
ITN නාළිකාවේ 38 වැනි සංවත්සරය ඉකුත් 05 වැනිදාට යෙදී තිබුණු අතර, එය සංවත්සර සතියක් ලෙසින් දියත් කිරීමට කටයුතු යොදා තිබුණා. ඒ පිළිබඳව ITN විධායක නිලධාරී ප්‍රවීණ මාධ්‍යවේදී චන්දන තිලකරත්න මහතා සමඟ කළ සම්මුඛ සාකච්ඡාවයි මේ.
ITN නාළිකාවේ 38 වැනි සංවත්සරයේ උත්කර්ෂය කෙසේද?
ඔව්, අපි සංවත්සර සතියක් ලෙසින් ITN සංවත්සරය සැමරුවා.එහිදී ITN ආදි කර්තෘවරුන් පිළිබඳ ස්මරණයත් , ITN ගමන් මගේ ඉතිහාස ආවර්ජනයත් සමගින් අපේ ඉදිරි ගමන් මගේ ආරම්භයත් සනිටුහන් කළා.අපි 05 වැනිදා සිට 11 වැනිදා දක්වා වැඩසටහන් රාශියක් සිදුකළා. සංවත්සර සතිය ආරම්භ කළේ බෝධි පූජාවකින්. 06 වැනිදා කතෝලික වැඩසටහනක් .07 වැනිදා හින්දු ආගමික වැඩසටහනක්, 08 හා 09 දින දෙකෙහි තන්තිරිමලේ පුස්තකාලය හදන වැඩසටහනතක් හා වියළි ආහාර බෙදා දීමත් සිදුකළා.
එහිදී ITN ආදි කර්තෘවරුන්ට පින් පැමිණිවීමේ පිංකමක් හා ආලෝක පුජාවක් කළා.10 වැනිදා පොසොන් දන්සල හා වෛද්‍ය සායනය දියත් කළා. ලබන 14 වෙනිදා අපේ අලුත් පරිපාලන ගොඩනැගිල්ල අතිගරු ජනාධිපතිතුමා අතින් විවෘත කිරීමට බලාපොරොත්තු වෙනවා. එහිදී HD බස් එකත් HD මැදිරියත් විවෘත වෙනවා. මෙලෙස අවුරුදු 38ක ස්වාධින රූපවාහිනී සේවයේ ප්‍රගමනය අපේ නාළිකාවේ ශ්‍රමය හා මූල්‍යමය සම්පත් මත අපි ඉදිරියටත් සුපුරුදු ලෙස පවත්වාගෙන යනවා.
ITN නිල ලාංඡනයේ වෙනසක් සිදුවුණා නේද?
ඔව්,අපි ITN ලාංඡනයේ යම් වෙනසක් සිදුකළා.ගුරුගේ මහත්තයා ගෙනාපු අකුරු තුන අපි ආයිමත් ලස්සන කරලා ගෙනාවා. අදට වුවමනා ලෙස ගැළපෙන ලෙස එය සකස් කළා. මොකද ITN නම වෙළෙඳ නාමයක් ලෙස ඉදිරියට ගෙනයාමට අවශ්‍යයයි. ස්වාධීන රූපවාහිනිය සතුවTV චැනල් දෙකක් හා RADIO චැනල් දෙකක් තියෙනවා.ඒ හැම එකක්ම ITN යන නාමයට ගෙනාවා.
විශාල ප්‍රවර්ධන ලාභය වගේම පහසුවකුත් තියෙනවා. තවත් කරුණක් තමයි එකම නමක් යටතේ වැඩ කරන සේවකයන්ගේත් හොඳ සම්බන්ධීකරණයක් දකින්නට පුළුවන්. මේ විදියට එකම නාමයකින් එකම සේවක පිරිසකගෙන් හා ආර්ථික ඵලදායිතාවයෙන් වෙළෙඳ නාමයක් ලෙස ඉස්සරහට යාමේ වැඩපිළිවෙළක් වෙනවා.
පසුගිය කාලයේ වැඩසටහන්වල වෙනසක් දැක්කා.මොකක්ද ඒ වෙනස?
ඇත්තෙන්ම ඔව්.ITN සභාපති සමන් ආතාවුදහෙට්ටි මහත්මයාගේත් අදහස් හා යෝජනා මත නව්‍යකරණයෙන් යුතු වැඩසටහන් නිර්මාණය වුණා. ඇත්තටම ITN කියන්නේ පවුලේ නාළිකාවයි. ඉතිං පවුලේ සිටින ආච්චි, සීයාට වගේම smart phone අතේ තියන් ඉන්න තරුණ තරුණියන්ටත් ආමන්ත්‍රණය කිරීමේ වුවමනාව මත පවුලේ නාළිකාව කියන වගකීම දරාගෙන අපි නව්‍යකරණය වුණා. සොඳුරු ආඥාව,youth with talent, ‘අකු රූ‘, ‘සූර්යය මංගල්‍යය ‘වැනි වැඩසටහන් ගෙන ආවා වගේම ටෙලිනාට්‍ය සංස්කෘතියේද යම් වෙනසක් සිදුකළා.
