ආදරණීය අකුරු කැටයමක් | සිළුමිණ

ආදරණීය අකුරු කැටයමක්

විමර්ශන

කර්තෘ - ශ්‍රීමත් ඉන්ද්‍රජිත් ලියනගේ

ප්‍රකාශනය - කටහඬ ප්‍රකාශනයකි

මිල - රු. 350

ප්‍රවීණ මාධ්‍යවේදියකු ලෙස වසර ගණනාවක දේශීය විදේශීය සේවයේ නියුතු මාධ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව සහ සන්නිවේදකයකු ලෙස පැමිණි මඟ ඔස්සේ බිහි කළ කෘති රැසක් ද නාට්‍ය, ළමා කෘති, විචාර කෘති සහ වෙනත් විෂයයන් අරඹයා කෘති රැසක් නිර්මාණය කළ ශ්‍රීමත් ඉන්ද්‍රජිත් මහතා මෙවර ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් ‘ආකස්මික ආදරය’ නම් වූ කෘතිය එළිදැක්වූයේ ය‍.

ඓතිහාසිකව ප්‍රේමය පිළිබඳව විමසන විට ඉතා අමරණීය වූ ප්‍රේම වෘත්තාන්ත රැසක් අපට මුණ ගැසේ‍. සාලිය - අශෝකමාලා, දස්කොන් - ප්‍රමිලා, රෝමියෝ - ජුලියට්, රාමා - සීතා වැනි දේශීය සහ විදේශීය ප්‍රේම වෘත්තාන්ත රැසකි‍. මේ වෘත්තාන්ත තවමත් අද ඊයේ සිදුවූ දේ මෙන් අප සංස්කෘතිය හා බැදුණු සිද්ධීන් මෙන් පවතී. ප්‍රේමය පිළිබඳව විවිධ ප්‍රකාශනයක් තිබුණ ද ආදරය සඳහා නිසි නිර්වචනයක් නිශ්චිතව ම ඉදිරිපත් කළ නොහැකි ය.

මහා කවි ශේක්ස්පියර්ගේ නාට්‍ය රැසක් ම තේමා කරගත්තේ රොමාන්තික ආදරයයි! (Romantic Love) අතිශය රොමාන්තික වූ කෘතියකි ‘රෝමියෝ ජුලියට්’, ඔතෙලෝ, හැම්ලට්, මැක්බත්, දොෙළාස් ‍වැනි රාත්‍රිය ද එබඳු කෘති ය. ප්‍රේමය වෙනුවෙන් දිවි පිදීම් ද මේ එබඳු කෘති ය. ප්‍රේමය වෙනුවෙන් දිවි පිදීම් ද මේ නාට්‍යයන්හි අන්තර්ගත වේ. එසේ ම උත්තරිතර ආදරය වෙනුවෙන් ටජ්මහල ද ඉඳි විය. ෂෙලී නම් බටහිර කවියා Romantisism යන වචනය මඟින් Romantic Love යන වදන නිර්මාණය කර ගත්තේ ය. ප්‍රේමය දේවත්වයට නඟා කතා කළ ඔහු Divine යන වචනය ද භාවිතා කළේ ය. එහි අර්ථය වූයේ සිදුවිය නොහැකි එහෙත් සිදුවිය හැක්කක් සේ සැලකෙන යන අර්ථයයි.

පෙබරවාරි 14 වැනි දිනය ආදරවන්තයින්ගේ දිනය (Valantines day) යනුවෙන් සැමරීමට ලොව හැම දෙනාම දැනුවත්ව සිටී. එහි ආරම්භය වූයේ ප්‍රංසයේ ජෝසෆ් වැලන්ටයින් පියතුමාගේ යම් ක්‍රියාදාමයක් හේතු කොටගෙන යි. අසරණ වූ පෙම්වතුන්ට පිළිසරණක් ව තම පල්ලියේ සිට දුක් පීඩා නිවමින් සැනසිලි වදන් නිසා ඉටු කළ මෙහෙය එයට හේතු විය. එතුමාගේ අභාවයෙන් පසු මේ දිනය සැමරීම නිරායාසයෙන් ම සිදු විය.

