
1. ගාල - ගාල නම් ගවයන් ලගිනා තැන යි. ගවහල යන්නේ ම කෙටි වීමක් සේ ද මෙ වදන සලකනු ලැබේ. පාලියෙහි මේ නා අනුරූප වැ ගෝසාල යනු යෙදේ. මෙහි අග යෙදිය යුත්තේ (දන්තජ) ‘ල’ ම ය. (මූර්ධජ) ‘ළ’ යෙදීම වරදෙකි. ප්‍රකෘතිය මෙන් ම බහුවචනය ද ලෙස යෙදෙනුයේ ‘ගාල්’ යන රූපය යි. එහි (හල්) ‘ල්’ යෙදෙන බැවින් ‘ගාළ’ යන රූපය සාවද්‍ය බව ඉඳුරා ම දත හැකි වේ.
මුල් අරුත ගව හල වුව ද දැන් ඒ මඳක් වෙනස් වැ ගොස් වෙනත් හීලෑ සිවුපා සතුන් රඳවා තබන තැනුදු මෙ නමින් හැඳින්වේ. අලි ගාල, එළු ගාල, බැටෙළු ගාල යනු ඉන් කිහිපයෙකි. දැන් දැන් තව ද දුරට අර්ථ පරිණාමයට මෙ වදන පත්වැ ඇති සැටි රිය නවත්වන තැනුදු ‘රිය ගාල්’ යනුවෙන් හැඳින්වීමෙන් මනා වැ පෙනී යයි. එ නිසා ම, මෙහි මුල් අරුත ම දැක්විය යුතු විට, ගවයන් රඳවා තබන තැන ගැන ම කිය යුතු විට ‘ගව ගාල’ හෝ ‘හරක් ගාල’ හෝ යනුවෙන් වෙසෙසා කීමට සිදු වෙයි.
2. ගාලු - ගාල මෙන් ම ගාලු ද ලිවීමේ දී යෙදෙන (දන්තජ) ‘ලු’ ම ය. (මූර්ධජ) ‘ළු’ නො යෙදේ. එ හෙයින් ‘ගාළු’ යනුවෙන් බොහෝ දෙනකු බොහෝ විට ලියන, පොත්පත්, පුවත්පත් ආදියෙහි දු පළ වන වදන සපුරා වැරැදි ය. මේ (ප්‍රකෘතිය) ඒක වචන බවට පත් වීමේ දී (‘ගාල්ල’ යනුවෙන්) ‘ලු’ යනු ද්විත්ව වීමෙනුදු එ බව මැනැවින් තහවුරු වේ.
නිතර වහරෙහි දැකිය හැකි ගාළු පාර, ගාළු මුවදොර, ගාළු කොටුව, ගාළු වරාය ආදිය ද මෙ නයින් ම වැරැදි වේ. ඒ සියල්ල ද ‘ගාලු’ යි නිවැරැදි විය යුතු යි.
3. ගාඪ - සංස්කෘත තත්සමයෙකි. අග යෙදෙනුයේ (මහාප්‍රාණ) ‘ඪ’ විනා (අල්පප්‍රාණ) ‘ඩ’ නොවන බව වෙසෙසින් සැලැකිය යුතු වේ. ගාඪ ක්‍රියා, ගාඪ රීතිය ඈ තන්හි යෙදෙනු දැකිය හැකි යි. මෙහි අරුත නම් ඉතා තද, දැඩි යනු යි.
4. ගාම්භීර්ය - සංස්කෘත තත්සමයෙකි. ගාම්භීර්ය, ගම්භී ඈ ලෙසිනුදු ලියනු හැකි වේ. ගාම්භී, ගාම්භීර්ය ආදි වශයෙන් ලිවීම සාවද්‍ය වේ. ගම්භීර්ය යනුදු වැරැදි වහරෙකි. අරුත ගැඹුරු බව ඇති යනු යි (ගම්භීර යන්න ද බැලීම මැනැවි).
5. ගැණ / ගැන - ‘ගැණ’ යනුවෙන් (මූර්ධජ) ‘ණ’ සහිත ව ලියන වදන ද ‘ගැන’ යි (දන්තජ) ‘න’ සහිත වැ ලියන වදන ද දෙක ම නිවැරැදි ය. එහෙත් අරුත් දෙකෙක යෙදේ.
‘ගුණ’ යනු ගැණීම් (ගණන් කිරීම්) අරුතෙහි යෙදෙන ‘ගණ’ ධාතුවෙන් (ක්‍රියා මූලයෙන්) ඇති වන පූර්ව ක්‍රියාව යි. ‘මුදල් ගැණ බලයි’ වැනි වැකියෙක යෙදෙන්නේ ඒ ක්‍රියා රූපය යි. එහි යෙදෙනුයේ (මූර්ධජ) ‘ණ’ යනු යි.
‘ගැන’ යනුත් පූර්ව ක්‍රියා රූපයෙකි. එය ඇති වනුයේ ගැනීම් අරුතෙහි ‘ගාර’ ධාතුවෙනි. එහෙත් දැන් මෙ වදන වහරෙහි බෙහෙවින් යෙදෙනුයේ පූර්ව ක්‍රියාවක් ලෙස නො ව නිපාතයක් වශයෙනි. යමක් හෝ යමකු හෝ පිළිබඳ සබැඳි යන අරුත දෙන පිණිස ‘ගැන’ නිපාතය යොදනු ලැබේ. ‘මම ඒ ගැන නො දනිමි’ වැනි වැකියත් විමසා බලන කල එය එ අරුතින් යෙදෙන සැටි වටහාගත හැකි ය. එහි ලා යෙදෙනුයේ (දන්තජ) ‘න’ විනා (මූර්ධජ) ‘ණ’ නො වේ.
මෙ දෙකෙහි අර්ථ වෛෂම්‍යය (අරුතෙහි වෙනස) දත හැකි වනුයේ ‘ණ, න’ ෙයදුම අනුව නිසා එය ඉතා නිවැරැදි වැ කළ යුතු වේ. යට දැක්වුණු වැකිය ම ‘මුදල් ගැන බලයි’ යනුවෙන් ලියුව හොත් අරුත වෙනස් වන සැටි සැලැකීමෙන් මෙය හොඳින් වටහාගත හැකි වේ.
‘ගන්’ ධාතුවෙන් ඇති වන පූර්ව ක්‍රියා රූපය ලෙස වහරෙහි යෙදෙනුයේ ‘ගෙන’ යනු යි. එහි දු (දන්තජ) ‘න’ ම යෙදේ.