Youth with talent හා සොදුරු ආඥාව ප්‍රේක්ෂක ආකර්ෂනය දිනාගත් ජනප්‍රිය වැඩසටහන් වගේම හරවත් වැඩසටහන් වුණා.මොනවද මෙහි අරමුණු?
Yoth with talent කියන්නේ reality වැඩසටහන් අතර නමගිය වැඩසටහනක්. සැබෑ දක්ෂයින් බිහිකරපු තැනක්.ඔවුන්ගේ හැකියාවට ජාත්‍යන්තර ඉල්ලුමක් බිහිකරපු වේදිකාවක් වුණා.තව කෙනකුට ආදර්ශයක් හා වෘත්තීය ජීවිතයක් තිළිණ කළ වැඩසටහනක් වුණා. තරුණ නැගිටීමට අත්වැලක් වුණ වැඩසටහනක්.
කියන්න සතුටුයි Youth with talent කිරුළ දිනාගත් සැබෑ දක්ෂයා අද එයාගෙම circus කණ්ඩායමක් පටන් අරන් ඒ කලාව ඉස්සරහට ගෙන යනවා. අපි මේ වැඩසටහන පටන් ගත්තේ ජාතික තරුණසේවා සභාව සමග අත්වැල් බැඳගෙන.Youth with talent පිටුපස ගමට කෝටියක් කියන දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියක් දියත් වුණා.මේ හැම දෙයක්ම තරැණයන්ට අත්වැලක් වීම තමයි අපේ අරමුණ වුණේ. සොඳුරු ආඥාව ගැන කියනවනම් එය වේදිකා නාට්‍යයට අත්වැලක් සපයන අපේකම තැවරුණු වැඩසටහනක්.
වේදිකා නාට්‍යය ශිල්පීන් හා වේදිකා නාට්‍යයේ හෙට දවස වඩා යහපත් කිරීමයි අපේ අරමුණු වුණේ. අකුරු වැඩසටහනින් අපි පොත් ගැන කතා කරනවා. එය අපි ගෙන එන්නේ වෙනස්ම අත්දැකීමක් ලෙසින්. සුර්ය මංගල්‍යය නමින් සිංහල දමිළ අලුත් අවුරුදු උත්සවයක් නිර්මාණය කළා මුහුදේ සිට.ඒක අපේ ප්‍රේක්ෂකයින්ට නවතම අත්දැකීමක් වුණා.ලංකාව වටේ ස්ථාන පහකින් කරෛයි නගරය,ත්‍රිකුණාමලය, බුස්ස, කොළඹ මුහුදේ සිට නැවක නැගලා අවුරුදු නැති අයට අපි අවුරුදු උලෙළක් සංවිධානය කළා. අනිවාර්ය සේවයට වාර්තා කළ යුතු නාවික හමුදාවේ අපේ සහෝදරයන්ට.
මෙතෙක් කිසිම රූපවාහිනි මාධ්‍ය ආයතනයක් නොකළ වැඩක්. එය ශ්‍රේණිගත කිරීම් වලට අනුව වැඩිම අගයක් ලබපු වැඩසටහනක් වුණා වගේම තාක්ෂණික වශයෙන් විශාල ජයග්‍රහණයක් ලබපු වැඩසටහනක් වුණා. ඉතිහාසයේ පළමු වතාවට පැය 13 ක සජීවි වැඩසටහනක් ලෙසින් ගෙන ආවා මුහුද මැද්දේ ඉදලා VHF link එකෙන්.
ඔබ ITN නාළිකාවේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස ඉහළ නිලතලයක වගකීම ඇතිව කටයුතු කිරිමේදී ඔබේ මාධ්‍ය ජීවිතයේ අත්දැකීම් හා පරිණතභාවය කොහොමද දායක වුණේ? ඔබේ ආගමනය කෙසේ සිදු වූවක්ද?
මම ITN නාළිකාවට එන්න ඉස්සෙල්ල හිටියෙ චීනයේ.අවුරුදු 05ක් චීන ජාත්‍යන්තර ගුවන් විදුලියේ සිංහල අංශයේ උපදේශකයකු හැටියට හිටියා. ඒක ජීවිතයේ සංධිස්ථානයක් වුණා. රටවල් 60 ක 70 ක පමණ ජනමාධ්‍යවේදීන් විශාල ප්‍රමාණයක් සමග එකම සංකීර්ණයක ජිවත් වුණා. දැක්ම වෙනස් වුණ වෙනස් සංස්කෘතියක ඉඳල තමයි ආවේ.
