
‘සිංහල නවකතාව හා දේශීය සාහිත්‍ය සම්ප්රදාය’ ලිපියට සංවාදයට විවෘතයි
සාහිත්‍යය හා මිථ්‍යාව අතර වන බෙදුම් රේඛාව සැම විටම පවතින්නේ බොඳ වී ගිය ලෙසට ය. ඩබ්ල්යු.ඒ. සිල්වා පිළිබඳ දුර්මත පහ කිරීමේ අරමුණින් මහාචාර්ය මිණිවන් පී. තිලකරත්නයන් විසින් ඩබ්ල්යු.ඒ. සිල්වා සත්‍යය හා මිත්‍යාව’ නමින් කෘතියක් (ගොඩගේ ප්‍රකාශනයක් වශයෙන්) පළ කරනු ලැබ ඇත්තේ 1990 වසරේ දී ය. මේ පොත තමා විසින් එළිදක්වනු ලැබුණේ ඩබ්ල්යු. ඒ. සිල්වා සූරීන්ගේ ජන්ම ශත සංවත්සරය හේතුවෙනි යි පවසන මහාචාර්යවරයා, උග්‍ර මාර්ටින් වික්‍රමසිංහවාදීන් මෙය දුටුවේ ඩබ්ල්යු. ඒ. සිල්වා හුවාදක්වා මාර්ටින් වික්‍රමසිංහට දැනට ලැබී ඇති තැන නැතිකරන්නට ගනු ලැබූ වෑයමක් ලෙසින් බව ද වැඩිදුරටත් (පොතේ හැඳින්වීමෙන්) දක්වා තිබේ.
මෙම ලියන අපට එවැනි උග්‍රවාදයක් නැත. ඩබ්ල්යු. ඒ. සිල්වාගේ මෙන් ම මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ද ආදරණීය පාඨකයන් වන අපි මේ දෙදෙනාගේම කුසලතා වෙන් වෙන් වශයෙන් හඳුනා සිටින්නෝ වෙමු. ඒවා සම්බන්ධයෙන් සැසඳීමක් කළ යුතු යැයි අපට සිතෙන්නේ ද නැත. බොහෝ දේ නොපෙනී යන්නේ, නැතහොත් බොඳ වී පෙනෙන්නේ ‘වාද’ තුළ අතරමං වූ විට ය. කෙසේ වුවද මේවා ගැන මෙසේ ලියන්නට අපට සිතුණේ මැයි 28 ඉරිදා සිළුමිණ ‘සත්මඬල’ අතිරේකයට දයාපාල ජයනෙත්ති මහතා ලියා තිබූ ‘සිංහල නවකතාව සහ දේශීය සාහිත්‍ය සම්ප්‍රදා’ නම් වූ ලිපියේ වූ එක්තරා යෙදුමක් හේතුවෙන් අප සිත්හි හටගත් සියුම් කනස්සල්ල පළ කරනු පිණිස ය.
ජයනෙත්ති මහතාගේ ලිපියේ අඩංගු ඇතැම් කරුණු සමඟ අපට ද සපුරා එකඟ විය හැකි මුත් ඉඳුරා බැහැර කළ යුතු යැයි අප සිතන එක්තරා වැකියක් ද එහි වෙයි. ඒ, බටහිර ලේඛකයන්ගේ කෘති අද බැතින් වැලඳගත් ඩබ්ල්යු. ඒ. සිල්වාගේ කෘති හැරුණු විට මුල්යුගයේ සියලුම නවකතාකරුවන්ගේ කෘති මෙරට අත්දැකීම් පදනම් කොටගත් ස්වාධීන රචනා ය යන්නයි. මෙය වඩාත් සාහසික ප්‍රකාශයක් ලෙස අපට පෙනී ගියේ ‘අද බැතින් වැලඳගත්’ යන යෙදුම හේතුවෙනුයි.
