
කෙටිකතාව
තල්අඩි සිට මුලතිව් මාර්ගයේ ඝන කැලෑව මැද වැටී ඇති පටු පාරේ යතුරු පැදියකින් ගමන් කළ හමුදා නිලධාරි ප්‍රසන්න ඉදිරිපිටට මෝටාර් ප්‍රහාරයක් පතිත විය. යුද භූමියේ දීර්ඝ කාලයක් ගත කර ඇති ඔහුට මරණ බිය එතරම් දැනුණේ නැත. රාත්‍රියේදී තමා යතුරු පැදියකින් යන මේ ගමන බියකරු වුව ද එය හුදු විනෝද ගමනක් නොව රාජකාරියේදී තමාට පැවරුණු වගකීමක් බව ඔහුට අමතක කළ නොහැක. මෝටාර් ප්‍රහාරය එන්නේ තමාගේ ඉදිරිපසින් නිසා ටික වෙලාවක් තම පාපැදිය නවතා ටික වෙලාවක් සන්සුන්ව සිටීමට සිතී ය. ඒ සමඟ ම පිටුපසින් පැමිණි මෝටාර් ප්‍රහාරය ඔහු බියපත් කළේ ය. සතුරු හමුදාව තමා වටකර පහර දෙන්නේ යැයි ඔහුට සිතුණ නමුදු සේවයේ යෙදී සිටියදී බිය ගැන පසු තැවීම නො හොයි යැයි තම අත්දැකීම් තුළින් පසක් කරඟත් ඔහු නැවතත් ගමන් ඇරඹීය. තම ගමනේ අවසානයට තවත් කිලෝමීටර් පහක් පමණ ඇතැයි ඔහු අනුමාන කළේ ය. කෙසේ හෝ තමාගේ පරමාර්ථය ඉටුකර ගත යුතු බව හේ පසක් කළේ ය. මෝටාර් ප්‍රහාරය නතර විය. ඝන කැලෑව මැද වෙසෙන නොයෙකුත් සතුන්ගේ නාද පමණක් ඔහුගේ තනියට සිටියේ ය. එම නාදයන්ට කන්දෙමින් සෙමින් සෙමින් යතුරු පැදිය පැදවූ ඔහු දොස්තර මහතාගේ නිවසට පැමිණෙන විට පාන්දර හතර පසුවී තිබිණි.
තමා පැමිණි කාරණය ඔහු දොස්තර මහතාට පැහැදිලි කළේ ය. දොස්තර මහතා ඉතා සෙනෙහෙබරව ඔහු පිළිගත්තේ ය. හමුදා ඇඳුමින් සැරසී සිටි ඔහු ගැන දොස්තර මහතා සැක සංකා මතු නොකළේ ය. ප්‍රසන්නගේ පැමිණීමේ කතාවට සවන් දුන් දොස්තර මහතා ඔහු සමඟ හිරු උදාවූ පසුව එන බවට පොරොන්දු විය. දොස්තර මහතාගේ පැමිණීම සහ ඔහුගේ මැදිහත්වීම මත තමාගේ කාර්යය සඵලවන බව ප්‍රසන්නට සැකයක් නොමැත.
හමුදා අනුඛණ්ඩයේ ප්‍රධානියා තමා ඇමතූ අයුරු ප්‍රසන්නට මැවී පෙනුණි.
“ප්‍රසන්න තවම බැරි වුණාද දෙමළිච්චි දැලේ දාගෙන නිවුස් එක ගන්න.”
“තාම බැරිවුණා සර්”
“එහෙම හරියන්නේ නැහැ මේ වැඩේ කොහොම හරි කරන්න ඕනා නැත්නම් අපේ ජීවිතත් අනතුරේ. ඒ විතරක් නොවෙයි. මේ නිව්ස් එක හරියට ගත්තොත් අපිට ප්‍රොමෝෂන් එකක් ලැබෙන එකත් සිකුරුයි.”
“ඒක නම් ඇත්ත සර් මම කිහිප දවසක් ම කෙල්ලව මුණගැහිලා යාප්පුවෙන් කතා කළා. ඒකි එක වචනයක්වත් කතා කරන්නේ නැහැනේ.”
“මම හිතන්නේ ඒකිගේ අයියා තමයි මුහුදු බළකායේ දෙවැනියා, මිනිහා සමහර දාට රෑට ගෙදර ඇවිල්ලා අම්මා බලලා යනවලු අපි දවසක් රෑට ගේ වටකරලා රෙඩ් එකක් දෙමු.
