
ආරියානා යළි මැන්චෙස්ටර් යයි
ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව නැවතත් මැන්චෙස්ටර් නුවරට පැමිණෙන්නටයි සුපිරි ගායිකා අරියානා ග්‍රාන්ඩේගේ බලාපොරොත්තුව. ඇය, මැන්චෙස්ටර් වෙතට යළි එන්නේ තවත් ප්‍රසංගයක් පැවැත්වීමටයි. මෙහි අරමුණ, පසුගියදා තම ප්‍රසංගය පැවැති අවස්ථාවේදී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ගේ සුබ සාධනය වෙනුවෙන් අරමුදලක් ගොඩනැංවීමයි.
“විපතට පත්වුණු මගේ රසික පිරිසට සහ ඔවුන්ගේ පවුල්වල අයට සමීප වෙලා ඔවුන්ට ආදරය දැක්වීම තමයි, මගේ අරමුණ. මීට කලින් මගේ රසික රසිකාවන්ට දක්වපු ආදරයට වඩා වැඩි ආදරයක් සහ ත්‍යාගශීලීත්වයක් පිරිනැමීම මගේ බලාපොරොත්තුවයි.” ආරියානා තම ට්විටර් පිටුවෙහි සටහනක් තබමින් එලෙස ප්‍රකාශ කළා. මෙම ප්‍රසංගය පැවැත්වෙන්නේ කවදාදැයි ඇය මෙතෙක් ප්‍රකාශ කර නැහැ.
ආරියානා, මැන්චෙස්ටර් නුවර පැවැත්වූයේ ඇය විසින් සංවිධානය කරන ලද ‘ඩේන්ජරස් වුමන් වර්ල්ඩ් ටුවර්’ යනුවෙන් නම් කළ ප්‍රසංග මාලාවේ එක් ප්‍රසංගයක්. එයට ත්‍රස්ත ප්‍රහාරය එල්ල වූ පසුව මේ ප්‍රසංග මාලාව නවතා දැමීමට ඇය තීරණය කළා. එංගලන්තය ඇතුළු යුරෝපා රටවල් රැසකම මෙම ප්‍රසංග මාලාව පැවැත්වීමටයි ආරියානා සැලසුම් කර තිබුණේ.
වැට උඩ සිටින හැරීගේ පෙම්වතිය
දෙවැනි එලිසබෙත් රැජනගේ මුනුපුරු, හැරී කුමරු සහ හොලිවුඩ් නිළි මෙඝාන් මාක්ල් අතර දලුලමින් පවතින පෙම් සබඳකමට දැන් මාස ගණනක් ගතවෙලා. දෙදෙනා ළඟදීම යුගදිවි ගමන අරඹන්නට යන බවට වූ ආරංචි දස දෙස පැතිරී ගියා. ඒත් එය සිදුවන දිනය තවමත් හරියටම ප්‍රකාශ කරන්නට අපහසු බවක් වටින් ගොඩින් පැවසෙන ආරංචිවලට අනුව සිතාගත හැකියි. රාජකීය කුමරුන්ගේ අත ගැනීමෙන් පසුව තමන්ගේ නිළිකම අතහරිනවා ද නැද්ද යන්න ගැන මෙඝාන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැහැ. මේ හේතුව නිසයි දෙදෙනාගේ විවාහය දිනෙන් දින කල් යමින් තිබෙන්නේ. තම නිළි ජීවිතයේ උච්චතම අවස්ථාව ගත කරමින් සිටින මෙඝාන්, රාජකීය කුමරුවකුගේ ආර්යාව වෙන්නට පවා මැළිකමක් දක්වන බවයි දැනට නම් පෙනෙන්නේ.
මේ අතර, ප්‍රවීණ සිනමාකරුවන් දෙදෙනකු වන ටයිලර් පෙරී සහ ලී ඩැනියල්ස් බලාපොරොත්තුව සිටින්නේ ටෙලි නාට්‍ය මාලාවක ප්‍රධාන නිළිය හැටියට මෙඝාන්ව තෝරා ගන්නටයි. එයට මේ සුපිරි නිළියගේ කැමැත්ත තවමත් ලැබී නැතිලු.
විවාහය ද? නිළිකම ද? ඇය තවමත් කල්පනා කරනවාලු.
