
සුනිල් මිහිඳුකුල නම්වූ ප්‍රවීණ ලේඛකයා. සිනමාව පිළිබඳ බොහෝ ඇසූ පිරූ තැන් ඇති ප්‍රාඥයා, අදීන මාධ්‍යවේදියා, ඒ සැමටම වැඩියෙන් උතුම් මිනිස් ගුණාංග රැසක් තමා තුළ සඟවා සිටි සුන්දර මිනිසා අප අතරින් වියෝවී දෙසතියක් ගෙවී ගොසිනි. ඔහුගේ හැකියාවන් පිළිබඳව, සිනමාව විෂයයෙහි ඔහු විසින් එක් රැස් කොට ක්‍රමානුකූලව ගොනු කළ දත්ත ගබඩාවේ වටිනාකම පිළිබඳව, කුහකවතින් තොරව නොපැකිළව ආධුනිකයන් රාශියකට අතහිත දුන් ඔහුගේ උතුම් ගුණාංග පිළිබඳව, ලේඛනයේදී මාධ්‍ය භාවිතයේදී සේ ම කලා නිර්මාණ විනිශ්චයේදී අදීනව කටයුතු කළ ආකාරය පිළිබඳව ලිපි රාශියක් පුවත්පත්වල පළ වූයේ ඔහු අප අතරින් වෙන් වීමෙන් පසුව පමණක් නොවේ. විෂය ක්ෂේත්‍රයන් කීපයක් තුළ ඔහු විසින් ඉටු කරන ලද සේවාව අගයමින් පසුගියදා සිදු කෙරුණු උපහාර උලෙළ නිමිති කර ගනිමින් ද සුනිල් අගය කෙරුණු ලිපි කීපයක් ම පළවුණා මතක ය. සුනිල් අරබයා විවිධ පැතිකඩ රැසක් එම ලිපි ඔස්සේ ප්‍රකට වූ බැවින් ඔහු පිළිබඳව ලියැවෙන මේ කෙටි සටහන ඔහු විෂයයෙහි මගේ අත්දැකීම්වලට පමණක් සීමා කරන්නෙමි.
මා සුනිල් හඳුනා ගත්තේ මාධ්‍යවේදී ගුණසිරි සිල්වා මඟිනි. ඒ අසූව දශකයේ මැද භාගයේ දිනෙකදී ය. ඒ වනවිට සුනිල් ගුණසිරිගේ ළඟම මිතුරකු වී සිටියේ ය. ඒ දිනවල ගුණසිරි මා එවක සේවය කළ බොරලැස්ගමුවේ, ‘ප්‍රබුද්ධ ප්‍රකාශකයෝ’ ආයතනයට නිතර පැමිණියේ ඔහුගේ තීරු ලිපි සංග්‍රහයක් ‘තෙවසරක සිනමා සටහන්’ නමින් ග්‍රන්ථයක් ලෙස පළ කිරීමේ වගකීම මවිසින් දරනු ලැබීමේ හේතු වෙනි. ඒ දිනවලම යෙදුණු මගේ දියණියගේ ප්‍රථම උපන් දිනය වෙනුවෙන් එකල මා විසූ කොළොන්නාවේ කුඩා නිවසේ පැවැති දුප්පත් සාදයට ගුණසිරි පැමිණියේ සුනිල් ද කැටුව ය. එම සාදය දින තමන් ලැබූ අත්දැකීමක් පිළිබඳව පසුකලෙක මා ද සිටි සබාවක සුනිල්, කී කතාවක් ඔහු නිවැරැදිව හඳුනාගන්නට මට උපකාරී වූ බව කිවමනා ය.
ඉන් කලෙකට පසුව ‘සරසවිය’ කර්තෘ ධූරය දරද්දීත්, පසුව ‘රසඳුන’ මුල් පුටුව හොබවද්දීත් ඔහු එකී පුවත්පත්වලට ලියන්නට මට අවකාශ සලසා දුන්නේ නිහතමානීව ය. 2009 වසරේ අග භාගයේදී ‘සිනාකතා’ තීරුවක් සතිපතා රසඳුනට ලියන්නට ඔහු මට ආරාධනා කළේ එය කෙබඳු ආකාරයක් ගත යුතු දැයි ඉඟි කීපයක් පළ කරමිනි. ඒ අනුව මා සැකසූ සිනාකතා තීරුව එදා පටන් අද දක්වා අඛණ්ඩව වසර අටක් මුළුල්ලේ පළ කිරීමේ පදනම සකසා දුන්නේ සුනිල් ය. එසේ ම වසර දෙකක් පමණ වූ සිනාකතා තීරුව ලියද්දී එය ග්‍රන්ථයක් ලෙසින් පළ කිරීමට කාලය ලප පැමිණ ඇතැයි නිතර කියමින් ඒ සඳහා මා පොලඹවා ලූයේ ද සුනිල්ම ය. ඒ අනුව 2012 වසරේ මැද භාගයේදී ‘සිනාසයුර’ නමින් මගේ ප්‍රථම ග්‍රන්ථය එළිදැක්වීමේදී එහි මුළු ගෞරවයට නිබඳව හිමිකම් කියූ සුනිලුන් හට මා කෘතඥතාවය දැක්වූයේ එම ග්‍රන්ථය ඔහු වෙත පිරිනමමිනි. ඒ මෙසේ සඳහන් කරමිනි.
