
මෑත කාලයේ අපේ රටේ කාගේත් කතාබහට ලක්වුණු මෙන්ම මෙරට සිදුවූ විශාලතම ව්‍යසනයක් බවට පත්වුණේ මීතොටමුල්ල කුණු කන්ද නාය යාමේ ඛේදවාචකයයි. මෙයින් සිදුවූ ජීවිත හා දේපළ හානි ද මිල කළ නොහැකි තරම්ය.
කුණු ගැටලුව අද ඊයේ නිර්මාණය වුණු දෙයක් නොවේ. එහෙත් එදාට වඩා අද වන විට එය අපට වැඩිපුර දැනෙන්න පටන්ගෙන තිබේ.
මෙකී සමාජ ගැටලුව පිළිබඳව සමාජීය මෙන්ම දේශපාලනික වශයෙන් ද කතාබහට ලක්ව ඇති ප්‍රධානතම ප්‍රවෘත්තිය බවට ද පත්වී හමාරය.
මේ කතා අතර කලා නිර්මාණයක් තුළින් අප කවුරුත් මෙතෙක් කතා නොකළ, කුණු ගැන අප නොදකින වෙනස්ම පැතිකඩක් ඔස්සේ නවතම කතිකාවතක් ගෙන එන්නට සමත් වී තිබේ.
ඒ ‘සකල කසළ’ වේදිකා නාට්‍යයයි. අරකාවිල නර්තන හා නාට්‍යය පදන නිර්මාණය කළ මේ අපූරු කලා නිර්මාණය මේ මස 20 වැනිදා ප. ව. 6.00ට ලුම්බිණි රඟහලේදී වේදිකාගත කිරීමට නියමිතය.
අනුර ද සිල්වා, ජානකී හිල්, ප්‍රියන්තා අංහෙට්ටිගම, සමන්ත විජේසිංහ, යොහාන් රණසිංහ, දිලීප් මනෝහර, කෝසලා මැද්දෙගොඩ, නිලන්ත සංජීව, සිලිනි නිසංසලා, ටකේෂි දෙව්මිණි, ලාවණ්‍යා තත්සරණි, ශම්මු කෂුන්, දසුනි එදිරිසිංහ, හර්ෂ කුමාර, නිලුකා දමයන්ති, රදික සඳරුවන්, තිනුල් චන්දන වැනි නාට්‍ය පදනමේ සිසු සිසුවියන් අමතරව ප්‍රවීණ ශිල්පීන් කිහිප දෙනෙකු ද මේ සඳහා රංගන දායකත්වය ලබා දෙයි.
නගරයේ අපද්‍රව්‍ය බැහැර කරන කුණු කන්දක් ආශ්‍රිතව ජීවත්වන පවුල් කිහිපයක චරිත පසුබිම් කරගෙන නිර්මාණය වුණු ‘සකල කසළ’ නාට්‍ය කුණු ගැන වෙනස්ම කෝණයකින් දකින අපූරු නිර්මාණයකි.
මිනිස් ජීවිතයේ ඇති අසීමිත වූ ආශාවන් හා බලාපොරොත්තු පසුපස හඹායන මිනිසාට අවසානයේ මුහුණ දෙන්නට සිදුවන ජීවන යථාර්ථයත්, සංසාරය නමැති ‘කුණු’ සමූහය විවරණයත්, මෙතුළින් මනාව නිරූපණය වීම ද විශේෂත්වයකි.
එමෙන්ම ලෞකික සැප සම්පත්වලට ලොල්ව ඒ පසුපස හඹායන මිනිසා සසර කෙටිකර ගැනීම නොව තවදුරටත් සසර දිගු කර ගන්නා අයුරු සමස්ත නාට්‍ය මාලාව තුළින් අපූර්වාකාරව නිරූපණය කෙරේ.
2015 වසරේදී නිෂ්පාදනය වුණු ‘සකල කසළ’ අනුර ද සිල්වාගේ අධ්‍යක්ෂණයකි.
'අරුනළු 'පාසල් සංස්කෘතික වැඩඩසටහන
පාසල් සිසුන්ගේ නිර්මාණශීලිත්වය රසවින්දන ශක්තිය වඩාත් වැඩි දියුණු කර නිර්මාණ ශීලිත්වයෙන් හෙබි අනාගත පරපුරක් බිහිකිරීමේ අරමුණින් පාසල් සිසුන් ඉලක්කකර අරුනළු පාසල් සංස්කෘතික වැඩසටහන දීප ව්‍යාප්තව සංවිධානය කෙරේ.
අභ්‍යන්තර කටයුතු වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරන මෙම වැඩසටහන පිපෙන මියුරුසර ගීත නිර්මාණ තරගය , 'කලාව හා සංස්කෘතික කෙටි වීඩියෝ පට තරගය', අපේ ලෝකය ළමා කතා කෘති රචනා තරගය හා හොදම පාසල් සඟරාව තේරීමේ තරගය යන අංශ 04ක් යටතේ පැවැත්වේ.
දිස්ත්‍රික් මට්ටමින් හා ජාතික මට්ටමින් අදියර 2ක් යටතේ මේ තරගය පැවැත්වේ. දිස්ත්‍රික් 25න් ප්‍රථම ස්ථානය දිනාගන්නා නිර්මාණ උපයෝගි කරගනිමින් ජාතික තරග පවත්වනු ලැබේ.
