අලි­ක­තාවේ පුංචි අලි­පැ­ටියා රාජු එක්ක රඟපෑ යොහානි සහ කෞශල්‍ය කියන රස­වත් අත්දැ­කීම් | Page 2 | සිළුමිණ

අලි­ක­තාවේ පුංචි අලි­පැ­ටියා රාජු එක්ක රඟපෑ යොහානි සහ කෞශල්‍ය කියන රස­වත් අත්දැ­කීම්

මහාචාර්ය සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කළ ගුණපාල රත්නසේකර නිෂ්පාදනය කළ අලි කතාව චිත්‍රපටය දැන් මේ දිනවල තිරගත වනවා. තායිලන්තයේ ජීවත්වන ‘රාජු‘ නමැති කුඩා අලි පැටවා මෙහි ප්‍රධාන චරිතය රඟපාන අතර යොහානි හංසිකා සහ කෞෂල්‍ය නිර්මාණ පොඩිත්තන් දෙදෙනා රාජු සමඟ මෙහි ළමා චරිත නිරූපණය කරනවා.

දින ගණනාවක් පුරා තායිලන්තයේ ජීවත් වෙමින් මෙම අලි පැටවා සමඟ කළ රංගනය සැබැවින්ම මේ දෙදෙනාට අපූර්ව අත්දැකීම් ගොන්නක් එකතු කරන්නට ඇති.

මේ අපූරු අත්දැකීම් පිළිබඳව කියන්නට ඔවුන් දෙදෙනා පසුගියදා ලේක්හවුස් ආයතනයට ගොඩ වැදුණා. ‍හැමෝම ඒ දෙන්නා ගැන කතා කරන කාලයක අපි හිතුවා මේ පොඩිත්තන් අලි එක්ක රූගත කරන කොට අත් විඳපු අත්දැකීම් ගැන දැනගන්න පාඨක ඔබ ආශාවෙන් ඇතියි කියා.

ඒ නිසාම ඔබේ මන දොළ පිනවීමේ අපේක්ෂාවෙන් රසඳුන අපි යොහානිවයි කෞශල්‍යවයි මුණ ගැසුණා. ඔවුන් සමඟ කළ අපූරු පිළිසඳරයි මේ.

 රාජු දැකපු වෙලාවේ ඉඳලාම මට එයා ගැන ආදරයක් ඇතිවුණා

 කෞෂල්‍ය නිර්මාණ

කෞෂල්‍යගේ පාසලේ වැඩ කටයුතු කොහොමද කෙරෙන්නේ?

මම ඩි මැසනොද් විද්‍යාලයේ දහය ශ්‍රේණියේ ඉගෙනුම ලබනවා. දෙරණ Dance Unlimited තරගය නිසා මේ දවස්වල ගොඩාක් කාර්යබහුලයි. ඒත් පාසලේ වැඩනම් මඟ හරින්නේම නැහැ. පළමුතැන අධ්‍යාපනයට යොදවලා තියෙන්නේ.

අලි කතාව චිත්‍රපටියේ අලියා එක්ක රඟපෑම් කටයුතු කරන්න බය හිතුණේම නැත්ද?

නැහැ. ඒක මගේ හීනයක් සැබෑ වීමක්. මම සත්තුන්ට ආදරෙයි. ඒක නිසා මේ වගේ අවස්ථාවක් බලාපොරොත්තුවෙන් හිටියේ. මට ඒ අවස්ථාව ලැබුණා.

මොනවද අලි එක්ක රඟපාලා ලබපු අත්දැකීම්?

අපිට රඟපාන්න වුණේ අලි උයනක් ආසන්නයේ තිබෙන තැනක. එතැනට යන්න තිබුණේ අලි යන පාරේමයි.ඉතින් ඒ පාර ගොඩාක් මඩ වුණු පාරක්. අපිට ඒ පාරේ පයින්මයි යන්න වුණේ. ඉතිං වැටි වැටී ගියා. සමහර වෙලාවල් තිබුණා නැගිටින්න බැරි වෙන්නම වැටුණා. ඒත් ඒක හරි විනෝද වැඩක්.

අලියාට බය හිතුණේම නැත්ද?