ප්‍රේමය ලොව පහළ වූයේ කෙසේද යන්න කිසිවෙකුට කිව නොහැකිය. මානව සංහතිය මෙන් ම සත්ව සංහතිය තුළ ද ප්‍රේමය පවතී. විවිධ වයස් කාණ්ඩ අතර ආදරය පැවතුණ ද එය යෞවනයින්ගේ සුන්දරත්වය අළලා නවමු හැඟීම් මත නිර්මාණ බිහි කිරීම, ඒ පිළිබඳ කතා කිරීම ජනප්‍රිය අංගයකි. ආකස්මික ආදරය සහ එහි අපූර්වත්වය අගනේ ය. එවන් තැත් නොකිරීමෙන් ලබන ප්‍රේමය උසස්වේ. ජාති, ආගම්, කුල භේද පදනම්ව ආදරය ගොඩනැඟීම ද සමාජයේ දැකිය හැකි ය. කෙසේ වුව ද ‘ආකස්මික ආදරය’ නමින් වන මේ පිවිතුරු ප්‍රේමය මූලික කරගෙන ශ්‍රීමත් ඉන්ද්‍රජිත් මහතා ලියූ කවි සංකල්පනා රැසකි.

සෙනෙහස පිළිබඳව පූජනීය අරුතකින් ඇරඹෙන කවියකින් ආදරය පිළිබඳ ව ඔහු ලියා ඇත. දෙහදක තතු කෙසේ නම් කාට කිව හැකි ද? එහෙත් එහි යාදෙන ස්වභාවය මෙලෙස ඔහු කවි සිත්තම් කර ඇත.

ඔබ මගේදෝ මා ඔබේදෝ
නිරුත්තරයි අපෙ හදවත්
කටු අග පිපුණත් බොළඳි‍
සිත් අහසෙදි එකට බැ‍ඳෙත්

ආකස්මික ආදරය; කොයිබින්ද ආදරය පැමිණෙන්නේ කාට නම් කිව හැකි ද? බොහෝ තැන්හි කවි සටහනක් අවසන ඉංග්‍රීසි බසින් ද සටහන් දක්වා තිබීම ආදරය සැමට ම පිදීමට භාවිතා කළ උපක්‍රමයක් සේ පෙන්වා දිය හැකි ය.

ප්‍රේමය යෞවනයන්ට සීමා නොවූවකි.‍ සියලු සත්ව සංහතියට එය අවශ්‍ය ය. මිනිසකු තනි වන්නේ අසරණ වන්නේ ඔහුගේ සමාජ, ආර්ථික, දේශපාලන ප්‍රශ්න මත නොවේ. ආදරය නොලැබීම මතයි. එය සැමට ම ලැබි ය යුතු ය‍‍. ආදරවන්තයින්ගේ දිනයක් නම් කළ ද සියලු ආගම් හි දැක්වෙන සේ හැමෙකුට ම ආදරය දිය යුතු යි.

ඓතිහාසික වෘත්තාන්ත රැසකින් එනම්, ‍ෙරා්මියෝ ජුලියට්, සාලිය අශෝකමාලා, දස්කොන් ප්‍රමිලා මඟින් ප්‍රේමය ඉතිහාසයේ සිට අපට උගන්වා ඇත. එය වත්මන් පරපුරට ද අකුරු කළ යුතු නැත. එය නිරායාසයෙන් හදවතට නැගෙන්නකි‍.

ගොළු නොවූ හදවත් ඔහුගේ තවත් කවකි. මෙහි සචේතනික හදවතක් සහ අචේතනික බංකුවක් ලෙස අරුත් ගන්වමින් රචනා කර ඇත. ආදරය හෙළි නොකර සඟවා තැබිය යුතු නොවන බව එයින් පසක් කර දෙයි.

