
ඉටු වූ ප්‍රාර්ථනාව
ඇඟේ ලේ කිරි පෙරා සෙනෙහසින් පොවන්නට
යහනාවෙ තොටිල්ලේ නැළවිල්ලෙ තියන්නට
පුංචි මල් ගවුම් පොඩි හැඩ දමා අන්දන්ට
සිහින මැව්වා දුවේ පැතුම් කන්දක් වෙන්ට
කිරි මවුවරුන් ලෙස ළමැද ලේ කිරි දරා
සිල් සුවඳ කිරි සුවඳ මගේ සිත මත් කරා
වියළි මා ළමැද දෙස කඳුළු දෑසින් දරා
සිතින් මම ඇවිද යමි කිරිමවුන් පිරිවරා
දෙතන මගෙ හිස් නමුත් හදවතේ කිරිවැස්ස
ගලාවිත් මගෙ ළමැද තෙත් කළ වැහි බිස්ස
සනසවා සිත මගේ කඳුළු හොරැහින් පිස්ස
දුවේ නුඹ වුණා මට සිනා සිරි පොද වැස්ස
කිරිමවුන් ලෙස එදා යන්න අවසර නැතිව
කවුළුවෙන් නෙත් යොමා හොරෙන් ඒ දෙස බැලුව
දුවේ නුඹ මෙදා මට දස වසරකට පසුව
සුරලියක් මෙන් පැමිණ තෙත් කළා මගෙ පපුව
පෙර දිනෙක මා වෙතට වපරැසින් නෙත් හෙළුව
කිරිමවුන් පෙරරේ අද මම ද ගරුසරුව
මවු පදවි මට දුන්න දුවේ නුඹ පින් සරුව
පතිනි මවු දෙපා මුල නුඹ තබමි බැතිබරව
ජානකී අමරසිංහ
ඇපකරය
දස මාසයක් තනියම
ඇප කරේ ජීවිතය නිතරම
මගෙ කුසේ වැඩෙන උඹටම
තාත්තාගේ හයියත් අරගෙන
මගෙ පුතේ උඹට මතකද...
එකතු කරලා රුපියල දෙක
මැටි කැටේ කඩලා තනියම
කොහොම ගන්නේ බඩු ටික
ඒවත් ගත්තා ණයටම
ඉස්සර උඹ පුංචි දවස්වල...
අත හිඟ වෙවී කාලෙක
මගෙ සැප උගස් කරගෙන
දවසින් දවස ඔතනට
උඹව එව්වා මතකද
ඒ ණය උඹෙන් ගත්තද...
ඒ කාලෙ අපේ දෛවය
ළිප උඩ පත්තු කරගෙන
ගිනි අව් පොලේ කරවෙලා
මේ හිත තාම තෙත් වග
මගෙ පුතේ උඹ දන්නවද...
කප්පරක කඳුළු දුක් ගොඩ
ලේ වල ණයට දීගෙන
ඉල්ලුවේ උඹෙන් මම
මාස දහයක ඇපකර
මගෙ පුතේ අම්මා වැරදිද...
අතුල දිසානායක
මිරිඟුව
ඔබ ගැනම හිත හිතා
හීනවල ඇවිදලා
උගස් කළ යෞවනය
නොදැනීම වියැකිලා
කාලයට සින්න වූ
තුරුණු විය තටු සලා
පලාගිය මඟ බලමි
ජීවිතය නැවතිලා
ඔය හිනා ඔය කතා
මගේ සිත මත් කළා
නෙතු පියා නිදිබරව
දැහැන් ගත වී බලා
හිරු සඳු තරු නිවා
කල්පයක් ගත වෙලා
මං තාම මිරිඟුවක
දිය පොදක් සොයනවා
නන්දි අලුත්ගේ රත්නවීර
නුඹ පෙම
අවන්හල කොන දෑස් යා කර
නුඹේ ඇස් තුළ මා නිදන් කොට
ධනවතුන්ගේ මහා මන්දිර
පෙන්න පෙන්වා කතා එක් කළ
මගේ පන්තිය නුඹේ පන්තිය
නොවන බව නොහැඟුණේ කිම මට
සිතින් එක් කළ සිනා සඳ රැස්
නොනැඟුණේ කිම පුදුමයක් එය!