ඔලිවියා යළි රෝගී වෙයි
ජනප්‍රියත්වයේ මුල් තැනට පැමිණි ගායිකා ඔලිවියා නිව්ටන් ජෝන් මීට වසර 25කට පෙර පියයුරු පිළිකාවකින් පීඩා වින්දා. නමුත් ඇයට නිසි ප්‍රතිකාර ලැබීමෙන් එම රෝගී තත්ත්වය වළක්වාගන්නට හැකි වුණා. පසුගිය සතියේ ඇය ප්‍රසිද්ධියේ කියා සිටියේ නැවතත් තමන් පියයුරු පිළිකාවකින් පීඩා විඳින බවයි. මේ හේතුවෙන් ඇය කිසිදු විදෙස් සංචාරයකට සහභාගි නොවී සිටීමට තීරණය කර තිබෙනවා. දැනට 68 වැනි වියෙහි පසුවන ඔලිවියාගේ මේ රෝගී තත්ත්වය සමනය කර ගැනීමට විකිරණ සහ ස්වාභාවික චිකිත්සක ප්‍රතිකාර ලබා දීම සිදු කෙරෙනවා. මෙම ප්‍රතිකාර සිදු කෙරෙන්නේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදීයි. “ඔලිවියාට ඉක්මනින් සුවය ලැබේවි. මේ අවුරුද්දෙ අවසානය වෙන කොට වෙනදාටත් වඩා සුව වෙලා සංගීත ප්‍රසංග පවත්වන්නත් හැකි වේවි.” ඔලිවියාගේ කළමනාකරුවෙකු එලෙස ප්‍රකාශ කළා. 1970 දශකයේ ජනප්‍රියත්වයට පත්වූ මේ සුපිරි ගායිකාව 1978 දී තිරගත වූ ‘ග්‍රීස්’ නම්වූ සංගීතමය විකට චිත්‍රපටයේ රංගනයට ද දායක වූවා. 1992 දී මුලින්ම පියයුරු පිළිකාව වැලඳී එහි මුල්ම අවස්ථාවේදී ප්‍රතිකාර ලද ඔලිවියා, ඉන් පසුව මෙල්බර්න් නුවර සෞඛ්‍ය මධ්‍යස්ථානයක් ඉදිකළා. ඒ සඳහා මුදල් සොයා ගත්තේ සංගීත ප්‍රසංග පැවැත්වීමෙන්.
ටේලර් පෙම්වතාගේ මහගෙදරට?
‘ලන්ඩන් යනව ද? ලොස් ඇන්ජලීස්වල නවතිනව ද?’ මේ, සුපිරි ගායිකා ටේලර් ස්විෆ්ට්ගේ පෙම්වතා වන ජෝ අල්වින්ගේ සිත තුළ මේ දිනවල පැසවමින් තිබෙන ප්‍රශ්නයයි.
ජෝ සහ ටේලර්ගේ ප්‍රේමය ලොවට රහසින් තබාගන්නට දෙදෙනාම උත්සාහ කළත් දැන් එය නිෂ්ඵල වෙලා. ලොව පුරාම පැතිරී යමින් තිබෙන මේ පෙම් කතාවෙන් දෙදෙනාටම අවැඩක් වෙලා නම් නැහැ. කොහොම වෙතත් ටේලර් සහ ජෝ ඉක්මනින්ම විවාහ වන පාටක් නම් පෙනෙන්න නැහැ. එක් අවස්ථාවකදී “කිසිම දවසක විවාහ වෙන්නෙ නැති”ය කියා මේ දෙදෙනාම පවසා තිබුණා.
ටේලර් පදිංචිව සිටින්නේ ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර. ජෝගේ මහගෙදර ඇත්තේ එංගලන්තයේ ලන්ඩන් නුවර. ඔහුගේ දෙමවුපියන් සිටින්නේ ලන්ඩන්වලයි. ඇමෙරිකාවේ රැඳී සිටියත් ඔහු ඉඩක් ලැබෙන හැම විටෙකදීම තම දෙමවුපියන්ගේ දුකසැප බලන්න ලන්ඩන් යනවාලු. අම්මාටත් තාත්තාටත් ඔහු දැඩි සෙනෙහසක් දක්වන නිසයි නිතරම මහගෙදරට යන්නෙ. මේ දිනවල ඔහු කල්පනා කරමින් සිටින්නේ ටේලර් සමඟ ලන්ඩන් නුවරට ගොස් ටික දිනක් රැඳී සිටින්නලු.