
පිය මඟ යන පුතු
පරම්පරාවෙන් පරම්පරාවට කලා ලෝකයේ කිරුළු පළදන්නට යමකුට හැකිනම් එය සැබෑම වාසනාවක්. එලෙස පිය උරුමයෙන් කලාවට අවතීර්ණව සිටින ඔහු චමිල ප්‍රියන්ත කුලරත්නයි. රංගනයට තවමත් ආගන්තුක නමක් වුවත් චමිල වසර ගණනාවක කලා ක්ෂේත්‍ර යේ අත්දැකීම් ඇත්තෙක්. ඔහු පසුගිය දා අප අතරින් වියෝ වූ සිරි කුලරත්න නම් ප්‍රවීණ අධ්‍යක්ෂක, ගීතරචක, තිර රචකයාගේ වැඩිමහල් පුතණුවන්ය. චමිල පියා ගිය මග යමින් මේ වන විට කලා ක්ෂේත්‍රයට එක්ව සිටියි.
‘මම කලා ක්ෂේත්‍රයට අත්පොත් තබන්නේ මගේ පියා අධ්‍යක්ෂණය කළ ‘රිදී තැල්ල ‘චිත්‍රපටයේ ළමා නළුවකු ලෙස රඟපාමින්. ඉන්පසුව තාත්තාගේ අධ්‍යක්ෂණයන් වූ වස්තුව, සිකුරු දසාව, නිළියකට පෙම් කළෙමි,සුබෝධා, පොඩි රළහාමි, අනුරාධා, වීදියේ වීරයා, රාස්ස කැලේ, වැනි චිත්‍රපට 15ක පමණ ද හරිම හපන්නු, පෙර නිමිති, සතුරෝ, භූත වස්තුව, සුබ ප්‍රාර්ථනා, වැනි ටෙලි නාට්‍යවලට ද මගේ දායකත්වය මම ලබා දුන්නා. ඒ අතර සහාය අධ්‍යක්ෂණයෙන් වගේම රංගනයෙනුත් දායක වූ චිත්‍රපට සහ ටෙලි නාට්‍යය ද වනවා. විවිධ පෞද්ගලික හේතුන් මත රංගනයෙන් යම් කාල සීමාවක් දුරස්ව සිටින්නට මට සිදු වුණා. නමුත් මගේ පියාගේ කැමැත්ත වුණේ මම මේ ක්ෂේත්‍ර යෙන් ඉදිරියට යනවා දකින්නයි. වසර කිහිපයක්ම රොහාන් වැලිවිට මහතාගේ චිත්‍රපට අංශයට මගේ දායකත්වය ලබා දුන්නා. මේ වන විට ප්‍රවීණ රංගවේදී සනත් ගුණතිලකයන් අධ්‍යක්ෂණය කරන මංගල තෑග්ග ටෙලි නාට්‍යයට මගේ දායකත්වයත් ලබා දෙනවා. ඒ වගේම මගේ පියාගේ සිහිනයක් වූ රාස්ස කැලේ -2 නිර්මාණය කිරීමට මගේ ලොකු ආසාවක් තිබෙනවා. එනිසා කලා ක්ෂේත්‍ර යට දායක වෙලා අත්දැකීම් ලබමින් දුර ගමනක් යන්නයි මගේ බලා පොරොත්තුව.
යම රජ්ජුරුවන්ගේ දුව
තාරුකා වන්නිආරච්චි මේ දවස්වල ජනප්‍රියම නිළියක්. ඇය රංගනයෙන් දායක වූ චිත්‍රපට වගේම ටෙලි නාට්‍යත් මේ දිනවල ප්‍රේක්ෂකයන් අතර කතාබහට ලක් වෙනවා. කොහොම වුණත් තරුකා නවතම චිත්‍රපටයක අපූරු චරිත නිරුපණයක නියෙලෙන පුවතක් අපිට ආරංචි වුණා. මේ ගැන ඇගෙන්ම අපි විමසා බැලුවා.
‘මම රංගනයෙන් දායක වෙන නවතම චිත්‍රපටය තමයි‘රීලෝඩ්‘.එය අධ්‍යක්ෂණය කරන්නේ සුසන්ත ධර්මප්‍රිය. ‘ඇමැතිවරයෙක් අපායට යනවා. අපායට මේ තරමටම මිනිස්සු එන්නෙ ඇයි කියල හොයල බලන්න යම රජ්ජුරුවො තමන්ගේ දුවව මනුස්ස ලෝකෙට එවනවා. ඒ හා බැඳුණු අපූරු සංසිද්ධින්වලින් මේ චිත්‍රපටය යුක්තයි. මම රඟපාන්නේ යමරජ්ජුරුවන්ගේ දුව විදිහට. එය මට අලුත්ම අත්දැකිමක්. මගේ ප්‍රේක්ෂකයන්ටත් අලුත්ම අත්දැකීමක් වේවි.