“මම පොඩි ප්ලෑන් එකක් දාලා තිෙයන්නේ දැන් කෙල්ලගේ අම්මා අසනීපයෙන් ඉන්නේ. බෙහෙත් ගන්න දොස්තර කෙනෙක් නැතුව, අර තල්අඩේ ඉන්න දොස්තරට මම අරන් ගිහිල්ලා අම්මට බෙහෙත් අරන් දීලා සනීප කරනවා. ඒ හරහා මට පුළුවන් වෙයි කෙල්ලව දැලේ දාගෙන අයියගේ විස්තර දැනගන්න.
“ඒක හොඳ අදහස, තමුසේ දක්ෂයා බව මම දන්නවා.
තම ප්‍රධානියාගේ එම හමුවීමෙන් පසුව රහසේ ම දොස්තර මහතා කැඳවාගෙන පැමිණ දෙමළ තරුණියගේ අම්මාට ප්‍රතිකාර කළ යුතු යැයි යන හැඟුම ප්‍රසන්න තුළ බලවත්ව නැගිණ. එම අවස්ථාව ප්‍රයෝජනයට ගෙන දෙමළ තරුණිය සමඟ කතා බහ කිරීමට මාර්ගයක් පාදා ගත හැකි යැයි ප්‍රසන්නට සිතුණි.
හිරු එළිය වැටුණු පසු දොස්තර මහතා ද මෝටර් බයිසිකලයේ පිටුපස තබාගෙන පෙරදින රාත්‍රියේ ගමන් කළ කැලෑබද මාවත දිගේ ම ප්‍රසන්න ආපසු පැමිණියේ ය. ඔහු කෙළින් ම ගියේ දෙමළ තරුණියගේ නිවසට ය. ‘රංජිනී” “රංජිනී” දෙමළ අම්මා හමුදා නිලධාරියා ද දොස්තරව ද දැක ඈ කෑගැසුවා ය.
රංජීනී කොහේදෝ සිට නිවසට දිව ආවා ය.
ප්‍රසන්න එක එල්ලෙම රංජිනී දෙස බලා සිටියේ ය.
“මේ ඩොක්ටර් සතාසිවම් මම දන්නවා. රංජිනීගේ අම්මට අමාරුයි කියලා.”
“සර් කොහොමද දන්නේ, සර් මම ගැන හොයලා බලලා තියෙනවා.
“ඔව්”, ඒ කතා වැඩක් නැහැ දොස්තර මහත්තයා දැන් අම්මට ප්‍රතිකාර කරයි. අම්මා සනීප වෙයි. දොස්තර මහතා රංජිනීගේ අම්මා පරික්ෂා කර ප්‍රතිකාර දුන්නේ ය. දොස්තර මහතාගේ අදහස වූයේ තව ටික දිනකින් නිසි ප්‍රතිකාර නොලැබුණේ නම් ජීවිතය, පවා නැතිවීමට ඉඩ තිබූ බව ය.
රංජනී එක එල්ලේ ප්‍රසන්න දෙස බලා සිටියා ය. ඇගේ බැල්ම තුළ ගැබ් වූයේ තම මවගේ ජීවිතය බේරා ගැනීම සඳහා හමුදා නිලධාරියකුගේ මැදිහත්වීමට තමා ස්තුති කරන්නේ කෙසේ දැයි යන හැඟුමකි. සියලු ප්‍රතිකර්ම අවසන් වූ පසු ප්‍රසන්න දොස්තර මහතාව තම පැදියේ නංවාගෙන ආපසු යන්නට සැරසුණේ ය. රංජිනීගේ අම්මා මේ, හමුදා නිලධාරියා දෙස බලා සිටියේ දෙනෙතේ කඳුළු වගුරවමිනි.
“සර් දොස්තර මහත්තයා ගෙදරට බස්සලා ආපසු මෙහේ ඇවිත් යන්න එන්න” රංජිනීගේ දෙනෙතේ කඳුළු පිරී තිබුණි. ප්‍රසන්නගේ සිත සතුටින් උද්දාම විය. කිසිවකු සමඟ කතා බහ නොකරන රංජිනී දැන් තමා සමඟ මිතුරු වී ඇත. ඉතා සියුම් ලෙස ඇයගේ සහෝදරයා පිළිබඳව විස්තර ලබාගත හැකි යැයි ප්‍රසන්න අනුමාන කළේ ය. රංජිනී ගේ මුහුදු කොටි අයියා ඉක්මනින් දැලේ දාගත හැකි යැයි ප්‍රසන්නට සිතුණි. තමා රංජනී ඇසුරු කර ප්‍රවෘත්තියක් ලබා ගැනීමට සැරසෙන විට කොහේ සිට හෝ මුහුදු කොටි නායකයා තමාම සියුම් ලෙස ඝාතනය කරයි ද යන්න ප්‍රසන්නගේ සිත තුළ පැන නැගුණි.