පොඩි අලියා රාජු දැකපු වෙලාවේ ඉඳලාම මට එයා ගැන ආදරයක් තිබුණේ. ඒත් එයාගෙ අම්මා විදිහට රඟ දක්වපු ලොකු අලියා ළඟට යන්න නම් ටිකක් බය හිතුණා. ලංකාවෙදි දැකපු ලොකු අලින්ට වඩා ඒ අලියා ගොඩාක් ලොකුයි. ඒත් ළඟට ගිහින් එයාව අතගෑවට පස්සේ හරි කීකරුව හිටියා. පස්සේ බය ගියා.

ඒ රටේදි දැක්ක අලුත් දේවල් මොනවාද?

අපි රඟපාන්න ගිය ප්‍රදේශය නගරයේ ඉඳලා ටිකක් ඇතුළට වෙන්න තිබුණ ප්‍රදේශයක්. අලි උයනක් ආසන්නයේ තමයි රඟපෑම් කළේ. ඒ උයනේ හිටියා අලි පනස්පහක් විතර. අලි මිනිස්සුන්ව පිටේ තියාගෙන ඇවිදිනවා බලන් ඉන්න ආසයි. ඒ කිට්ටුව අමුතු ගෝත්‍රික පිරිසක් හිටියා. ඒ අයගේ බෙල්ල අසාමාන්‍ය විදිහට අඩියක් විතර දිගයි. බෙල්ලට වළලුත් දාගෙනයි ඒ මිනිස්සු ඉන්නේ. ඒකනම් අමුතු අත්දැකීමක් වුණා.

මේ ඔබ රංගනයෙන් දායකත්වය දක්වන තුන්වැනි සිනමා නිර්මාණය මොකද හිතෙන්නේ ඒ ගැන?

ගොඩාක් සතුටුයි. සිනමාවෙන් මට වඩා අත්දැකීම් තියන යොහානි නංගි එක්ක කටයුතු කරන්න ලැබුණා.ධනංජය අයියා, තාරුකා අක්කා ඇතුළු හැමෝම ආශ්‍රය කරන්න ලැබුණා. සුනිල් මාමා වගේ කෙනකුගේ නිර්මාණයට දායක වීම ගැනත් නිහතමානී ආඩමිබරයක් තියනවා.

මොනවාද අනාගත බලාපොරොත්තු?

ලබන වසරේ මම සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන්න ඕන. ඒක නිසා ඉදිරියේදි දීර්ග කාලීන දේවල් වලට සම්බන්ධ වෙන්නේ නෑ. විභාගෙන් පස්සේ ආයත් හොඳ නිර්මාණවලට දායකත්වය ලබා දෙනවා.

සියලු පැතුම් ඉටු කරගනිමින් කලා ලොවේ සාර්ථක දිගු ගමනක් යන්නට යොහානි හංසිකා සහ කෞෂල්‍ය නිර්මාණ යන පුංචි හපනුන්ට රසඳුන අපේ උණුසුම් සුබ පැතුම්.

 


 පිට උඩ තියාගෙන යන දර්ශනයකදි රාජු මාව බිම දැම්මා

 යොහානි හංසිකා

යොහානිට අලි එක්ක රඟපාන්න තියනවා කියලා සුනිල් මාමා කිව්වම බය හිතුණෙ නැද්ද?

ලොකු බයක් තිබුණේ නැහැ. ඒත් ලංකාවේ අපිට අලි එක්ක තියන ගැටුම් ගැන නිතරම අසන්න දකින්න ලැබෙන නිසා පුංචි චකිතයක් නම් තිබුණා. මම සත්තුන්ට ගොඩාක් ආදරෙයි. ඒ නිසා මම හිතුවා සත්තු මට කරදර කරන එකක් නෑ කියලා. ඒ නිසා බය මඟ හැරුණා.

අලියා ළඟට මුලින්ම ගිය වෙලාවේ මොන වගේ හැඟීමක්ද දැනුණේ?

අපි රූගත කිරීම් කළේ තායිලන්තයේ තියන අලි වෙනුවෙන් වෙන් කරපු උයනක. මුලින්ම එහේ අලි දැක්කම ටිකක් බය හිතුණා. මෙහේ ඉන්න අලියට වඩා ගොඩාක් ලොකුයි තායිලන්තයේ අලි. ටික වෙලාවකින් බය අඩු වුණා.

