
බටහිර සාහිත්‍ය සම්ප්‍රදායයන්ට අනුව යමින් දෙමළ භාෂාවෙන් රචනා කළ ප්‍රථම කෘතිය ලෙස සැලකෙන්නේ The Story of Guru Paramartha නම් උපහාසාත්මක රචනායි. 1744 වර්ෂයේදි මේ කෘතිය සම්පාදනය කරනු ලැබුවේ ඉතාලි ජාතික මිෂනාරිවරයකු වූ කොන්ස්ටන්ටයින් ජෝෂප් බෙසී පියතුමායි. අපේ රටේ ප්‍රචලිතව පවත්නා මහදැනමුත්තා සහ ගෝල පිරිස පිළිබඳ කතා පුවත්වලට පාදක වී ඇත්තේ ද බෙසී පියතුමාගේ සම්පාදකත්වයෙන් පළවූ The Story of Guru Paramartha නම් කෘතියේ එන කතාන්දරයි. ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට පෙරාතුව දෙමළ භාෂා සාහිත්‍යයේ සංවර්ධනය උදෙසා මහඟු සේවාවක් ඉටු කළ බෙසී පියතුමා පිළිබඳව සහ එතුමාගේ කාර්යභාරය පිළිබඳ හැඳින්වීමක් කිරීමට අදහස් කරමි.
1680 දී ඉතාලියේ Castiglove in Veneli Republic හි ලැබූ බෙසී පියතුමා 1698 දී පූජකවරයකු බවට පත්විය. හෙතෙම 1710 දී මධුර ධර්මදූත කණ්ඩායම සමඟ සම්බන්ධ විය. ඒ ධර්මදූත ව්‍යාපාරය ඉන් වසර සියයකට පෙර ආරම්භ කරනු ලැබුවේ තවත් ඉතාලි ජාතිකයකු වූ Robert de Nobili විසිනි. 1712 - 1713 කාලය තුළදී බෙසී පියතුමාට තමිල්නාඩුවේ ත්‍රිචිනාපොලි දිස්ත්‍රික්කයේ අයම්පත් (Ayyampet) වලට පත්වීමක් ලැබුණි. අනතුරුව කෙටිකලකට උතුරු ප්‍රදේශයේ රාජකාරියට යාමට සිදුවුවත් නැවතත් දකුණු ඉන්දියාවට පැමිණියේය. එතුමා තම ක්‍රියාකාරී ජීවිතයෙන් වැඩි කොටසක් ත්‍රිචිනාපොලි දිස්ත්‍රික්කයේ උතුරට වන්නට පිහිටි තන්ජෝර් ආසන්නයේ එලක්කුරුච්චි (Elakurichi) ගත කළේය. 1747 පෙබරවාරි මාසයේ අම්බලකාට් (Ambalacat) හි දී මරණයට පත්වන තුරුම එතුමා දෙමළ භාෂා සාහිත්‍ය සංවර්ධනය උදෙසා කටයුතු කළේය.
බෙසී පියතුමාගේ ලිපි ලේඛන ප්‍රධාන කොටස් තුනකට වර්ග කළ හැකිය. දෙමළ භාෂා ව්‍යාකරණ ග්‍රන්ථ සහ ශබ්ද කෝෂ සම්පාදනය, පද්‍ය ග්‍රන්ථ ලිවීම සහ ගද්‍ය සාහිත්‍ය කෘති ලිවීම වශයෙනි.
මධුර ධර්මදූත ව්‍යාපාරය ආරම්භ කළ Robert de Nobili ට තෙලිගු, දෙමළ සහ සංස්කෘත භාෂා භාවිත කිරීමේ හැකියාව තිබිණ. ඒ අනුව යමින් බෙසී පියතුමා දෙමළ භාෂාව හැදෑරුවේය. පොදු ජනතාව භාවිත කරන දෙමළ භාෂාව මිෂනාරිවරුන්ට ඉගැන්වීමට සැලැස්වීමෙන් ආගම ප්‍රචාරය කිරීමේ කටයුතු පහසු වන බව අවබෝධ කර ගත් බෙසී පියතුමා ඒ සදහා පොදු ජනතාව භාවිත කරන දෙමළ භාෂාව ඉගැනීමට අවශ්‍ය කෘති සම්පාදනය කළේය. යුරෝපීය භාෂා පිළිබඳ හසළ දැනුමකින් යුතුව සිටි එතුමා ඒ දැනුම ප්‍රයෝජනයට ගනිමින් දෙමළ භාෂාවේ පැවති ව්‍යාකරණ නීතිරීති අඩු කිරීමට සහ ලිහිල් කිරීමට කටයුතු කළේය. පොදු ජනතාවගේ ව්‍යවහාර භාෂාව වූ කොඩුම් දෙමළ (Kodum Tamil) සහ සාහිත්‍යමය භාෂාව වූ සෙන් දෙමළ (Sen Tamil) අතරින් පියතුමාගේ අවධානයට ලක්වූයේ පොදු ජනතාවගේ භාෂාව වූ කොඩුම් දෙමළ භාෂාවයි. බෙසී පියතුමා සම්පාදනය කළ ව්‍යාකරණ ග්‍රන්ථ දෙමළ භාෂාව උගන්නා විදේශිකයනට අතිශයින් ප්‍රයෝජනවත් වන බව වටහාගත් ඉන්දියාවට මුලින්ම පැමිණි බ්‍රිතාන්‍ය නිලධාරිහු බෙසී පියතුමාගේ ව්‍යාකරණ ග්‍රන්ථ නැවතත් මුද්‍රණය කිරීමට කටයුතු කළහ. එතුමා විසින් සම්පාදනය කළ කොඩුම් දෙමළ ව්‍යාකරණ ග්‍රන්ථ 19 වන ශත වර්ෂයේ අග දශක හතර ඇතුළත තෙවරක් මුද්‍රණය කරනු ලැබීමෙන් ඒ බව සනාථවේ.