මේ පිළිබද සියලු විස්තර සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා දිස්ත්‍රික් ලේකම් කාර්යාවල සංස්කෘතික නිලධාරීන්ගෙන් හා ප්‍රාදේශීය සංස්කෘතික බලමණ්ඩල සාමාජික භවතුන්ගෙන් ලබාගත හැකිය.
නිර්මාණ භාරගන්නා අවසාන දිනය 2017 ජූලි 25වන අතර වැඩි විස්තර 0112872030/1 දුරකථන මගින් ලබාගත හැකිය.
ජයන්ති කුරේ
මල් වඩම් අනවශ්‍යයි බොරැල්ලේ දී
ප්‍රියන්ත රංජන් නිෂ්පාදනය කොට අධෂක්ෂණය කරන ලද මල් වඩම් අනවශ්‍යයි නාට්‍යය ලබන 25දින ප.ව 3.00ට සහ ප.ව 6.45ට බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියටර්හි දී වේදිකාගත කෙරේ.
සරත් කුලාංග සංගීතවත් කරන මෙහි තිලක් කුමාර රත්නායක, සරත් කුලාංග, වසන්ත විට්ටච්චි, කුමාර තිරමාදුර, සුරංගී කෝසලා, කුමාරි සේනාරත්න, චරිත් සේනානායක රංගනයෙන් දායකවේ. වෙස්ගැන්වීම වසන්ත විට්ටච්චි, උපුල් මහානාම සමග කුමාර ගලහිටියාවගෙන් වෙන අතර පසුතල සැකසුම හා වේදිකා සැරසිලි රෝහන හේවාවිතාරනගෙනි.පෙලමතක් කිරිම නිලංකා සඳමාලි බජී ප්රනාන්දුගෙනි.
කලියුග කෝලං හලාවත
මහින්ද පතිරගේ නාට්‍යය නිර්මාණ කලියුග කෝලං ජුනි මස 24දින ප.ව 2.30ට සහ 6.45ට හලාවත ජී.සී.එස් කොරයා මහා විද්‍යාලයේදි රඟදැක්වීමට කටයුතු යොදා ඇත.
මහින්ද පතිරගේ, දයාසිරි හෙට්ටිආරච්චි, ජීවන් හදුන්නෙත්ති, සුදර්ශි ගැලනිගම, ශාලිකා එදිරිසිංහ,දනුෂ්කා ජයරත්න, කුමාරි සේනාරත්න, අනුෂා දිසානායක, රංගනයෙන් දායකවන අතර සංගීතය ජීවන් හදුන්නෙත්තිගෙනි.
හුණුවටය කුරුණෑගල
හෙන්රි ජයසේන ශූරින්ගේ විශිෂ්ට නාට්‍ය නිර්මාණ හුණු වටයේ කතාව නාට්‍යය ලබන 22දින ප.ව 2.30ට සහ ප.ව 6.30ට කුරුණෑගල නගරශාලාවේදි රඟදැක්වීමට කටයුතු යොදා ඇත.
ප්‍රියන්ත රංජන් සංවිධානය කරන මෙහි නලින් ප්‍රදීප් උඩුවෙල, ප්‍රසන්නජිත් අබේසුරිය, නිමල් ජයසිංහ, චාමික හත්තලාවත්ත, රුවනි මනම්පේරි, විංජිත සල්ගාදු, ලලිත් ජනකාන්ත, වර්ණතුංග සේනානායක, එස්.අයි සමරක්කොඩි, ඉන්දික පර්නැන්ඩු, තමරි චතුරිකා, තරිදු නුවන් ඩයස්, උදේනි ප්‍රියදර්ශනී, කුෂාන් රත්නායක, චූලා කාරියවසම්, ලලින්ද්‍රා දිසානායක, රෝයි වසන්ත, නිලුකා රාජමන්ත්‍රි, ඒ. එස්. එම් රිස්වි ඇතුළු ප්‍රවීණ ශිල්පීන් රැසක් රංගනයෙන් දායකවේ.
රංගාලෝකය උපාලි වීරසිංහ, සංගීත නිර්මාණය ෂෙල්ටන් පේමරත්න, සංගීතය මෙහෙයවීම නලින් අල්විස් විසිනි. නිෂ්පාදන සහය මානෙල් ජයසිංහ සහ නිමල් ජයසේන. වේදිකා පරිපාලනය සංජීව රූපසිංහ.
නාට්‍ය හා රංගනය ප්‍රායෝගික වැඩමුළුවක්
සිංහල සංස්කෘතික ආයතනයේ නාට්‍ය අනු මණ්ඩලයේ මෙහෙයවීමෙන් වයස අවුරුදු 18ට අඩු දූ පුතුන්ට නාට්‍ය හා රංගනය පිළිබඳ වැඩමුළුවක් ජුනි 24 පෙ.ව 9.00ට කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ , අංක 375 දරණ සිංහල සංස්කෘතික ආයතනයේදි පැවැත්වේ.
සහභාගිවන සියලු දෙනාට සහභාගිත්ව සහතික පත්‍රයක් සහ තෝරාගන්නා අයට දෙස් විදෙස් ළමා නාට්‍යය උළෙල සඳහා නියෝජනය කරන ළමා වේදිකා නාට්‍යය සඳහා එක්වීමේ අවස්ථාව උදාවේ.
වැඩි විස්තර ලබා ගැනීමට 0112687979 දුරකථනය අමතා හෝ institute of [email protected] විද්‍යුත් තැපෑලෙන් වැඩි විස්තර ලබාගත හැකිය.