
සඳුන් ප්‍රනාන්දු
අපේ රටට උරුමවූ සාම්ප්‍රදායික සටන් කලාවක් පිළිබඳව කතා කරනවිට ඔෙබ්ත්, මගේත් මතකයට එක්වරම එන්නේ ‘අංගම්පොර’ සටන් කලාවයි. මෙකී උරුමය වියැකී යාමට නොදී ඉදිරි පරපුර වෙත උරුමකර දෙන්නට සමත් නව පරපුරේ තරුණ ශිල්පීන් දෙදෙනෙක් අපට මුණගැසුණා.
ඒ සඳුන් ප්‍රනාන්දු සහ සුමුදු අමල්ක. ඉතා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද තිරගතවූ ‘ආලෝකෝ උදපාදී’ සිනමා පටයෙහි සටන් අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කළේ මේ දෙපොළයි. ඒ පිළිබඳව සඳුන් ප්‍රනාන්දු ශිල්පියා සමඟ අප කළ කතා බහයි මේ.
සඳුන් කොහොමද මුලින් ම ‘ආලෝකෝ උදපාදි’ චිත්‍රපටයට සම්බන්ධ වෙන්නෙ?
ඒක බොහොම අහඹු සිදුවීමක්. මගේ යාළුවෙක් හිටියා බුද්ධික සේනාධිපති කියලා. ‘අංගම්පොර’ සටන් කලාව පිළිබඳ මා සතු හැකියාව පිළිබඳ ඔහු දැනගෙන හිටියේ... ඉතිං ඒ අනුව බුද්ධිකගේ ආරාධනයෙන් චිත්‍රපටයේ අධ්‍යක්ෂ හා නිෂ්පාදකවරුන් වන චත්‍ර වීරමන් හා සමන් වීරමන් යන දෙදෙනා හමුවුණා. ඒ හරහා තමයි මමත්, සුමුදු අමල්කත් චිත්‍රපටය සඳහා සම්බන්ධ වෙන්නෙ.
සටන් අධ්‍යක්ෂවරයකු වීම එක්තරා අභියෝගයක් නේද?
මෙහෙමයි මා හිතන්නේ ජීවිතය කියන්නෙත් අභියෝගයක්. ඒ වගේ ම තමයි විශේෂයෙන් කියන්නට කැමැතියි චිත්‍රපටය පුරාවට ම අපගේ වෘත්තිය අපට අවැසි පරිදි කිරීමට අපට නිදහස ලබාදීලා තිබුණා. රාමුවකට කොටුවුණේ නැහැ.
එකී අභියෝගය ජයගැනීමේ මූලික ගෞරවය හිමිවිය යුත්තේ චිත්‍රපට අධ්‍යක්ෂතුමා ඇතුළු සියලු දෙනාටයි... ඔවුන්ගෙන් ලැබුණු සහය නිසා තමයි මටත්, සුමුදුටත් මේ අභියෝගය ජයගැනීමට හැකියාව ලැබුණේ.
මේ සඳහා විශේෂ පුහුණුවලත් ශිල්පීන් සහභාගි කරවා ගන්නට ඇති?
ඔව්... ඒ පිළිබඳ පුහුණුවලත් පිරිසක් අතුරින් 15 දෙනෙක් පමණ මේ සඳහා සම්බන්ධ කරගත්තා. ඔවුන්ගේ වගකීම අකුරටම සිදු කළ බව මට කියන්න පුළුවන්.
සඳුන් ඔබ මෙහිදී සටන් අධ්‍යක්ෂවරයෙක් මෙන් ම රංගන ශිල්පියෙක් ලෙසට ද කටයුතු කරනවා.
ඇත්තටම එය චිත්‍රපට අධ්‍යක්ෂවරයාගේ ඉල්ලීම මත සිදුවුණු දෙයක්... ඔහුට අවැසි වුණා සටන් ජවනිකා තුළ ජවය වැඩි කරන්න. ඒ අනුව තමයි වළගම්බා රජුගේ සේනාව සංවිධානය කරන ‘අංගම්පොර’ සටන් ප්‍රධානියෙක් ලෙස මා රංගනයෙන් දායක වුණේ...
සඳුන් ඔබ කලා ක්ෂේත්‍රයට අත්පොත් තබන්නේ කුඩා අවධියේදී නේද?
මට වයස අවුරුදු 8 ක පමණ කාලයේ ඉඳලා වේදිකා නාට්‍යවල රඟපෑවා. තරගවලට සහභාගි වෙලා ලැබූ ජයග්‍රහණ බොහොයි. ඒත් එහෙමයි කියලා කලා ක්ෂේත්‍රය තුළට පමණක් සීමාවීමට මට කාලයක් තිබුණේ නෑ. අංගම්පොර සටන් උපදේශකවරයෙක් විදිහට කටයුතු කරන අතර තමයි කලා කටයුතු වල නිරත වෙන්නෙ. ඒ වගේ ම පෞද්ගලික අංශයේ රැකියාවක් කරනවා.