පසුදා ප්‍රසන්න රංජිනී හමුවීමට නිවසට ගියේ ය. එසේ යෑමට ප්‍රථම හමුදා අනුඛණ්ඩයේ නිලධාරියා ප්‍රසන්න ඇමතුවේ ය.
“තාමත් බැරි වුණා ද ප්‍රසන්න අර දෙමළිච්චිගේ අයියා ඉන්න තැන හෝඩුවාවක් දැන ගන්න.”
“ඉක්මනට පුළුවන් වෙයි සර්”
“හැබැයි තමුසේ ඒ ගෑනි එක්ක ලව් කරන්න එහෙම යන්නේ නැහැ තේරුණා ද?”
“පිස්සු ද සර්”
“තව සතියයි කල් දෙන්නේ හොඳද?” ප්‍රසන්න රංජිනීගේ නිවසට ළඟා වනවිට ඇය මිදුලේ තල වේළමින් ද සිටියා ය.
“එන්න සර්, සර්ට පින්සිද්ධවෙන්න අම්මාගේ ජීවිතය බේරුණා, එදා දොස්තර මහත්තයා ඇවිල්ලා බෙහෙත් නොදුන්නා නම් අම්මගේ ජීවිතය නැති වෙන්න තිබුණා. මේ හැම දෙයක් ම සිද්ධ වෙන්නේ කිසිම තේරුමක් නැති යුද්ධයක් නිසානේ සර්”
“ඉතින් යුද්දෙ කරන්නේ ඔය ගොල්ලන්ගේ කට්ටියගේ ඒ ගොල්ලන්ට කියන්න යුද්දෙ නවත්වන්න කියලා එහෙම වෙනවා නම් අපිටත් සැනසිල්ලේ ගෙදර යන්න පුළුවන්, අපිත් මොන තරම් දුක් විඳිනව ද මේ යුද්දෙ නිසා.”
“සර් කියන එකනම් ඇත්ත තමයි, ඒත් සර් මට කොහොමද කියන්නේ අයියලට යුද්දේ නවත්වන්න කියලා, එහෙම කිව්වොත් සංවිධානයෙන් මාව මරලා දායි. මට දුක සර් ගැන, සර්ලා වගේ හොඳ මිනිස්සුන්ටත් වෙන කරදර ගැන මොකක්ද මේ ජීවිතේ සර්.”
“රංජිනීගේ අයියා ආවේ නැද්ද?” අම්මව බලන්න තරමක් නිශ්ශබ්දව සිට ප්‍රසන්න ඇසී ය.
“ඒ ගොල්ලන්ට අම්මා ගැන හැඟීමක් නැහැ සර් මොන එහෙකට මේ යුද්දෙ කරනවද කියලා මට තේරෙන්නේ නැහැ.”
“රෑට රෑට අයියා මෙහේ ඇවිල්ලා යන්නේ නැද්ද? මට ඇත්ත කියන්න.”
“ඇත්තමයි සර් දැන් සුමානයකට ඉස්සෙල්ලා රෑ ඇවිල්ලා එවෙලේ ම බෝට්ටුවක නැගිලා ගියා. අපිත් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ.”
“සර්ලට ඕන මගේ අයියව අල්ල ගන්න නේද!”
“ඔව්”
මම ඒකට සර්ලට දොස් කියන්නේ නැහැ. ඒක සර්ලගෙ රාජකාරිය බව මම දන්නවා. අපිට අයියව පාවලා දෙන්නත් බැහැ. සර්ව පාවලා දෙන්නත් බැහැ, සර් අපිට දෙවියෙක් වගේ සර්ව ආරක්ෂා කරලා දෙන්න කියලා මම හැමදාම කෝවිලට ගියහම දෙවියන්ගෙන් ඉල්ලනවා.
“රංජිනීට සින්දු කියන්න පුළුවන්ද?”
“ඇයි එහෙම ඇහුවේ සර්”
“නැහැ මට නිකම් හිතුනා, කියන්න කෝ සින්දුවක් බලන්න.”
“හොඳයි, “යනවා නම් අනේ මං අරන්
යන තැනකට යන්න රත්තරං”
රංජිනී සිනාසුණාය. ප්‍රසන්න ද සිනා සුණේ ය.
“අම්මට දැන් සනීප ද රංජිනී”
“දැන් නම් ටිකක් හොඳයි”
“ඒත් අම්මා හරි දුකෙන් ඉන්නේ. අයියා ගැන කොයි වෙලාවේ හරි අයියගේ ජීවිතය නැතිවෙයි කියලා අම්මා නිතරම අඬනවා.
