒ නිසාම තරගයක් ජයග්‍රහණය කරා මෙහෙයවිය හැකි ක්‍රීඩකයෙක්. එහෙත් ඔහු මෙහිදී පිටියට එන්නේ ඕවර 15ක් පමණ තිබියදී නිසා තරමක ඉවසීමෙන් ලකුණෙන් ලකුණ හෝ රැස් කරමින් ඉනිම ගොඩනගා අවසන් ඕවර කීපයේ වේගවත් පහරවල් වලට යා හැකිව තිබුණා.

කෙසේ නමුත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පන්දු රැකීමට පිටියට පිවිසෙන්නට ඇත්තේ මෙම ලකුණු ගණන රැක ගන්නට අධිෂ්ඨාන කරගනිමින් විය හැකියි. ඒ අනුව ඔවුන් ඉතා හොඳින් තරගයට අවතීර්ණ වෙමින් පාකිස්ථානු පිතිකරුවන් පාලනය කරගත් නමුත් දුර්වල පන්දු රැකීම නිසාවෙන් තරගාවලියේ ඉදිරියට යාමට අනගි අවස්ථාව පාකිස්ථානුවන්ට පූජා කළා.

ලසිත් මාලිංග යැවූ තරගයේ පළමු ඕවරයේ 5 වැනි පන්දුවේදී අසාර් අලී ලබාදුන් උඩපන්දුව ධනුෂ්ක ගුණතිලක අතහැරිය අතර අසාර් ලකුණු 34ක් ලබාගත්තා.එසේම සුරංග ලක්මාල්ගේ පළමු ඕවරයේ දී දුවද්දී දවාගැනීමකට හසුකර ගැනීමට තිබූ පහසු අවස්ථාවක්ද ගිලිහී යාමද පාකිස්ථානුවන්ට වාසියක් වුණා.

කෙසේ හෝ ඉතා හොඳ තරගක් දෙමින් මෙම තරගය ජයග්‍රාහී මාවතට ගන්නට ලසිත් මාලිංග සමත්වුණු නමුත් පාකිස්ථානු ඉනිම ‍ඉතා හෙමින් ගොඩනගා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් නායකත්වයේ ඉනිමක් ක්‍රීඩාකළ මොහොමඩ් සෆ්රාස් ලබාදුන් ඉතා පහසු උඩපන්දුව තිසර පෙරේරා අතින් අතහැරුණා.

මෙය පාකිස්ථානු ඉනිමේ 39 වැනි ඕවරය වු අතර කඩුලු 7 කට ලකුණු 199 ක් ලකුණු පුවරුවේ සටහන් වී තිබුණා. කෙසේ වෙතත් මාලිංග යැවූ තරගයේ 41 වැනි ඕවරයේ දී ද සෆ්රාස් යළිත් උඩපන්දුවක් ලබාදුන් අතර අතිරේක ක්‍රීඩකයකු ලෙස පිටියේ සිටි සීක්කුගේ ප්‍රසන්න විසින් එය අතහැරියා.

උඩපන්දු තරග දිනවන බව ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රසිද්ධ කියමනක්. ඒ අනුව මෙම තරගාවලියේ ඉදිරියට යාමට තිබූ ඉතා පහසු අවස්ථාවක් මෙලෙස දුර්වල පිතිකරණයත් දුර්වල පන්දු රැකීමත් හමුවේ පූජා කළ බව කනගාටුවෙන් වුවද සටහන් කළ යුතුය. 

 

Comments