මහී පූජා ගයන ගයන්ත
කඳු මුඳුනින් බැස ගලනා දිය කද
මිහිකත සරුකරවා...
ගහකොළ කෙත්වතු වනපෙත් සුරකී
විලස මහී පූජා...
මේ ගී පද වැල් අප දෙසවන වැකෙන්නේ මේ දිනවල ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වන මහීපූජා ටෙලි වෘත්තාන්තයෙනි. මහී පූජා ගැන කවුරුත් කතා බහ කරන්නේ එය පරිසරය තේමා කරගනිමින් නිර්මාණය වූ ටෙලි නාට්‍යයක් නිසයි. අපූර්වත්වයෙන් යුතුව ගැයෙන මෙහි තේමා ගීතය ගායනා නරන්නේ නව පරපුරේ දක්ෂ නිර්මාණ ශිල්පියකු වන චන්දන ගයන්ත ලියනගේ විසින්. ඔහුට ගායනයෙන් සහාය වන්නේ සන්ධ්‍යා විජේසුන්දරයි. මේ ගීතය සංගීතවත් කර ඇත්තේ ප්‍රවීණ සංගීතවේදී නන්දසේන කටුවාවලයන්. මේ ගීතය ගැන වගේම සංගීත දිවිය ගැන ගයන්ත අප සමඟ කතාබහ කළා.
‘ මම සංගීතයට අත්පොත් තබන්නේ පාසල් අවධියේයි. මගේ වැඩිමල් සහෝදරයා අතුල ගජබා ලියනගේ. ඔහු සංගීතයට ඉතාම ළැදියි. ඔහු සංගීත භාණ්ඩ හසුරුවන ආකාරය අනූව මමත් සංගීතය හදාරන්න නැඹුරු වුණා. ඉන්පසුව නන්දසේන කටුවාවල සංගීතවේදියා මට මුණ ගැහෙනවා. ඒ අනුව ඔහු ගෙන් මහී පුජා ගීතය ගායනා කරන්න අවස්ථාව හිමි වෙනවා. ඒ ගීතයට හුඟක් හොඳ ප්‍රතිචාර ලැබුණා. තවමත් ලැබෙනවා. ඒ රසික ප්‍රතිචාර නිසාම මම ‘සිතුවාද හැරයන්න කිඳුරී ඔයා -මඟ බලන හැම තැනම ඔබ නැවතුණා‘ කියන මගේ දෙවැනි ගීතයත් රසිකයන් අතට පත් කළා. එහි ගී පද , ගායනය මගේ. මේ ගීතයත් සංගීතවත් කළේ ප්‍රවීණ සංගීතවේදී නන්දසේන කටුවාවලයන්. මේ වන විට එයට ත්‍රිශූල දීප තඹවිටයන් විෂුවල් එකකුත් නිර්මාණය කර අවසන්. අද මම මේ පැමිණි ගමන ගැන ඇත්තටම තෘප්තිමත්. මම ඉගෙන ගත්තේ මාතලේ කැප්පෙටිපොළ විදුහලේ. මේ වනවිට මම මෝස්තර නිර්මාණ ශිල්පියෙක් ලෙස කටයුතු කරනවා. ඉදිරියේ දී මගේ නවතම නිර්මාණ කිහිපයක්ම රසිකයන් අතට එක් කරන්නට බලාපොරොත්තුවෙනවා. ඒ වගේම සංගීතය, ගායනය ඔස්සේ රටට කීර්තියක් අත් කර දීමයි මගේ පැතුම.
කුමාරට ශල්‍යකර්මයක්
පසුගිය දවස්වල ජනප්‍රිය කලාකරුවෙක් ශල්‍යකර්මයකට ලක් වූ පුවතක් අපිට දැන ගන්නට ලැබුණා. ඔහු ප්‍රවීණ සටන් නළු කුමාර රණපුර. මේ වන විට සුවය ලබමින් සිටින කුමාරගේ සුවදුක් සොයා බලන්නට අපි ඔහුට කතා කළා. ‘පසුගිය දවසක මට හදවත් ශල්‍යකර්මයක් සිදු කළා. දැන් නම් සුවයි. මේ දවස්වල නිවෙසට වී කාලය ගත කරනවා. ශල්‍යකර්මය අතරතුරත් මට හාට් ඇටෑක් එකක් ආවා. ඒත් ඒ සියලු දේ සමනය කරමින් මාව සුවපත් කළ වෛද්‍ය වසන්ති රත්නායකටත් කොළඹ ජාතික රෝහලේ 72 වැනි වාට්ටුවේ හෙද කාර්ය මණඩලයටත් මගේ ස්තූතිය පිරිනමනවා. ඒ වගේම මා ගැන සොයා බැලූ මගේ සහෝදර කලාකරුවන්ටත් ස්තූතියි.