සතර සවිය සහ නෙළුම 6 | Page 2 | සිළුමිණ

සතර සවිය සහ නෙළුම 6

කලාසූරි සතිස්චන්ද්‍ර එදිරිසිංහ රඟපෑමට හිස මුඩු කරයි

කලාගුරු ජේ.ඩී.එල්. පෙරේරා මහතා වෙස්සන්තර නාට්‍යයට පසුව නිෂ්පාදනය කළේ ශ්‍රී වික්‍රම රාජසිංහ නාට්‍යයයි. එම නාට්‍යයේද මට රඟපෑමට අවස්ථාව ලැබුණි. ඉන් පසුව රඟපෑමට අවස්ථාවක් ලැබුණේ නැත.

ප්‍රවීණ නාට්‍ය අධ්‍යක්ෂවරුන්ට මගේ හැකියාව පෙන්විය යුතු යැයි සිතුවෙමි. ඒ යහපත් සිතිවිල්ල ක්‍රියාත්මක කිරීමට අධිෂ්ඨාන කර ගතිමි. ඇල්පිටියේ ශාන්ත මරියා විදුහලේ දී වේදිකාගත කළ වෙස් මුහුණු නාට්‍ය පිටපත අනුවර්තනයක් ලෙසින් 1963 ඔක්තෝබර් මස 05 වැනි දින “බකතපස්” නමින් මගේ පළමු නාට්‍ය නිර්මාණය හැව්ලොක් ටවුමේ ලුම්බිණි රඟහලේදී වේදිකාගත කරන ලදී. මේ නාට්‍යය නැරඹීමට ප්‍රවීණයන්ට ආරාධනා කළෙමි. එතැනින් පසුව මට වේදිකා නාට්‍යවල රඟපෑමට අවස්ථාවක් ලැබුණි. හෙන්රි ජයසේනයන් ගේ “මනරංජන වැඩ වර්ජන” ගුණසේන ගලප්පත්ති සූරීන්ගේ ලියතඹරා මහහේනේ රීරියකා - දයානන්ද ගුණවර්ධනයන්ගේ ඉබිකථාව - රංජිත් ධර්මකීර්තිගේ මහගෙදර - චෙරි උයන - එස්. කරුණාරත්නයනගේ එරබදුමල් පොට්ටු පිපිලා - මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රගේ ගැහැනියක් සහ සයුරෙන් ආ ළඳ සිරි එදිරිසිංහ ගේ රුධිරය හා ගංගාව සහ මහ කොළඹ - චන්ද්‍රරත්න මාපිටිගමගේ නිර්මාණයක් වූ එළඳු - ධර්මසිරි වික්‍රමරත්නයන් ගේ ඔන්න බබෝ ඇතින්නියා සහ හඹුන් කටයි බත් දෙකටයි යන වේදිකා නාට්‍යවල විවිධ ප්‍රධාන චරිත නිර්මාණය කිරී‍ෙම් වාසනාව ලදිමි. ප්‍රවීණ නාට්‍යවේදීන් සමඟ පුහුණුවීම් වලදී ලැබෙන දැනුම් හා අභ්‍යාසය අති විශාලය.

හෙන්රි ජයසේනයන්ගේ මනරංජන වැඩවර්ජන නාට්‍යය දුටු එවකට උත්තර මන්ත්‍රීවරයෙක් වූ රෙජී පෙරේරා මහතා එතුමාගේ පළමු චිත්‍රපටය වන සැඩොල් කඳුළු චිත්‍රපටයේ එන භික්ෂු චරිතයකට මාව තෝරා ගැනීම සිනමා රංගන ජීවිතයේ ආරම්භයයි. හැබැයි ඊට පළමුව බර්නාඩ් මෙන්ඩිස් මහතා විසින් සමාප්ති චිත්‍රපටයෙත් කුඩා චරිතයක් සඳහා අවස්ථාව ලැබුණි. සැඩොල් කඳුළු සඳහා මා හිස මුඩු කරන ලද්දේ ම‍ගේ මංගල උත්සවයට මාස කිහිපයකට කලිනි. මඟුල් පින්තූරයේ මගේ නියම ස්වරූපය දකින්නට නොලැබෙන බව දැන දැනත් හිස මුඩු කළේ රඟපෑමට ඇති ආශාවත් ලැබෙන මුදල මංගල උත්සවයේ වියදම්වලට උපකාරයක් වන නිසාය.