ඉංග්‍රීසි භාෂාවෙන් ලියැවුණ විශිෂ්ට නිර්මාණයක් කියන ද්විභාෂා (ඉංග්‍රීසි-සිංහල) උගතකු තුළ එය සිංහලට පරිවර්තනය කිරීමේ දොළක් ද හටගනී, ඒ, මා ලැබූ සියුම් වින්දනය, රසාස්වාදය සිංහල පාඨකයාටත් බෙදා දිය යුතු යැයි හැඟෙන බැවිනි. මෙය කිසිසේත් දෝෂදර්ශනයට ලක් විය යුතු නොවේ. තවත් පැත්තකින් බලන විට ලෝකයේ කිසිවක් අලුත් ම අලුත් වන්නේ නැත. කවර සාහිත්‍ය නිර්මාණයක් වුව නෑඹුල් වන්නේ ද නොවේ. ඕනෑම ලේඛකයකු නිර්මාණකරණයේ යෙදෙන විට පෙර නුවූ විරූ අත්දැකීමක් ඊට පාදක නොවෙයි. සියල්ල සිදුවන්නේ විපරිණාමය නම් වූ ධර්මතාවට අනුකූලව ය. ලෝකයේ වෙනත් කතා කලාවන්ගෙන් පෝෂණය ලැබීම යනු අනුකරණයක් නොවේ. දයාපාල ජයනෙත්ති මහතා ද මේ බව පිළිගනියි. මේ ඇත්ත තේරුම් නොගත්තකුට මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ‘විරාගය’ නවකතාව, රුසියානු ලේඛක ගොන්චරොෆ්ගේ ‘ඔබ්ලමෝව්’ නවකතාවේ අනුකරණයකි යි කියන්නට ද විශාල අවකාශයක් විවර වන බව අපගේ හැඟීමයි.
මාර්ටින් වික්‍රමසිංහ සූරීන් ‘ඔබ්ලමෝව්’ කියවන්නටත්, එහි ආභාසය ලබන්නටත් යොමු වුණේ නම් එහි කිසිදු වරදක් වේ යැයි අපට නම් නොසිතේ. විශ්ව සම්භාවනාවට පාත්‍ර වූ ලේඛකයන්ගේ කෘති කියවමින්, ආභාසය ලබමින් ඒ අනුසාරයෙන් තමන්ගේ බසින්, තමන්ගේ පාඨකයන්ගේ භාවපෝෂණයට ඉවහල් වන කෘතියක් නිර්මාණය කිරීම වරදක් නොවන අතරම එය ලේසි-පහසු කටයුත්තක් ද නොවේ. ඒ සඳහා ලේඛකයකුට අතිමහත් වූ කුසලතාවක් තිබිය යුතු ය. ඩබ්ල්යු. ඒ. සිල්වා යනු මේ කුසලතාව අසීමිත ලෙස අත්පත් කරගෙන සිටියෙකි. ‘රදළ පිළිරුව’ ලිවීමේදී ප්‍රංස ලේඛක මෝලියර්ගේ නාට්‍යයක් කියවන්නටත් ‘ලක්ෂ්මි’ ලියන්නට පෙර ඉංග්‍රීසි නවකතාකරුවකු වන අයිඩර් හැගාඩ්ගේ ‘ෂී’ නවකතාව ඇසුරු කරන්නටත් ඩබ්ල්යු. ඒ. සිල්වා සූරීන් යොමුවන්නට ඇතැයි අනුමාන කළ හැකි වෙතත් ඒවා කියවූ පාඨකයාට නුහුරු නුපුරුදු, නොගැළපෙන බවක් කොහෙත්ම දැනුණේ නැත. උදාහරණයක් ගන්නේ නම් අදටත් ඉතා සාර්ථකව වේදිකා ගතවන ‘කපුවා කපෝති’ නාට්‍යය අපට, අපේ ගැමි ජීවිතයට කොතරම් නම් යාවූවක් ද? එහෙත් එය අපගේ නෑඹුල් නිර්මාණයක් වන්නේ ද?
