
කර්තෘ - සරත් හෙට්ටිආරච්චි පියනම
ප්‍රකාශනය - ගොඩගේ ප්‍රකාශනයකි
ගැටුම් නිරාකරණය වර්තමාන ලෝකයේ බොහෝ දෙනෙකුගේ කතාබහට නිතර හසුවන මාතෘකාවකි. එය කොතරම් ජනප්‍රිය ගැඹුරු විෂයක්ද යන්න වඩාත් වැටහෙන්නේ එය විශ්වවිද්‍යාල සිසුන්ගේ විෂය පථයට ද එක්වීමෙනි. වර්තමාන ගැටුම් නිරාකරණ විෂයෙහිලා අදාළ විෂය ප්‍රගුණ කොට එහි පරතෙරට ගිය ලෝක ප්‍රකට විද්වතුන්, මහාචාර්යවරුන් විශාල ප්‍රමාණයක් බිහි වී ඇත. පවුල නමැති ඒකකයේ සිට ජාත්‍යන්තර තලය දක්වා පුළුල් පරාසයක විවිධ මට්ටමේ ගැටුම් සුළු පරිමාණ හා මහා පරිමාණ වශයෙන් ලෝකය පුරා ව්‍යාප්ත වී ඇත.
ගැටුම්වල මේ වර්ධනීය තත්ත්වය හමුවේ ගැටුම් නිරාකරණය පිළිබඳ ක්‍රම ශිල්ප අධ්‍යයනය කරන්නට ද අදාළ විෂය ක්ෂේත්‍රය පිළිබඳ උනන්දුවක් දක්වන විද්වතුන් පෙලඹී තිබීම දක්නට හැකිය. මෙකී ගැටුම් විසඳීම සහ ඔවුන් නිරන්තර සාකච්ඡා කරන මූලාශ්‍රය හා නිදසුන් අපට හමුවන්නේ බටහිර සමාජයෙනි. ශ්‍රී ලංකාවේ පැවැති සිවිල් යුද්ධයේදී, ජනවාර්ගික ගැටලුවලදී ද මෙකී ජාත්‍යන්තරයේ විසඳුම්කරුවන් හෝ පහසුකම් සපයන්නන් ගෙනෙන ලද නිදසුන් සහ ආකෘතීන් සියල්ල ද බටහිර රටවලින් ගෙනෙන ලද ඒවාය.
නමුත් ශ්‍රී ලංකාව වසර 2500 තරම් පැරැණි බුදු දහමින් පෝෂණය වුණ රටක් බව ඔවුනට අමතකව ගියා විය හැකිය. මෙම අමතක වීම මඟ හැරවමින් පන්සිය පණස් ජාතක පොතේ එන ගැටුම් නිරාකරණ ක්‍රමවේද පිළිබඳව සමාජ විද්‍යාත්මක දෘෂ්ටි කෝණයෙන් (Sociological Perspective) සාකච්ඡා කිරීමට ශ්‍රී ලාංකේය මවුබිමේ උපත ලබා මේ පොළොවේම හැදී වැඩී උසස් අධ්‍යාපනය හැදෑරූ කිතුනු පියතුමෙකු ඉදිරිපත් වීම අපටත්, රටටත් ආඩම්බරයකි.
එතුමා සරත් හෙට්ටිආරච්චි පියතුමා ය. බෞද්ධ පියකුට දාව කිතුණු මවකගෙන් උපත ලැබූ එතුමාට ආගමික සහජීවනය සම්බන්ධයෙන් ඇත්තේ උපතින් එන උරුමයකි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධියත්, කැලණිය විශ්වවිද්‍යාලයෙන් සමාජීය විද්‍යාපති හා දර්ශනපති උපාධිත්, ඉන්දියාවේ සෙරැම්පෝ විද්‍යාලයෙන් දේවධර්මවේදී උපාධියත් ලැබූ එතුමා පන්සිය පණස් ජාතක පොතට පෙම් බැඳි විද්වතෙක් හැටියට මා හඳුන්වන්නේ දර්ශනපති උපාධිය සඳහා සමාජ විද්‍යා විෂය ධාරාව යටතේ පන්සිය පණස් ජාතක පොත පිළිබඳව අධ්‍යයනයක් කළ ශ්‍රී ලාංකේය එක ම කිතුනු පූජකතුමා වන බැවිනි. බොහෝ විද්වතුන් අප දැක ඇත්තේ අදාළ විෂය සම්බන්ධව ශාස්ත්‍රීය හැදෑරීමක් පමණක් කරන අය ලෙසය.