“මින් දශක තුනකට ආසන්න කාලයකට පෙර දැන හඳුනාගත්, වත්මන් ‘සිළුමිණ’ සම කර්තෘ, ‘රසඳුන’ සංස්කාරක සුනිල් මිහිඳුකුලයන් නොවන්නට මෙවන් ග්‍රන්ථයක් එළිදැක්වීම හුදු සිහිනයක් පමණක් වන්නට හොඳටම ඉඩකඩ තිබිණ. හෙතෙම තමා කර්තෘත්වය හෙබවූ පුවත්පත්වලට ලියන්නට මා පෙලඹවූයේ ‘සරසවිය’ කර්තෘ ධූරය දැරූ කාලයේ පටන් ය. එහෙයින් මගේ ගෞරවනීය කෘතවේදීත්වය සුනිල් මිහිඳුකුල හට බැති සිතින් පිරිනමන්නෙමි.
මගේ මේ කුළුදුල් ග්‍රන්ථය මගේ මවට, පියාට, ඔවුන් දෙදෙනාම දැන් ජීවතුන් අතර නොමැති බැවින් මගේ වැඩිමහලු සහෝදරයෙකුට හෝ සහෝදරියකට, නො එසේ නම් මා බිරිඳට හෝ දරුවෙකුට පිරිනමන්නට කැමැත්තක්, නැඹුරුතාවක් මසිත පිළිසිඳ ගනිද්දී එම හැඟුම වලකා මා විසින් එය සුනිලුන් හට පිරිනමන ලද්දේ මගේ ලේඛන කලාව විෂයයෙහි ඔහුගේ ආස්ථානය ගෞරවයෙන් සැලකිල්ලට ගනිමිනි.”
ඒ අනුව මා ග්‍රන්ථ කතුවරයකු කිරීමේ ගෞරවය හිමිවන්නේ ද සුනිල්ට ය. එතැන් සිට මේ දක්වා ‘සිනාසයුර’ ග්‍රන්ථ කාණ්ඩ 4 ක් වසර 5 ක් තුළ නිකුත් කරන්නට මට හැකි වූයේ සුනිල් මා හමුවේ ගොඩනැඟූ පදනම මත ය.
‘සිනාසයුර 2’ ග්‍රන්ථයේ පසුවදන සපයමින් සුනිල් මෙසේ පවසයි.
“එඩ්වඩ් ගේ රසාලිප්ත කතාවක් දෙකක් ඇසීමෙන් හෝ කියැවීමෙන් අප ගත කරන මුස්පේන්තු ජීවිතයෙන් මඳක් ඈත් මෑත් වී කිසියම් සන්තෘෂ්ටියක් භුක්ති විඳින්නට අපට හැකි වෙයි. හෙන්රි තෙන්නකෝන්ලා, කැමිලස් පෙරේරලා, මෙන් ම එඩ්වඩ් චන්ද්‍රසිරිලා ද නොසිටින්නට අපට ජීවත්වන්නට සිදුවන්නේ එල්ලා ගත්, ඔරවාගත් මුහුණුවලින් යුතුව ය. ඒ අනුව අපේ ලේ පිරිසුදු කොට, අපේ ජීවිත ප්‍රභාවත් කරන්නේ ඔවුන් ය. පුවත්පත් කතුවරයකු වශයෙන් ‘සරසවිය’ පත්‍රයේ සිටියදීත්, දැන් ‘රසඳුන’ කලා අතිරේකයේදීත් මා එඩ්වඩ් සතු සුවිශේෂ දක්ෂතාවයෙන් උපරිම ප්‍රයෝජන ගතිමි.”
මතු පිටින් දඩබ්බරයකු වුව ද උතුම් මිනිස් ගුණාංග රැසක් ඒ කුඩා සිරුර තුළ සඟවා සිටි සුනිල් පිළිබඳව තවත් කරුණු දෙකක් පමණක් දක්වා මෙම සටහන අවසන් කරන්නෙමි. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාරයන් වරක් ලේක්හවුසියේ තම කාමරයේදී සුනිල් අරබයා කී කතාව ඉන් පළමු කරුණයි.
“සුනිල්ට යමක් ගැන ලියන්ඩ කිව්වාම සුනිල් ලියන්නේ අවශ්‍යම දේ විතරයි. අඩුත් නෑ, වැඩිත් නෑ. ඒ හින්දා සුනිල් ලියන දේක කපන්ඩ දේකුත් නැහැ” කුරුවිට බණ්ඩාරයන් ඉතා නිහතමානීව ඒ හකුලා දැක්වූයේ සුනිල් ගේ ලේඛනයේ මහිමයයි.
සුනිල් කම්කරුවකු, ලිපිකරුවකු ලෙසින් අවුරුදු 55 න් විශ්‍රාම නොයවා තව ටික කලක් හෝ රඳවා ගත්තේ නම් ඔහු මේ තරම් ඉක්මනින් අප හැර නොයනු ඇතැයි යන පසුතැවීම දෙවැනි කරුණයි. ඔහුගේ හැකියාව එසේ ලඝුවීම අප සැමගේ අවාසනාවකි.
උපතින් ක්‍රිස්තියානිකාරයකු සේම දැනුමෙන් අවබෝධයෙන් හොඳ බෞද්ධාගම්කාරයකු වූ සුනිලුන් හට මොක්සුව පතන්නේ දැයි නොඑසේ නම් නිවන් සුව පතන්නේ දැයි මම විපිළිසර වෙමි.