ඔබේ හැකියාවන් මේ සඳහා පමණක් සීමා වෙයිද?
ඇත්තටම දැනටමත් චිත්‍රපට හා ටෙලිනාට්‍යවල සටන් අධ්‍යක්ෂ ලෙස කටයුතු කරගෙන යනවා. ඒ වගේ ම 2013 වසරේ ‘අංගම්පොර’ සටන් කලාව පිළිබඳ කෘතියක් ලියා එළිදැක්වූවා. ඊට අමතරව මෙම සටන් කලාව පිළිබඳ නවක ශිල්පීන් පුහුණු කිරීම, දැනුවත් කිරීමේ වැඩසටහන් මගේ මූලිකත්වයෙන් කරගෙන යනවා.
ඔබේ මිතුරා සුමුදුගේත් ඔබගේත් පෞද්ගලික තොරතුරු ගැනත් කියමු.
සුමුදුගේ ගම මොරටුව. මොරටුවේ පුවක්දරව උසස් විදුහලෙන් තමයි සිප්සතර හැදෑරුවේ.
මගේ ගම් පළාතත් මොරටුව තමයි. සිප් සතර හැදෑරුවේ කොළඹ ආනන්ද විද්‍යාලයෙන්. අපි දෙදෙනාම විවාහකයි. දෙදෙනාටම දරුවන් දෙදෙනා බැගින් සිටිනවා.
සඳුන් අංගම්පොර සටන් කලාවට යොමු වීම ගැනත් කතා කරමු.
මම සටන් කලාවට යොමුවීම අහම්බයක්. අපේ රෙට් මේ සටන් ක්‍රමය සාමාන්‍යයෙන් උරුමයෙන් ලැබුණු දෙයක් ලෙසයි අතීතයේ සැලකුවේ. ඒත් මට එහෙම උරුමයක් තිබුණෙ නෑ. නමුත් මම වයස අවුරුදු 14 දී පමණ කේ. සුනිමල් ප්‍රනාන්දු කියන ගුරුතුමා යටතේ මේ සටන් කලාව හැදෑරීමට යොමු වුණා. එතැනදී තමයි පෙර පුරුදු අනුව මගේ ඇඟේ තිබුණු සටන් කලාව එළියට ආවේ. එහෙම වෙන්න නම් කෙනෙක් පෙර ආත්ම භාවයන් වලදී මේ සටන් ශිල්පය ප්‍රගුණ කරලා තියෙන්න ඕන. ඉතින් මම හිතනවා මම එහෙම වෙන්න ඇති. අවුරුදු කීපයක් ගත වුණාට පස්සේ ඉගෙන ගන්න ගමන් ගුරුවරයා යටතේ ම උගන්වන්න මාව තෝරා ගත්තා.
අංගම්පොර ශිල්පය පිළිබඳව විස්තර කළොත්.
මේ ශිල්පය ප්‍රධාන ලෙස කොටස් තුනකට බෙදෙනවා. අංගම්, ඉලංගම් සහ මායා අංගම් ලෙස. අංගම් කියන්නේ ආයුධ රහිතව සටන් කිරීම. ඉලංගම් කියන්නේ ආයුධ භාවිතයෙන් සටන් කිරීම. මායා අංගම් කියන්නේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් සහ අදෘශ්‍යමාන බලවේගවලින් සටන් කිරීම.
අංගම්වලත් කොටස් ගණනාවක් තිබෙනවා. ගැට, පැනුම් පිනුම්, අත්හරඹ, පා හරඹ මේ අතරින් ප්‍රධානයි. මේ කොටස් තුනට අමතරව තවත් සටන් ක්‍රමයක් තිබෙනවා. අධ්‍යාත්මික සටන් ක්‍රමය ලෙස එය හඳුන්වනවා. භාවනා ක්‍රම මගින් සිත එක තැනකට ගෙන යාම තුළින් තමයි මේ සටන් ක්‍රමය ක්‍රියාත්මක කරන්නෙ.
අංගම්පොර සටන් කලාව අභාවයට යන්න හේතු වුණු කාරණා මොනවද?
ප්‍රධානම හේතුව තමයි සිංහලයාගේ මාන්නය. මේ ශිල්පය ගැඹුරට දැන සිටි සමහරු මාන්නය නිසා පිට අයකුට මෙය ඉගැන්නුවෙ නෑ. ගුරුවරුන්ගේ පුතාල හිටියට ඉගෙන ගත්තෙ නෑ.
ඊට අමතරව විදේශිකයො මේ සටන් ක්‍රමය තහනම් කළා. සටන් ශිල්පියො මරලා දැම්මා. ඒත් සමහර ශිල්පියො තමන්ගේ පුතාල දූට උගන්වන ගමන් හොඳම ගෝලයා හොයලා ඔහුට මේ ශිල්පය ඉගැන්නුවා. ඒ ගෝල පරපුර නිසා තමයි මේ ශිල්පය මේ තරමින් හරි රැකිලා තියෙන්නේ.