ඩබ්ල්යු. ඒ. සිල්වා සූරීන් ‘නවකතා සක්විති’ බවට පත් කළේ මේ රටේ පාඨකයා ය. මේ රටේ බහුතරයකට නවකතාවේ රසය හඳුන්වා දුන්නේ ඔහු ය.
දේශීය වශයෙන් මෙන් ම අන්තර්ජාතික වශයෙන් ද කීර්තියට පත්ව සිටින මේ රටේ මහා සිනමාකරුවා (ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්) වරක් අතීත ස්මරණයක යෙදෙමින් දැක්වූ මේ අදහස ඊට කදිම නිදසුනකි.
ඔහුගේ (මාර්ටින් වික්‍රමසිංහ) නවකතාවක් චිත්‍රපටයට නැඟීම පිළිබඳ ඔහු තුළ තිබුණේ බලවත් උද්‍යෝගයක්, ඔහුගේ සමකාලීනයෙකු වූ, රොමෑන්තික නවකතා රචකයෙකු වූ ඩබ්ල්යු. ඒ. සිල්වාගේ සෑම නවකතාවෙන් ම පාහේ ඒ වන විට චිත්‍රපටයට නඟා තිබුණා. මාර්ටින් වික්‍රමසිංහ සිංහල සාහිත්‍යයේ විප්ලවයක් ඇති කළ විශිෂ්ටතම නවකතා රචකයකු වුවත් ඔහුගේ කෘතියක් පාදක කරගෙන චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට ඒ වන විට කිසිවෙකුත් ඉදිරිපත් වෙලා තිබුණේ නැහැ. මේ නිසා, තම නවකතාවක් ඇසුරින් වාණිජ මට්ටමේ චිත්‍රපටයක් වුව නිර්මාණය කරවා ගැනීමට ඔහු සූදානමින් සිටියා.
(ලෙස්ටර් පවත - 76 පිටුව - Lester by Lester - as told to Kamar de Silva කෘතියේ සිංහල පරිවර්තනය - අතුල සමරකෝන්)
ඕනෑම චිත්‍රපට නිෂ්පාදකවරයකු තමාගේ සිනමා නිර්මාණය සඳහා මහත් පරිස්සමකින් තෝරාගන්නේ යුගයේ ජනහදවත් දිනූ නවකතා ය. මාර්ටින් වික්‍රමසිංහයන්ගේ කෘති එසේ නොවී යැයි කීමට අපට සාහසික වන්නේ ද නැත. මාර්ටින් වික්‍රමසිංහ යනු (ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් කී අයුරින් ම) සාහිත්‍යයේ විප්ලවයක් කළ විශිෂ්ට ලේඛකයෙකි.
එහෙත් මාර්ටින් වික්‍රමසිංහ සහ ඩබ්ල්යු. ඒ. සිල්වා යනු දෙදෙනෙකි. මේ දෙදෙනා සමාන නොවන්නේ මාර්ටින් වික්‍රමසිංහලා දෙදෙනකු හෝ ඩබ්ල්යු.ඒ. සිල්වලා දෙදෙනකු මේ රටට අවශ්‍ය නොවන නිසා ය. ඩබ්ල්යු. ඒ. සිල්වාට මාර්ටින් වික්‍රමසිංහයන්ගේ වික්‍රමයන් පාන්නට නොහැකිවාක් මෙන් ම ඩබ්ල්යු. ඒ. සිල්වාගේ ශිල්ප දැක්වීම්, මාර්ටින් වික්‍රමසිංහයන්ට කළ හැකි ද නැත. මේ තත්ත්වය හඳුනාගන්නා සද්ජනයන් කළ යුත්තේ එකිනෙකා සැසදීමකින් තොරව ප්‍රහාර එල්ල කිරීමකින් තොරව තම-තමන්ගේ විශ්වාසයන්, තම-තමන්ගේ සත්‍යය ජනගත කිරීමයි.