සංයත බව, අවංක බව සහ සාහිත්‍ය විචාරය | සිළුමිණ

සංයත බව, අවංක බව සහ සාහිත්‍ය විචාරය

සාහිත්‍ය අටුවාව

මහාචාර්ය සිරි ගුනසිංහගේ මරණය සිංහල සාහිත්‍යයෙහි දැවැන්තයකුගේ නාමකාය පිටුපස ඇති චින්තාවලිය යළි සිහිපත් කරන්නකි. සිරි ගුනසිංහ නූතන සිංහල නිදහස් කවියෙහි පුරෝගාමියා ලෙස බොහෝ අය සලකති. සාහිත්‍ය කලා පිළිබඳ ප්‍රාමාණික බුද්ධිතකු හැටියට ඔහුගේ අගය විමසති. ප්‍රාචීන සහ ප්‍රතිචීන භාෂා උගතකු ලෙස ඔහුගේ සේවය අගයති.

කරුණු එසේ වුව ද ඔහුගේ විචාර දෘෂ්ටිය එම ඇගයුම්වලට හසුවන බවක් නොපෙනේ. ස්වාධීන විචාර දෘෂ්ටියක් බිහි වීම සඳහා විෂයාන්තර දැනුමට අමතර ව සංයත බව, අවංක බව හා විවෘත බව ද අවශ්‍ය වේ.

සිරි ගුනසිංහයන්ගේ විචාර දෘෂ්ටියෙන් ආලෝකය ලබමින් ඒ මග යන නව පරපුරක් බිහි නොවූයේ එකී සංයත බව, අවංක බව හා විවෘත බව ඇති ශාස්ත්‍ර ගවේෂකයන් දුලබ වීම නිසා යැයි මම සිතමි.

එබඳු පරපුරක් බිහි නොවීමේ ප්‍රතිවිපාක හැටියට ජාතිකවාදී දෘෂ්ටිවාදය අධිපති දෘෂ්ටිවාදය බවට පත් විය. එය පරයා යන අන්දමේ සාහිත්‍ය විචාර ප්‍රවර්ධනයක් සිදු වී නැතැයි සිතමි. එවැන්නක් සිදු වීම කෙරෙහි රටේ අනෙකුත් අංශයන්හි ද විප්ලවීය පරිවර්තනයක් සිදු විය යුතු යැයි කෙනෙකු තර්ක කරන්නට පුළුවන. එහෙත් එයට මුල පිරීම යුත්තේ සාහිත්‍යයෙනි.

80, 90 දශකවල සිරි ගුනසිංහ මහතා මේ රටේ සාහිත්‍ය සංවාදවල විවේචනාත්මක මාතෘකාවක් විය. එතෙර විශ්වවිද්‍යාලවලට තම දැනුම අලෙවි කරමින් සිට හදිසියේ ලංකාවට පැමිණ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කර යළි එතෙරට යන විද්වතකු ලෙස ද ඔහු හඳුන්වනු ලැබිණි. සිරි ගුනසිංහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජීවත්වූ 60 දශකයේ සංස්කෘතික ප්‍රබෝධය අනුව බලන විට 90 දශකයෙහි තිබුණේ සංස්කෘතික කාන්තාරයකි.

සිරි ගුනසිංහ එතෙර විශ්වවිද්‍යාලයක් තෝරා ගැනීම කෙරෙහි මෙරට විශ්වවිද්‍යාල බලධාරීන්ගේ කුහක පිළිවෙත ද බලපා ඇති බව මා අසා තිබේ. 1983 කළු ජූලිය ඔහුගේ ‍එතෙර ජීවිතය ස්ථිර කළ එකක් බවට ද අසන්නට ලැබිණි. පේරාදෙණි සාහිත්‍ය බැබළවූවන්ගෙන් අදට ඉතිරි ව සිටිනුයේ කිහිප දෙනෙකි. ඒ අතරින් ගුණදාස අමරසේකර එම සාහිත්‍ය ව්‍යාපාරය ප්‍රතික්ෂේප කර ජාතිකවාදී සාහිත්‍ය දෘෂ්ටියට නැඹුරු වී සිටී.

එසේ වුව ද සිරි ගුනසිංහගේ විචාර දෘෂ්ටිය අලුත් වනු විනා ගල් යුගයට නොය යි. 1983 කළු ජූලිය සිරි ගුනසිංහ වැනි සාහිත්‍යකරුවන් සිත්හි ඇති කළ කම්පනය මෙරට ජීවත් වූ ඇතැම් පඬිවරුන් සිත්හි ඇති නොකිරීම ඛේදජනක ය. 1983 කළු ජූලියෙහිදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල සිසුන්ගේ ප්‍රහාරයට ලක් වූ දෙමළ සිසුවෝ පේරාදෙණිය අත හැර ගිය හ. ගුටි කා වැටී සිටි දෙමළ ශිෂ්‍යයකු අසලට ගිය සිංහල ආචාර්යවරයකු පහර දුන් අය පිළිබඳ සොයනු වෙනුවට පහර කෑ සිසුවා ත්‍රස්තවාදියකු හැටියට පොලීසියට බාර දුන්නේ ය. 60 දශකයේ ගුරුවරුන් හා 90 දශකයේ ගුරුවරුන් අතර වෙනස එපිරිදි ය.