රිදී මන්දිර ගොඩනඟන්නට
ඈත සිතිජය වර්ණවත් කළ
එවන් වුන් තරණය කරන්නට
පාළු සොහොනක් කළා නුඹ පෙම
ඉරේෂා දුලාංජලී
මගෙ අහසට කවුරුත් ඒවිඳ
පාළු හිත ළඟ මැවෙන සිහිනය
සිගිරිය ළඳකි ළඳුනගෙ හැඬරුව ඇන්දම
ඒත් ඉතින් මගෙ අහසට කවුරුන් ඒවිද
කියන්න සකිසඳ කළුවර ඇයි අහසම...
කැටපත් පවුරටම වෙලා සිටියත් ඉඳගෙන
මා බලන්න ආ කුමරුන් දැක්කේ නැද්ද මම
මා ලියූ කවි කියවනවද මා බලන්න පෙර
එත් ඉතින් මගෙ අහසට කවුරුන් ඒවිද..
ගල් පඩිය ළඟට වෙලා නෙළුමක් වී සිත
සිත පාගා යන කුමරුන් දුටුවේ නැද්ද හැඩරුව
නෙතු කැමරාවට හසු නොවුණත් මා පෙම්බර
ඒත් ඉතින් මගෙ අහසට කවුරුත් ඒවිඳ
මංජුල සෙනෙවිරත්න
දැන්වත් නිමා කරමු
ට්‍රැක්ටර් ඇවිත් වෙල මැද්දේ හානකොට
කොළපත කොහෙද බැඳි බත් මුල ඒ රසට
පොලිතින් කඩදාසි සිව් අත සරණ විට
කෙහෙල් කොළේ අඬනව පිළිකන්නෙ සිට
පොලිතින් කොළේ උණු උණු බත දමා ගෙන
පොලිතින් බෝතලේ වතුරත් පුරෝගන
පිළිකා මල්ල හංගාගෙන අරන් එන
දෙවියනි මගේ ගොවි පුතු රැකදෙන් තෙදින
අයිරින් පතිරණ
සිහිනයයි ආදරය
හිතන්නට යමක් දුන්
සොඳුරුතම සිහිනයයි
ආදරය
පුදන්නට මිස ලබන්නට
නොසිතිය යුතුයි ආදරය
සිහිනෙන් ගෑ මල් සුවඳක් මෙන්
වෙළාගත් කල හදවතින්
නුහුරු නුපුරුදු හැඟුම් අතරින්
සොයා යන්නයි හිත නිරන්තරෙන්
හිමිවීම මෙන් අහිමිවීමෙන්
ලියා නිම නැති කවියක් ම
සෙවණැල්ලක් ම ළඟම රැදෙමින්
කියා දෙයි ඉරණම ජීවිතයේ
සඳරුවන් කරුණාතිලක
කිවිඳිය
විවාහ වී වසරක් ගත විය
එදා
මගෙ කවිය පුරා
ඇවිද ඇවිද
එයා හිටියෙ
හිනා වෙවී...
අද
මගෙ කවියෙ
කොනකට හේත්තුවෙලා
එයා ඉන්නවා
විලිස්සගෙන...
තක්ෂිලා ස්වර්ණමාලී
කුණු කන්ද දුක් කන්ද
නගරයේ තැනින් තැන
ගොඩ ගැසුණ කුණු
මහා කන්දක් වුණේ
බලා සිටියදී අප..
ටින් කබල් ප්ලාස්ටික්
ගඳ ගසන අපද්‍රව්‍ය
එකතු වී කුණු කන්ද
මහා කන්දක් වුණේ...
(කුණු කන්ද පෙන්වමින්
පෙන්වමින් ලෝකයක්
සුදු පැහැ හැඳි උතුමන්
ලොකු ගමනක් ගියේ)
දරා ගන්නට බැරිව
මහපොළොව
බිම හෙළද්දී කුණු කන්ද
ජීවිත ද යට කරන්...