“ඉතින් අයියට කියන්න, ඔය සංවිධානෙන් අයින් වෙන්න කියලා, පුනරුත්ථාපන කඳවුරකට දාලා අපි අයියාගේ ජීවිතය බේරගන්නම්.”
“එහෙම වුණොත් සංවිධානයෙන් අයියව විතරක් නොවෙයි මාවත් මරයි.”
රංජිනී ඈත සයුර දෙස බලාගෙන හැඬුවා ය.
නිවස තුළින් ඇසුණු අමිමාගේ කෙඳිරිළි රංජිනී බිය වූවා ය. ප්‍රසන්න ද නිවස තුළට එබී බැලුවේ ය.
“අම්මට අමාරුයි වගේ සර්”
“මම දොස්තර මහත්තයාව එක්ක ගෙන එන්නම්.”
“හොඳයි සර්”
“ප්‍රසන්න දොස්තර මහතා කැඳවාගෙන එන විට අම්මා අවසන් හුස්ම හෙළා තිබුණි. ප්‍රසන්න තවත් එම ස්ථානයේ නොරැඳී කඳවුර බලා පිටත් විය.
“ප්‍රසන්න තවම බැරි වුණා නේද වැඩේ සාර්ථක කරගන්න.”
“තව දවස් දෙකක් දෙන්න සර්”
“බලමු, බලමු”
ප්‍රසන්න එසේ කීවේ වඩාත් බලාපොරොත්තු ඇතිව ය.
මවගේ මිනිය බැලීම සඳහා කොටි නායකයා පැමිණෙන බව ප්‍රසන්නට විශ්වාසය. එවිට ඔහුට දැල එළීම පහසු බව ප්‍රසන්නට වැටහිණි. ඔහු ඒ සඳහා අවශ්‍ය වැඩ කටයුතු නූලටම සිදු කළේ ය.
රංජිනීගේ මවගේ ආදාහනයට තම අයියා නොපැමිණීම ගැන ඇය දුක් වූවා ය. ප්‍රසන්න ද ඒ සඳහා සහභාගි නොවී ය. රංජිනී හමුදා කඳවුර දෙසට එනවිට ප්‍රසන්න ඇය දුටුවා ය.
“රංජිනී මේ කොහේද යන්නේ.”
“සර් හම්බවෙන්න”
“ඇයි”
“සර් මගේ අම්මගේ ආදාහනයට ආවේ නැහැනේ.”
“ඔව් මට මේ දවස්වල ගොඩාක් වැඩ තිබුණා.”
“අයියාවත් ආවේ නැහැ අම්මාගේ මිනිය බලන්න. මට ඒ ගැන හරිම දුකයි අම්මා මැරුණේ..... අම්මා මැරුණේ අයියා නැති දුකට. ප්‍රසන්න නිශ්ශබ්දව සිටියේ ය.
“සර් ඇයි කතා කරන්නේ නැත්තේ?”
“මාව කොළඹට මාරු කරලා උසස්වීමකුත් එක්ක, මම හෙට ඉඳලා මෙහේ නැහැ”
“මම දැන් තනිවුණා මට කවුරුවත් නැහැ”
ප්‍රසන්න එක එල්ලේ රංජිනී දෙස බලා සිටියේ ය.
“රංජිනීගේ අයියා දැන් ඉන්නේ අපේ කඳවුරේ, එයාගේ ජීවිතයට මුකුත් වෙන්නේ නැහැ. පුනරුත්ථාපනය වෙලා එයා ආපහු එයි.”
“අම්මාගේ මිනිය බලන්න එයා එන වෙලාවේ සර්ලා අයියව ඇරෙස්ට් කළා නේද?
“ඔව් රංජිනී, ඒක අපේ රාජකාරිය.”
“නැහැ, මම සර්ලට වරදක් කියන්නේ නැහැ. ඒක සර්ලාගේ රාජකාරිය බව මම දන්නවා”
“රංජිනී දැන් මොකද කරන්නේ”
“මම බඳින්න ඉන්න එක්කෙනා ඉන්නේ එංගලන්තෙ. ලබන සතියේ එයා මාව එංගලන්තයට ගන්නවා කිව්වා. රංජිනී රට හැර යන බව පැවසූ විට ප්‍රසන්නට දැනුණේ දැඩි වේදනාවකි.
“ඇයි එකම රටක ඉඳලා අපිට මෙහෙම වුණේ ඇයි සර්, මම එංගලන්තේ ගියත් සර්ව අමතක කරන්නේ නැහැ. මම හැමදාම දෙවියන්ට කියනවා සර්ව ආරක්ෂා කරලා දෙන්න කියලා.