ඔවුහු ද වත්මනෙහි සිරි ගුනසිංහ සමරති. එසේ වුව ද සිරි ගුනසිංහගේ විචාර දෘෂ්ටිය සාකච්ඡාවට ගැනීමේ විචාර ඥානයක්, සංයත බවක් හා අවංක බවක් ඔවුනට නැතැයි සිතමි. මේ ලක්ෂණය නූතන සිංහල සාහිත්‍ය විචාරයේ ඉදිරි ගමනට ද බාධාවක් ව සිටී.

මීට මාස කිහිපයකට පෙර තරුණ විද්වතෙක් මෙ රටේ බුද්ධිමය ගරා වැටීම පිළිබඳ මා සමඟ බොහෝ වේලාවක් දුරකථනයෙන් කතා කරමින් සිටියේ ය.

මහාචාර්ය සිරි ගුනසිංහ සහ ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම් වැනි බුද්ධිමතුන්ගේ දායකත්වයෙන් වර්ධනය වූ බුද්ධිමය සම්ප්‍රදාය ඇන හිට තිබීම වත්මන් පරිහානියට හේතුව බවත් එය දේශපාලන ගරා වැටීම හා අවිචාරය කෙරෙහි ද බල පෑ බවත් මම ඔහුට කීවෙමි.

“ආචාර්ය අදිකාරම්ගෙ ලිපි කියවන්න ලැබිලා නෑ”

ඔහු කී හෙයින් අදිකාරම් මහතාගේ නිදහස් සිතුවිලි පත්‍රිකා සහ අනෙකුත් ලේඛන හා අන්තර්ගතය පිළිබඳ මම ඔහුට හඳුන්වා දුන්නෙමි.

ඊට සති කිහිපයකට පසු ව ඔහු පුවත්පතකට ලියූ විචාර ලිපියක ආචාර්ය අදිකාරම් පිළිබඳ සඳහන් කර තිබිණ.

තම චින්තනය විකසිත වීම කෙරෙහි ළමා අවධියෙහි දී කියවූ ආචාර්ය අදිකාරම්ගේ නිදහස් සිතුවිලි බලපෑ බව ඔහු සඳහන් කර තිබිණි.

තමා ප්‍රත්‍යක්ෂයෙන් යමක් අවබෝධ කර නොගෙන ආරංචි මාත්‍රයෙන් ලිවීමේ ස්වභාවය සහ වංක බව ඒ ලිපියෙහි කැපී පෙනුණි.

තවත් දිනෙක උගත් විචාරකයෙක් මගේ අලුත් පොතක් කියවා බලා ඒ පොත පිළිබඳ ප්‍රශංසාර්භිමුඛ ව දුරකතනයෙන් කතා කළේ ය. පසු දිනෙක ඔහු සහභාගි වූ ප්‍රසිද්ධ දෙසුමකට සවන් දුන් මට පෙනී ගියේ අර කෘතිය එතරම් ප්‍රශස්ත මට්ටමක නොමැති බවට ඔහු කරුණු දක්වන බව ය. තමන්ට අවංක ව හැඟුණු දේ වෙනස් කිරීම කෙරෙහි තම මිතුරු කල්ලිවල අදහස් ඔහුට බලපා ඇතැයි මට හැඟිණ.

හොඳ කවියකු විය හැක්කේ විෂය කිහිපයක පැතිරුණු දැනුමැත්තෙකු වීමෙනැයි මාර්ටින් වික්‍රමසිංහ කී ය. එය සාහිත්‍ය විචාරයට ද අදාළ යැයි මම සිතමි.

එමෙන් ම සංයත බව සහ පහන් හැඟීම යනාදී යෙදුම්වලින් ඔහු අදහස් කර ඇත්තේ සාහිත්‍යකරුවකුව දැනුමට අමතර ව තිබිය යුතු ගුණාංග පිළිබඳ ව බව පෙනේ. පෙරපර දෙදිග සාහිත්‍ය පිළිබඳ දැනුමැති උගතුන් ටික දෙනෙක් හෝ අප තර සිටිති. අලුත් පරපුර අතරින් ඒ ගුණය වේගයෙන් ගිලිහෙමින් පවතී.

එසේ වුව ද සංයත බව, අවංක බව හා විවෘත බව මේ බොහෝ දෙනෙකු කෙරෙන් විද්‍යමාන නොවේ. එය කනගාටුවට කරුණකි. සිරි ගුනසිංහගේ සාහිත්‍ය දෘෂ්ටිය වඩාත් බබලන්නේ එනිසා ය.

 

Comments