කොහොමද රාජු එක්ක රූගත කිරීම් කළේ?

රාජු හරිම හුරතල් සතෙක්. ඒත් එයා ගැහැනු ළමයින්ට අකැමැතියි වගේ මුලින්හිටියේ. මම රාජුගේ පිටඋඩ තියාගෙන යන දර්ශනයකදි රාජු මාව බිම දැම්මා. පස්සේ එයා මාත් එක්ක ගොඩාක් යාළු වුණා.

අලි පැටියෙක් එක්ක රූගත කිරීම් කරන එක පහසුයිද?

අම්මෝ සමහර වෙලාවට හරිම අමාරු වුණා. රාජු අපිත් එක්ක ගොඩාක් යාළු උණා. ඉන් පස්සේ එයා රූගත කිරීම් කරන කොටත් අපි එක්ක හුරතල් වෙන්නමයි බලන්නේ. එයා ආදරේ කියලා හිතෙන හැමෝටම නිතරම හොඬෙන් kiss කරනවා. හුරතල් කරනවට වගේම හුරතල් වෙන්නත් එයා ගොඩාක් කැමැතියි.

යොහානි අලිත් එක්ක මාසයකට ආසන්න කාලයක් රූගත කිරීම්වල යෙදුණානෙ. අලියා කියන දරුණු සතා ගැනමොනවද තේරුම් ගත්තේ?

ඕනම සතෙක් අහිංසකයි කියලා මම විශ්වාස කරනවා. අලියත් එහෙමයි. අපෙන් එයාලට කරදරයක් නොවෙන්න එයාලගෙන් අපිටත් කරදරයක්

වෙන්නේ නෑ. සමහර සිද්ධි එක්ක ගත්තම අලියට මිනිස්සුන්ට වඩා දුරට හිතන්න පුළුවන් වගේම හරි බුද්ධිමත් සතෙක්. ඒක මම තේරුම් ගත්තේ රාජු එක්ක හිටපු අනිත් අලි පනස් පහ දිහාම හොඳට බලාගෙන ඉඳලා.

අලියගෙන් සමු අරගෙන එනකොට මොන වගේ මැඟීමක්ද දැනුණේ?

විශාල දුකක් දැනුණා. ඒ තරමටම ඒ අලි පැටියට අපි සමීප වුණා.මටත් කෞෂල්‍ය අයියටත් ඒ අලි පැටියා ගොඩාක් සමීපවුණා. සමු ගන්න වෙලාවේ අපේ වගේම රාජුගෙයි එයාගෙ අම්මගෙයි ඇස්වල කඳුළු අපි දැක්කා. ඒක හරි සංවේදී අවස්ථාවක්.

කොහොමද යොහානිගෙ පාසලේ වැඩ කටයුතු?

මම ලින්ඩ්සේ බාලිකා විද්‍යාලයේ අට ශ්‍රේණියේ ඉගෙනුම ලබනවා. මගේ පාසලෙන් මට ලොකු සහයෝගයක් ලැබෙනවා. මගේ යාළුවොත් එහෙමයි. මට මඟ හැරෙන දේවල් පවා කියලා දීලා මගේ ගමනට ශක්තියක් වෙනවා. මගේ අනාගතයට ශක්තියක් වුණු පාසලක්, ගුරු මඬුල්ලක්, මිතුරු මිතුරියන් පිරිසක් වගේම හොඳ පවුලක් හිමි වීම ගැන මම ආඩම්බර වෙනවා.

ඔබ මීට පෙර සිනමා නිර්මාණ රාශියකට රංගනයෙන් දායකත්වය ලබාදුන්නා. මේ නිර්මාණය ගැන මොනවාද හිතන්නේ?

අනෙක් හැම එකටම වඩා වෙනස් අත්දැකීමක් මම අලි කතාවෙන් ලබා ගත්තා. සුනිල් මාමා එක්ක වැඩ කරන්නහරි පහසුයි. ඒ වගේමයි ධනංජය මාමා, තාරුකා අක්කි වගේ අත්දැකීම් තියන අයගේ අවවාද එහෙමත් ලැබුණා. ගොඩාක් සතුටුයි ඒ ගැන. 

Comments