දෛනික රැකියාවක නිරත වීමට කැමැත්තක් නොවීය. එහෙත් කරුණු දෙකක් මත රැකියාවක් සොයා ගත යුතුව තිබුණි. පළමු කරුණ තාත්තා අකාලයේ මිය යාමෙන් පසු අම්මා ලත් විශ්‍රාම වැටුප ප්‍රමාණවත් නොවීම නිසා සුනිල් මල්ලීට ඉගෙන ගැනීමට මුදල් අවශ්‍ය නිසාය. දෙවැනි කරුණ රැකියාවක් නොමැති අයෙකුට තම දියණිය විවාහ කර දීමට මගේ මනාලිය ගේ මවුපියන් අරුචියයි.

ලංකා ගමනාගමන මණ්ඩලයේ දිනකට රුපියල් පහක පඩියට අනියම් ලිපිකරුවකු වශයෙන් ඔරුගොඩවත්ත ඉන්ධන පිරවුම්හලේ රැකියාව ලදිමි. මාස හයකට පසු රැකියාව ස්ථිර විය. විවාහය සිදු විය. හෙන්රි සහ මානෙල් ජයසේන - විජේරත්න වරකාගොඩ සහ චිත්‍රා මාලනී ෆොන්සේකා ‍ලේක්හවුස් හි මධුර චිත්‍රකතා පත්‍රයේ චිත්‍ර ශිල්පී අනුර විජේවර්ධන සහ තවත් අය සහභාගී වූහ.

1964 දී විවාහයට ප්‍රථම මගේ දෙවැනි වේදිකා නාට්‍යයට සූදානම් වුණා. චිත්‍රපටයක් කිරීමටත් චිත්‍රපටයක රඟපෑමටත් ඇති කැමැත්ත නිසා වේදිකා නාට්‍ය නිෂ්පාදනය කොට අත්දැකීම් ලැබීමට පෙළඹුණෙමි. දෙවැනි වේදිකා නාට්‍යය වූයේ “අත්තිකකා මල් පිපිලා” නමැති ස්වතන්ත්‍ර මගේ ම පිටපතකි. මෙය පුහුණු වන කාලයේ මගේ ලොකු මල්ලි වන නිමල් රංජිත් රජයේ සංගීත විද්‍යාලයේ ඉගෙන ගන්නා අභ්‍යාස ලාභියෙකි. දිනක් ඔහු මට මෙසේ කීවේය. පොඩි අයියෙ හේවුඩ් එකේ අපිත් එක්ක ඉගෙන ගන්න කොල්ලෙක් ඉන්නවා වික්ටර් කියලා. ගම කඩුගන්නාවේ. මිස්ටර් අමරදේවත් වයලීන් ගහන්න අරන් යනවා. මාර දක්ෂයා. අයියාගේ නාට්‍යයක මියුසික් කරන්න දෙන්න හොඳයි” මේ වචන ටික අනුව මම නිමල් මල්ලීට ඔහුව කැඳවාගෙන එන ලෙස කීවෙමි. වික්ටර් හමුවිය. ඔහුට අත්තික්කා මල් පිපිලා නාට්‍යයේ සංගීතය භාර දුනිමි.

අත්තික්කා මල් පිපිලා නාට්‍ය වේදිකා ගත කළාට පසු බකතපස් නාට්‍ය පැයකට කෙටි කොට සංගීත ප්‍රසංගයකුත් සමඟ 1964 දී පොලොන්නරුවේ තෝපාවැව විද්‍යාලයේ දින තුනක් දර්ශන හයක් පොසොන් සතියේ කිරීමට මගේ මිතුරෙකුට වුවමනා විය. ම‍ගේ කණ්ඩායම මා සමඟින් 31 දෙනෙකි. සංගීත අංශය වික්ටර් රත්නායක විසිනි. ගමන දුම්රියෙනි. යාමට සහ ඒමට ගමන් බලපත්‍ර ලබා ගත්තෙමු.