ආදරයේ පිවිතුරු බව පිළිබඳව එහි අමිල වූ බව පිරුණු හදක් යනුවෙන් නම් කරන අතර ප්‍රේමයේ සනාතන අගය ද ඔහු ඉදිරිපත් කරයි.

සිතන්නට සිතක් ඇති මුත්
දොඩන්නට ඉඩක් නැති ලොවක
අක් මුල් සිඳගත්
ඕපපාතිකයො අප

මෙසේ සටහන් කළත් ආදරයට දෙදෙනෙකු ජීවත් කරවිය හැකි බව ඉදිරිපත් කර ඇත.

ආදරයෙන් සිපගත් අතක් යළි
අනාදරයෙන් සිඳිනු කෙලෙසද

ආදරය අහිමිවූ විටෙක වෛර නොකිරීමේ උත්තරීතර ගුණය පිළිබඳව ‘අතීර්ණය’ කවියෙන් පෙන්වා දෙයි. වැලන්ටයින් පියතුමා පිළිබඳව ද කවක් කෘතියෙන් ඉදිරිපත් කර ඇත්තේ එබැවිනි.

ප්‍රේමය නම් අරුමයක් මැයි. එය විඳිය යුතුමය. වදනින් සනිටුහන් කළ නොහැකි ය. තටු ලැබ ඉගිළ ගිය කාලයට බෝසත් අරුතක් ගෙන දුන්නේ ප්‍රේමය බව ‘ආකස්මික ආදරය’ කවි පන්තිය වටහා දෙයි. මහාචාර්ය සරච්චන්ද්‍රයන් ‘නැත ලොවේ අන් රසඳුනා ආදරය සේ සුව දෙනා” යයි ප්‍රකාශ කළේ ද එබැවිනි.

Love possesses not nor will it be possessed, for love is sufficient unto love.

- Khalil Jibran

ප්‍රේමය හිමි වීමක් හෝ හිමි කමට සුදුසු වන්නක් නොවේ. එය පෙමින් ම කෙළවර වන්නකි. මෙවන් දාර්ශනික චින්තාවන් ද ‘ආකස්මික ආදරය’ කෘතියෙන් රැගෙන එයි.

අපි අපේ හිත් අතර
වැල් පාලමක් තනා
එගොඩ වන්නට හදන

නවමු උපමා, රූපක භාවිත කරමින් රචිත සුළං කෝඩය ආදරයේ ජයග්‍රහණය කරා යන අබිමන් ගමන පෙන්නුම් කරයි.

අකුරු ඇහිදින පන්හිඳ
අවංක සිනහවකින් පිළිගෙන
ඔබට පුදන ආත්මීය කවිය

ඔබේ හදට දුකක් දුන්නොත්
ඒ ඇය වෙනුවෙන් වාං දමන

මගේ දුක බව වටහා ගනු මැනඒ ප්‍රේමයේ දුක්ඛදායක ඉසව්වයි. රූමත් බවට පමණක් ආදරය කළ යුතු ද? අවලස්සන වූවන්ට ආදරය අහිමි ද? ආදරය ඕනෑම හදවතකට පොදු ය.

සැලමුතු පෙම, අනුරාගය, ප්‍රේමයේ විරහව, චමත්කාරය, බලාපොරොත්තුව, සුන්දරත්වය එසේම එකිනෙකාට ආදරය කිරීම පිළිබඳව යන හැම ඉසව්වක්ම කරා පිය නැඟූ කවි පංති රැසක් කෘතියෙහි අන්තර්ගතව ඇත. එබැවින් පාඨකයකුට රසවිඳිය හැකි ජීවිතයට ආදර්ශයක් ද ගෙන දෙන මේ ආදරණීය අකුරු කැටයම සහෘදය සිතෙහි ද කැටයම් වනු දැකීම මගේ අභිලාෂයයි.

Comments