පුංචි මිනිසුන් වු පවින්
බලාසිටින්නෙමි අදත්
කඩා වැටුණ කුනු කන්ද දෙස...
සුජීව ඉලංගකෝන්
ඉතිං නුඹ යන්නම ගියා
හිත් අහස කැලඹුණා
මල් මතක ඇහැරුණා
කවි වුණත් මැලවුණා
අකුරු එකිනෙක ගැලවුණා...
පෙමක් මහමෙර සේ වුණා
දියත් විත් දිය ඇලි වුණා
වැස්ස ටික ටික වැඩි වුණා
මහමෙරත් අද හෙල වුණා..
හැඟුම් දහසක් පිබිදුණා
වචන නෑ දිව ගොළු වුණා
ඇඟිලි පැටලුම් ගැලවුණා
ජීවිතය යළි පැටලුණා
මලිඳු කාවින්ද කුමාරසිංහ
ඇහෙනවාද
නාය ගිය කඳු පාමුල
සිහින් ජල රේඛාවක්
තවමත් ගලා යන හඬ..
මැයි ගස අහිමි වුව
තවමත් කුරුල්ලන් ගී ගයන හඬ..
තේ දළු සුවඳ පිස
හමා ගිය මද පවන
තවමත් සුවඳ දී හමා යන හඩ...
අපට ෙළන්ගතු වු
කන්ද පාමුල ගල්තලාව
තවමත් අපේ කතා මුමුනන හඬ..
හිතෙනවද
ඒ හඬ නැවත අසන්නට ...ඔබට
කුසුමා වර්ණසූරිය
ඇය
සුවඳැති මලකි
ඉමිහිරි සුවඳ කාමරය පුරාම
ඉඩ නොදෙන්නේ ද මට
විඳගන්නට එහි අපූර්වත්වය
මන බඳී, විහිදාලයි සුවඳ දස අත
මුළු භූමිය පුරාවටම
අකැමැත්තක් නොඅඟවන
යම් දෙයක පියකරු සේයාවක් දිස් වේ
ඒ මනරම් සුපුෂ්පයකි
මා වෙනුවෙන් ම පිපි, සුවඳ දෙන එය
ඉදිරියට පහත් වී පිළිගනිමි, ගරු කරමි
ඒ ප්රභාවට හා සුවඳට
එහි දිස්නය, සුවඳ සුපොහොසත්ය,
සෙනෙහෙබරය
එසේ සියලු ක්‍රියාකාරකම්
වසඟ කරන්නට දමනය කරන්නට
නතු කරන්නට මා
කනගාටු නොවන්න, ඒ ඇය
ඔබ සතු පුෂ්පයක් නොව
මගේ ම වූ
මටම වූ
පුෂ්පයයි ඇය
Casey Jarrell ගේ පැදි පෙළක පරිවර්තනයකි
සමන් හෙරත්
වඩුකුරුලු ගීතය
එල්ලගෙන මගේ ගෙදර
ලස්සනට ඔබේ ගෙදර..
වඩු කරුල්ලා යැයි
මට කියන්නේ ඇයි
කූඩු තැනුමට ගෙයි
ගේ කුරුල්ලා එයි..
අමුතු හැඩයට මා
කූඩූ තැනුවේ ඇයි
ඇසිය යුත්තේ ඔබ
සර්පයන්ගෙන්මැ යි..
සුමින්ද කිත්සිරි ගුණරත්න
නාය ගිය ජීවිත...
වෙසක් සඳ
නිවී යද්දී
පොසොන් සඳටත්
කලින්...
අනෝරා වැසි
බිමට ඇද දමා
අසරණ අපට
ඇයි මෙලෙස
සරදම් කළේ...
ගස්... ගල්
වැලි... මැටි... බොරලු
උලා කෑවේ
අප නොවෙයි
පරිසරය උලා කෑ
අමනයන්
සුරසැප විඳී
ඒසී මැඳුරුවල
උන් කරපු
පව්වලට
වැළලුණේ
අප නොවෙද?
වියරුවෙන්
ඇද වැටුණ
මහ කන්ද...