පළමු දර්ශනය නැරඹීමට සිටියේ 150ක් පමණ පිරිසකි. 6.30 දර්ශනය නැරඹීමට පැමිණියේ 60 කි. ලැබුණ ප්‍රේක්ෂක ප්‍රතිචාර හොඳ වුවත් ඉදිරි දර්ශන නැරඹීමට සෙනඟ නොපැමිණෙන බව මට වැටහුණි. මගේ මිතුරා සමඟ කතා කොට ඉතිරි දින දෙකේ දර්ශන අවලංගු කොට පසු දින යළිත් කොළඹ ඒමට තීරණය විය. එහෙත් නළු නිළියන්ට සංගීත ශිල්පීන්ට ශබ්ද හා විදුලි උපකරණ යනාදිය මුදල් දීම අනිවාර්යෙන් ම කළ යුතුය. සංවිධායක මිතුරා අතුරුදන් විය. අපි අතරමං වුණෙමු. පසුදා උදෑසනම මිතුරා හමුවිය. මුදල් නොමැති බව පවසා රුපි. 200/-ක් පමණක් දුන්නේය. ලැබිය යුතු මුදල් රුපි: 1750/- දවල්වෙලා සල්ලි දෙන්නම් මිතුරා කීවේය. පිරිස උදෑසන දුම්රියෙන් කොළඹට පිටත් කර මම කදුරුවෙල නැවතුණෙමි. එහෙත් මුදල් නොලැබිණි. කොළඹ ඒමට නොහැක. අනුරාධපුරයේ සිටන ඥාති සොයුරෙකු සොයා ගියෙමි. සතියක් කල්ගත විය. ණය දීමට නොහැකි නිසා කොළඹ නොඑන බව අම්මාට දැනුම් දුන්නෙමි. අම්මා අතිශයින් දුකට පත්විය. දිනපතා දිනමිණ පත්‍රය බලන්නෙමි. පත්තර අතට ගත් හැටියේ බලන්නේ රඟදක්වන නාට්‍ය මොනවදා යන්නයි. මා රඟපාන සුනන්ද මහේන්ද්‍රගේ ගැහැනියක් වේදිකා ගත වන දැන්වීම දුටුවෙමි. මම එහි ප්‍රධාන චරිතයක් නිරූපණය කරන නිසා අදහස වෙනස් ‍කොට වහාම නිවසට පැමිණ ලුම්බිණි රඟහලට ගියෙමි.

සුනන්ද මහේන්ද්‍රයන් මට කීවේ අද පැමිණෙන විශේෂ අමුත්තන් අසුන්ගත කරන ලෙසයි. ඇයි මම රඟපාන්නේ නැද්ද? නෑ අද ඒ චරිතය රඟපාන්නේ කරුණාරත්න අමරසිංහයි. මුල් දර්ශනය නැරඹීමට පැමිණි මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් ලංකාදීප පත්‍රයට ගැහැනියක් නාට්‍යය ගැන ලියූ ලිපියේ මෙසේ සඳහන් විය. “කෙතරම් මුග්ධ වූ ප්‍රේක්ෂක සමූහයක් වුවද සමාධියට සම වැද්ද ගැනීමේ හැකියා ඇති බව සතිස්චන්ද්‍ර එදිරිසිංහ ගේ රඟපෑමෙන් ප්‍රත්‍යක්ෂ විය.” මහාචාර්ය සරච්චන්ද්‍රයන් එවැනි ප්‍රකාශයක් මිය යන තෙක් ම කිසිදු රංගන ශිල්පියෙක් ගැන හෝ ශිල්පිනියක් ගැන ලියා නැත. මගේ රංගන ජීවිතයට ඒ සහතික ප්‍රමාණවත්. ඒ සතර සවිය හෙවත් සරස්වතී දේවිය‍ගේ ආශිර්වාදය ලත් අවස්ථාවකි.

ලබන සතියට...

Comments