දෙමළ භාෂාවේ අකුරු ප්‍රමාණය අඩු කිරීම සහ නව ආකාරය සකස් කිරීමට ද මූලික වූයේ ද බෙසී පියතුමාය.
නවීන ශබ්ද කෝෂ විද්‍යා මූලධර්මවලට අනුව ශබ්ද කෝෂ සම්පාදනයටද ලතින් - දෙමළ සහ පෘතුගීසි -දෙමළ ශබ්ද කෝෂ දෙකක් ද එතුමා විසින් සම්පාදනය කරනු ලැබීය. මීට අමතරව Saduragaradi නමින් දෙමළ ශබ්ද කෝෂයක් සම්පාදනය කරමින් දෙමළ ශබ්ද කෝෂ සම්පාදනය නව මාවතකට යොමු කිරීමට එතුමා සමත්විය. පැරණි දෙමළ ශබ්ද කෝෂ නිගණ්ඩු නමින් හැඳින්විණ. නිගණ්ඩු ලියැවී තිබුණේ පද්‍යයෙනි. එමෙන්ම ඒවා පිළිවෙළකට සකස් කරනු ලැබ නොතිබිණ. බෙසී පියතුමා තම ශබ්ද කෝෂය කොටස් හතරකින් යුතුව සකස් කර අකාරාදි පිළිවෙළට පෙළ ගැස්වූයේය. නවීන ශිල්ප ධර්ම අනුගමනය කරමින් සකස් කළ ප්‍රථම දෙමළ භාෂා ශබ්ද කෝෂය වනුයේ බෙසී පියතුමාගේ ශබ්ද කෝෂයයි.
බෙසී පියතුමාගේ ලේඛන අතරින් දෙවන වර්ගය ලෙස පද්‍ය කෘති සඳහන් කළ හැකිය. එම පද්‍ය කෘති නිසා එතුමා ජනාදරයට පත්විය.
Ammanei නමැති පෘතුගීසි ශාන්තුවරයා වෙනුවෙන් කැපකළ Kitheriammal Ammanei නමැති පද්‍ය ග්‍රන්ථය පේළි 1100 කින් යුක්ත වූවකි. මෙම කෘතියට මහා කාව්‍යවල සහ පුරාණ වල ආභාසය ලැබී ඇත. එතුමාෙග් තවත් පද්‍ය සංග්‍රහයකි. Annai - Alungal Andadhi (The Sorrow of Our Lady) මෙය කවි සියයකින් සමන්විතය. සෑම කවියක්ම අවසානයේ එන අක්ෂරයෙන් ඊළඟ කවිය ආරම්භ වීම මෙහි දක්නට ලැබෙන විශේෂ ලක්ෂණයකි. ආගමික නාට්‍ය වේදිකාවලදී මේ පද්‍ය සංග්‍රහයේ එන පද්‍ය ගායනා කර රඟ දක්වන ලද බව කියැවේ. 1653 වර්ෂයේදී ත්රිචිනාෙපාලි දිස්ත්‍රික්කයේ Candalur වලදි ප්‍රථම වරට මෙම පද්‍ය සංග්‍රහයේ එන පද්‍ය ඇතුළත් කරන ලද නාට්‍යයක් වේදිකා ගතවී ඇත.
Adai Kalamalai පේළි 120, Kalippa පේළි 100, Thevaram කවි 10, Thembavani (The Garland fo Sweet Verses) බෙසී පියතුමාගේ අනෙකුත් පද්‍ය ග්‍රන්ථ අතරවෙයි. මෙම සියලු පද්‍ය සංග්‍රහවලින් අපේක්ෂිත අරමුණ වූයේ ආගම ප්‍රචාරය කිරීමයි.