සැණෙකින්
සමතලා කළ හැටි
අහිංසක අපේ
දුක පිරුණු ජීවිත...
ගලා යන
බොර ම බොර
මඩ වතුරට මුහු වෙලා
අපේ උණු කඳුළු කැට...
රත්නසිරි පතිරණ
ආදරයට එක දවසක්
සඳ මනරම් ගෙතූ කවිකම්
තාල කියන්නට
අද වෙනකම් මඟ බැලුවේ
ආල කරන්නට..
රන් රස සේ එක් වීලා
සිහින මවන්නට
එනවද ලව් කෝච්චියේ
නුවර දුවන්නට..
ඉල්ලාගෙන අම්මාගේ
තෝඩු අරුංගල්
එල්ලාගෙන එන්නම් මං
පාට සරුංගල්...
එක හීනෙන් එළිවෙන්නට
රැයක් නොදීයන්
වෙනදා මෙන් නොවේ හිතට
බියක් දැනේ දැන්..
බැලුවේ උඩ එකපාරයි
අනේ සඳේ මං
කළුවර වී නිල් දෑසේ
මැකී සිනා කැන්
ධම්මි අනුරපුර
මිහිඳුකුල
හෙළ සිනමාවේ ඉතිහාසේ
කැටි කොට ඔබ ලියු පිටු අතරේ
සුනිල් මිහිඳුකුල ජීවත් වේ
හෙට දවසෙත් මට ඔබ හමුවේ
දෙනගම සිරිවර්ධන
එතෙර කවිය
සාපය
ඔබේ දෙනෙත
සිහි වන විට,
කඳුළු පිරෙයි
මා දෙනෙතට
කණාමැදිරි හිමිදිරියට
සරති ඔබේ වරලස වට...
දවස් ගෙවෙයි ඔය විදිහට
රැයත් ගෙවෙයි ඔය විදිහට
එහෙත් කිසිම කිසි විලසට
මගෙ ඔදතෙද බලකොටුවට
නපුරක් වී නැත එහෙමට...
මගේ කවුළු දොර කිසි විට
ඇද වැටුණේ නැත පහළට
මෙය වෙන්නැති සමහරවිට
නපුරුම සාපය මිහිපිට
පව්කම් උපතින් ලැබුණට
නොහැකිය මට පව් කරනට.
(සමකාලීන මරාති කවියකු වන වින්දා කරන්දිකාර් විසින් රචිත කාව්‍ය නිර්මාණයක් ඇසුරෙනි)
වින්දා කරන්දිකාර්
මරාති සාහිත්‍යයේ ප්රමුඛ පෙළේ කවියකු වූ ගෝවින්ද් විනයාක් කරන්දිකාර් වඩාත් ප්රකටව සිටියේ වින්දා කරන්දිකාර් යන නමිනි. වර්ෂ 1918 දී මහාරාෂ්ට්‍රයේ කොන්කාන් වෙරළ අසබඩ කුඩා ගම්මානයක උපත ලැබූ ඔහු කොල්හාපූර් ප්‍රාන්තයේ පාසල් සහ උසස් අධ්‍යාපන ආයතන වෙතින් අධ්‍යාපනය ලබා බොම්බේ විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධියක්ද ලබාගත්තේ ය. ඉන්පසුව ඉංග්‍රීසි සාහිත්‍යය පිළිබඳ මහාචාර්යවරයකු ලෙස කටයුතු කළ ඔහු ෆුල්බ්රයිට් සම්මානයකින් පිදුම් ලබා ඇමෙරිකා එක්සත් රාජ්‍යයට ගියේය. එහිදී වසර දෙකක් චිකාගෝ විශ්වවිද්‍යාලයේ කාලය ගත කළ ඔහු මරාති බසින් ලියූ සිය කාව්‍ය නිර්මාණ රැසක් ඉංග්‍රීසි බසට පරිවර්තනය කෙළේය. ඉංග්‍රීසි බසින් පළව තිබූ සම්භාව්‍ය කෘති ගණනාවක් මරාති බසටද පරිවර්තනය කළ ඔහු සාහිත්‍ය විචාරකයකු ලෙසද කටයුතු කෙළේය.