එහිදී ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයකු ලෙසයි මම වැඩ කළේ. ඒ වකවානුවේදි මට චීන මහජන සමූහාණ්ඩුවේ විදේශ විශේෂඥ කාර්යාංශය මගින් “ඉහළ පෙළේ විශේෂඥ උපදේශක“ ගෞරව සම්මානය පිරිනැමුවා. ඒ කාලයේ අපේ සභාපතිතුමා නිතර චීනයට යනවා එනවා. ආවම මාත් එක්ක තමයි ඉන්නේ. සමන් අතාවුද හෙට්ටි කියන්නෙ මාධ්‍යයේ අපේ ජ්‍යෙෂ්ඨයෙක්.. ඉතිං එතුමා කිව්වා දැන් ඔහෙ හිටිය ඇති එන්න කියලා. එතුමගේ ආරාධනාවක් පිට මම ITN එකට ආවා. චීනෙට මම යන්න කලින් සත් FM එකේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස වැඩ කළා.
දේශපාලන හේතුවක් මත මම විදෙස්ගත වුණා. මගේ ආරම්භය ගත්තොත් 1984 ගුවන් විදුලි සංස්ථාවේ සහන නිවේදකයකු ලෙසයි මම පටන් ගත්තේ. කලකදී පෞද්ගලික නාළිකා ජාතික ගුවන් විදුලිය අභිබවා යාමක් දක්නට තිබුණා. ඒකට විකල්පයක් ලෙස ගුවන් විදුලියේ ඉන්න දක්ෂයෝම අරගෙන පෞද්ගලික මුහුණුවරකින් ‘ ලක්හඬ‘ ගුවන් විදුලිය ආරම්භ කළා. එහිදි මම ලක්හඬ වැඩ කළා. පසුව ලක්හඬ ITN එකට එකතු වුණා. එහෙම තමයි මම ITN එකට ආවේ 1996 දි.
පසුව යම් යම් අර්බුදකාරී තත්වයක් මත නැවත මම හිරු FM එකේ ප්‍රවෘත්ති අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළා.ආපසු ආණ්ඩු මාරුවිල්ලත් සමග මට නැවත ආරාධනාවක් ආවා ලක්හඬ විධායක සහකාර කළමනාකාර ලෙසට. එයිනුත් පසුව ආපසු දේශපාලන වෙනස්වීම් මත ඇසුර FM එකේ GM වෙලා සත් FM ගියා. ඕක තමයි මගේ ගමන් මඟ. ඒ තිබුණ පන්නරයත් චීන සංචාරයේ අත්දැකීමත් මත අද මේ කටයුත්ත කරගෙන යනවා.
පසුගිය ගංවතුර ආපදා තත්වයේදී ITN නාළිකාව විශේෂ සමාජ ආපදා සහන සේවාවක් දියත් කළා.ජාතික නාළිකාවක් ලෙස ඔබේ සහයෝගය කෙසේ වීද?
ITN ආපදා සහන කේන්ද්‍රය අවතැන් වුවන්ට ආධාර විතරක් ලබා දී බලාසිටියේ නෑ. අපි වෛද්‍ය සායන, දැනුවත් කිරීම්, මේ තත්වය තුළ මානසිකව වැටුණ අයව දිරිගැන්වීම්, උදව් වුවමනා අයට අවශ්‍ය සම්බන්ධීකරණයන් ආදී සියල්ල වෙනුවෙන් පෙනී හිටියා ජාතික නාළිකාවක වගකීම දරමින්.
ITN නාළිකාවේ ඉදිරිය කෙබඳු වේද?
විශාල වෙනස්කම් රැසක් එක්ක නව්‍යකරණයෙන් සාරධර්ම රැකගෙන පවුලේ නාළිකාව ලෙසින්ම පෙනී සිටිනවා. ජනමාධ්‍යයක කාර්යභාරය සමග මාධ්‍ය ආචාර ධර්ම රැකගෙන විනෝදාස්වාදය සමගින් හරවත් දෑ තිළිණ කිරීමට බලාපොරොත්තු වෙනවා.
ඔබ ආයතනයේ කාර්යය මණ්ඩලය ගැන සඳහනක් කළොත්?
අපිට නිර්මාණශීලී මිනිසුන් පිරිසක් ඉන්නවා. අවශ්‍ය නිදහස,මඟපෙන්වීම හා අවස්ථාව ලබා දීමයි අපි කරන්නේ. ඔවුන්ගේ කැපවීම මත හා දක්ෂතා මත ITN එක හැමතැනම තෝරාගත් නාළිකාව ලෙසට පත්වෙලා තියෙනවා. නම්‍යශීලි නිර්මාණාත්මක සේවක මඬුල්ල නිසා ITN කවදත් ඉදිරියෙන් සිටිනවා.