
නිරන්තරයෙන් සිනමාව, නාට්‍ය පිළිබඳව කතා කරන අපට අලුත්ම වැඩක් අලුත්ම ආකාරයෙන් කරන්න සූදානමෙන් සිටින දක්ෂ ඡායාරූප ශිල්පියෙක්ව මුණ ගැහුණා . සම්මානනීය ඡායාරූප ශල්පියකු, ගුරුවරයකු, දේශකයකු මෙන්ම ලේඛකයකුද වන මොහු නමින් ඉන්ද්‍රනාථ තේනුවර . ඔහු තම අලුත්ම ඒක පුද්ගල ඡායාරූප ප්‍රදර්ශනය ‘සඳාත්මය‘ පැවැත්වීමට සූදානම් වන මොහොතක රසඳුන සමඟ කළ කතාබහයි මේ .
• මෙවර ඔබේ ප්‍රදර්ශනයේ සංකල්පය අලුත්ම එකක්?
‘සඳාත්මය‘ නමින් පවත්වන මේ ප්‍රදර්ශනය මම කරන පස්වැනි ඒක පුද්ගල ප්‍රසංගය. මෙහි ඇති විශේෂත්වය තමයි මෙහි එන සියලුම ඡායාරූප ස්වභාවික සඳ එළියේ ආලෝකයෙන් පමණක් ඡායාරූප ගත කිරීම.මේ සඳහා බාහිර කිසිදු ආලෝක සැපයුමක් කරලා නෑ.
• ඇයි ඔබ මෙහෙම දෙයක් කරන්න හිතුවේ?
මුලින්ම කියන්නම ඕනෙ ඡායාරූප ප්‍රදර්ශන කලාවට ලංකාවෙ තියෙන්නේ ඉතාමත් අඩු උනන්දුවක් සහිත ප්‍රේක්ෂක පරාසයක්. ආර්ථික වාසි ලබන්න නම් මෙහේ ප්‍රදර්ශන පැවැත්වීම පල රහිතයි. නමුත් නිරන්තරයෙන් අලුත් දෙයක් අලුතෙන්ම ඉදිරිපත් කිරීමේ වුවමනාව නිසාම මම මේ ඡායාරූප කළා. උත්සාහය සාර්ථක වීම නිසා තමයි ප්‍රදර්ශනයක් පවත්වන්න හිතුවේ. අනික තමයි හැම ප්‍රදර්ශනයකටම වගේ තේමාව වන්නේ සතුන්වගේ සාමාන්‍ය තේමාවන්නේ. අන්න ඒ සාමාන්‍යත්වය ඉක්මවා යන්න ගත්ත උත්සාහයක් මේ.
•මෙලෙස ඡායාරූපයට නැගුවේ මොන වගේ ස්ථානයද ?
ලංකාවේ මිනිසුන් තම රටේ දේවල් වුණත් බලන්නේ දිවා කාලයටනෙ. නමුත් ඒ බලන්න යන සුලබ ස්ථානවල දක්නට ලැබෙන දුලබ තැන් ටිකක් හඳ එළිය පමණක් යොදාගෙන ගත්ත ඡායාරූප එකතුවක් මේක.සීගිරිය, කොත්මලේ ජලාශයේ පතුලේ ඇති කඩදොර විහාරය, ලක්ෂපාන දියඇල්ල, පරාක්‍රම සමුද්‍රය වැනි තැන් බොහෝ ගණනක් මෙලෙස සඳ එළියෙන් දකින්න පුළුවන්.
• රාත්‍රියේ හඳ එළියේ ඡායාරූප ලබා ගන්නා විට මුහුණපෑ දුෂ්කරතා මොනවද?
හඳේ දීප්තිමත්ම ආලෝකය තියෙන්නේ මාසෙකට දින දෙකක් තුනක් වගේ කාලයක්. ඒ දින තුන කළමනාකරණය තමයි දුෂ්කරම වැඩේ.අනෙක තමයි අපි සොයාගෙන ගියේ සුලබ තැන්වල දුලබ දසුන්. සමහර වෙලාවට අපි යන දවසේ ඒ ස්ථාන අශ්‍රීතව දැඩි වැසි, නැත්නම් අධික පෑවිල්ල නිසා අපි හොයන ස්වභාවික සුන්දරත්වය නෑ.
සමහර තැන් තියනවා මාස කිහිපයන් ඒ තැනට යන්න වුණා මගේ හිතේ තියන පින්තූර ගන්න. අනික අපි මේ ඡායාරූප සියල්ලක්ම ගත්තේ ළඟා වෙන්න අමාරු තැන්වල ඉඳගෙන. අපි දවසක් ලක්ෂපාන දිය ඇල්ලේ රූගත කිරීම් වලට ඇල්ලේ ඉඳලා අඩි 700 කට වැඩි දුරක් පහළට ගියා. ගමනත් දුෂ්කරයි. පහුවදා නැවතත් එනකොට ගමේ මිනිස්සු අහනවා කරදරයක් වුණේ නැත්ද මෙහේ කවුරුත් ඔය පැත්තට යන්නේ නෑ. එහේ කොටි ඉන්නවා කියලා.
• ඡායාරූප ශිල්පයට ලංකාවේ තියන තැන කොහොමද?
කතා කිරීමත් අවශ්‍ය නැති තරම්. මම මගේ මුල්ම ප්‍රදර්ශනය පැවැත්වූයේ 1992. එතැන් පටන් මේ දක්වා මම ප්‍රදර්ශන 5ක් පවත්වා ඇති නමුත් කිසිම රජයක් අපට අනුග්‍රාහකත්වයක් හෝ වෙනත් උපකාරයක් කරලා නෑ.
කලා සංගම්වලට ඕන වුණත් අපට උදව් කරන්න ඒ අයටත් ආර්ථික ශක්තියක් නැහැ. අනුග්‍රාහක භවතුන් පවා අද බොහොම අඩුයි. අපේ මිනිස්සුත් සල්ලි දීලා චිත්‍රපටි, නාට්‍ය බලන්න යනවා. ඒත් මේ වගේ ප්‍රදර්ශනවල ප්‍රවේශපත් තියනවා කිව්වොත් එන්නේවත් නෑ. ඒ තරමටම ඡායාරූප රස වින්දනය පහළ මට්ටමකයි තියෙන්නේ අපේ රටේ. නමුත් ආරාධනා කරනවා අලුත් දේවල් නව කෝණයනික් දකින්න එන්න කියලා.
• උත්සාහය සාර්ථකද?
මගේ අදහසට අනුවනම් සාර්ථකයි. ඒත් ඒකේ සැබෑ සාර්ථකත්වය තීරණය කිරීමේ ශක්තිය මෙය නැරඹීමට පැමිණෙන ඔබට භාරයි. ඡායාරූප එකතු කිරීම අවසන් කිරීම විතරයි මගේ සාර්ථකත්වය.
ලොව පළමුවරට පවත්වනු ලබන සඳ එළිය පමණක් යොදාගෙන රූගත කළ මෙම සේයාරූ ප්‍රදර්ශනය ආරම්භ වුණේ පසුගිය 9 වැනිදා සවස 4.30 ට.
එය ලබන 12 වැනිදා රාත්‍රී 7.00 දක්වා කොළඹ 7, හෝර්ටන් පෙදෙසේ ඇති ජේ. ඩී. ඒ. පෙරේරා කලාගාරයේ පැවැත්වෙනවා.