එතුමාගේ කෙටි පද්‍ය කෘති අතර Thirukkavalur-Kalambagam විශේෂ තැනක් හිමිවෙයි. වන්දනාවේ යන බැතිමත්තු පූජනීය ස්ථානවලදී දෙවියන් වහන්සේ ඉදිරියේ මේ ගීත ගායනා කළ බව සඳහන් ය.
මීළඟට එතුමා විසින් රචනා කරන ලද ගද්‍ය කෘති පිළිබඳව අවධානය යොමු කරමු බෙසී පියතුමා විසින් දෙමළ භාෂාවෙන් රචනා කරන ලද The Story of Guru Paramartha හාස්යෝත්පාදක රචනා බටහිර සාහිත්‍ය සම්ප්‍රදායයන් අනුගමනය කරමින් දෙමළ භාෂාවෙන් ලියැවුණ ප්‍රථම කෘථි ලෙස ඉහතින් සදහන් කලෙමි. 1744 වර්ෂයේදී දෙමළ භාෂාවෙන් පළ කරන ලද එම කතා එතුමාගේ ස්වතන්ත්‍ර නිර්මාණ නොවේ. දකුණ ඉන්දියාවේ ප්‍රචලිතව පැවති ජනකතා ඇසුරින් සම්පාදනය කරන ලද මෙම කතා 1822 ඉංග්‍රීසි භාෂාවටත් 1826 ඉංග්‍රීසි භාෂාවටත් 1826 ප්‍රංශ භාෂාවටත් 1850 ජර්මන් භාෂාවටත් 1861 තෙලිඟු භාෂාවටත් වශයෙන් යුරෝපීය සහ ඉන්දීය භාෂාවත් රාශියකටත් පරිවර්තනය වී ඇත.
සිංහල පාඨකයන් අතර ප්‍රචලිත මහදැනමුත්තා සහ ගෝල පිරිසගේ කතාව බෙසී පියතුමාගේ The Story of Guru Paramartha කෘතියේ එන කතාවලට බෙහෙවින් සමානකම් දක්වයි. 1897 වර්ෂයේදී පෑලියගොඩදී එම්.එච්. පෙරේරා සහ සමාගම විසින් මුද්‍රණය කරන ලද මහදැනමුත්තා සහ ගෝල පිරිස පිළිබඳ කතාන්දර සයිමන් පෙරේරාගේ සම්පාදකත්වයෙන් එළි දැක්විණ.
බෙසී පියතුමා දෙමළ භාෂාවට පරිවර්තනය කර පළ කරන ලද කතාවල පඬිතුමාගේ ගෝල පිරිසට මට්ටි (Matti) මදායන් (Madayan) බේදායි (Bedai) මෙලිසියන් (Melecian) මුදන් (Madan) යන චරිත අයත්වේ. මෙම චරිත සිංහලට පරිවර්තනය වීමේදී පොල් බෑ මූණා, රබ්බඩ අයියා, පුවක් බඩිල්ලා, ඉදිකටු පැංචා සහ කෝටුකිතයියා වශයෙන් දේශීය නම් ලබා ඇත. මෙම කතාවල සාරය මුළුමනින්ම බෙසී පියතුමා දෙමළ භාෂාවට පරිවර්තනය කරන ලද The Story of Guru Paramartha කෘතිය් අඩංගු කතාන්දර වේ.
මේ පිළිබඳව අධ්‍යයනයක යෙදුණු එඩ්මන්ඩ් පීරිස් පියතුමා පෙන්වා දී ඇත්තේ මහදැනමුත්තගේ කතා දකුණු ඉන්දියාවේ උපත ලැබූවක් බවයි. එවකට දකුණු ඉන්දියාව සහ ලංකාව අතර පැවති සමීප සම්බන්ධයේ ප්‍රතිඵලයක් ලෙස දකුණු ඉන්දියානු ජනකතා ලංකාවේද ප්‍රචලිත වන්නට ඇත. මහදැනමුත්තාගේ කතා මෙරට බිහිවූ ජනකතා ලෙස සැලකෙන තරමට එය මෙරට ජනතාව අතර මුල් බැසගෙන ඇත. එහෙත් මෙම කතා බෙසී පියතුමාගේ The Story of Guru Paramartha පළවීමෙන් වසර 150 පමණ පසුව සිංහලෙන් පළවීමෙන් පෙනී යන්නේ එය දෙමළ භාෂාවෙන් සිංහලට පරිවර්තනය වූවක් බවයි.
බෙසී පියතුමා විසින් දෙමළ භාෂා සාහිත්‍යයට කරන ලෙද සේවාව වර්තමානයේ පවා ද්‍රවිඩ උගතුන්ගේ බුහුමනට පාත්‍රවෙයි. එතුමා විසින් හඳුන්වා දෙනු ලැබූ ව්‍යාකරණ විධි වර්තමානයේ පවා භාවිතයට ගැනේ.