නමුත් සරත් පියතුමා පොතට පමණක් සීමා වූ විද්වතෙක් නොවේ. මා ඇතුළු භික්ෂුන් වහන්සේලා සමඟ කරට කර සිටිමින් ශ්‍රී ලංකාවේ අඳුරු දශක තුන තුළ පැවැති යුද්ධය නිමා කිරීමට එතුමා එකට කටයුතු කළ අයෙකි. තම අපහසුතා සියල්ල පසෙකලා වන්නියේ මහා වනාන්තර තුළ, මඩු පල්ලිය, මල්අවි, කිලිනොච්චියේ එල් ටී ටී ඊ මූලස්ථානයේ, යාපනය විශ්වවිද්‍යාලයේ දිගින් දිගට අවි අතැති අය සමඟ සාකච්ඡා කළේ ශ්‍රී ලාංකේය ජන සමාජයේ ලේ වැගිරීම් නවතා රටේ සියලු කොටස්වලට සාමයෙන් ජීවත්වීම සඳහා සාමකාමී රටක් ඇති කිරීමටය. යුද්ධයේ අවසාන දින කිහිපය තුළ මා හා සමඟ යුද්ධ ටැංකියට නැඟී සටන්බිමේ සිටින ත්‍රිවිධ හමුදාව ශක්තිමත් කිරීමට යුද්ධ පිටියට ගියේ තම ජීවිත අවදානම ගැන නොසිතාය.
පන්සිය පණස් ජාතක පොත සහ ගැටුම් නිරාකරණය නමැති සමාජ විද්‍යාත්මක ග්‍රන්ථය රචනා කිරීමේදී එතුමා අදාළ විෂය කරුණු සියල්ල පොත්පත් පරිශීලනය කිරීමෙන් මෙන්ම ප්‍රායෝගික ජීවිතයෙන්ම ලබා ගැනීම තුළ මෙම ග්‍රන්ථය සාර්ථක වී ඇති බව මම විශ්වාස කරමි.
එමෙන්ම ශ්‍රී ලාංකේය කිතුනු පූජක තුමෙකු පන්සිය පණස් ජාතක පොත පිළිබඳව සමාජ විද්‍යාත්මක ග්‍රන්ථයක් එළිදක්වන ප්‍රථම අවස්ථාව මෙය බව මම ඉහත පැවසුවෙමි. නමුත් මට කීමට ඊටත් වඩා එහායින් ගිය සුවිශේෂ හේතුවක් ඇත.
අප හිතවත් සිරිසුමන ගොඩගේ මැතිතුමා සරත් හෙට්ටිආරච්චි පියතුමාට මෙම ග්‍රන්ථය මුද්‍රණද්වාරයෙන් එළිදැක්වීම සඳහා ආරාධනා කළේ විශේෂ හේතුවක් සහිතවය. අප බොහෝ භික්ෂුන් වහන්සේලා මෙන්ම හින්දු හා ඉස්ලාම් පූජකවරු ආදරය දක්වන සරත් හෙට්ටිආරච්චි පියතුමා මේ දිනවල Multiple Myeloma නමැති තරමක් භයානක රුධිර පිළිකා තත්ත්වයකින් පීඩා විඳිමින් සිටියි. වෛද්‍ය විද්‍යාවේ පිළිගැනීම අනුව මෙය සුව කළ නොහැකි රෝගයකි. ජීවත්වන කෙටි කාලය ජීවත්වීමට ද ඇති විශාල මුදලක් ප්‍රතිකාර සඳහා වැය කිරීමට සිදු වෙයි. මෙම ග්‍රන්ථයේ විශේෂත්වය නම් සරත් පියතුමා විසින් මෙහි සියලු කටයුතු කරනු ලැබුවේ රෝගී සයනයේ සිටියදීමය. නැතහොත් රෝහල්ගතව සිටියදීමය.
රෝහල් ඇඳක සිට වේදනාව හා සටන් කරමින් මෙවැනි ග්‍රන්ථයක් කිරීමට ඇති එඩිතර බව පිළිබඳව අපි එතුමා ගැන ආඩම්බර වෙමු. ආගමික සහජීවනය ඇති කිරීම අරභයා තම ජීවිත කාලය තුළ අනන්ත අප්‍රමාණ දුක් ගැහැට විඳින්නට එතුමාට සිදු විය. බොහෝ අන්තවාදීහු එතුමා විවේචනය කරමින් හිංසා පීඩා කළහ. ඉන් වැඩි දෙනා එතුමා අදහන දහමට අයත් අයය. නමුත් ඒ සෑම දෙයකටම මුහුණදීමට එතුමා තුළ චිත්ත ධෛර්යය තිබිණි. තම බාල නැඟණිය ත්‍රස්තවාදීන්ගේ දුම්රිය බෝම්බයකට ගොදුරු වූවත් එතුමා එල්. ටී. ටි. ඊ. සංවිධානයේ නායකයන් සමඟ දිගින් දිගටම සාකච්ඡාවලට ගියේ එම චිත්ත ධෛර්යය නිසාය.
රෝගී සයනයේ සිට රචනාකොට සංස්කරණය කරනු ලැබූ පන්සිය පණස් ජාතක පොත හා ගැටුම් නිරාකරණය ඓතිහාසික සමාජ විද්‍යාත්මක ග්‍රන්ථයෙන් ලැබෙන ආදායම් සරත් හෙට්ටිආරච්චි පියතුමාගේ රෝගයට ප්‍රතිකාර කිරීම සඳහා යෙදවෙන අතර අපි හැම දෙනා ගිලන්ව සිටින සරත් හෙට්ටිආරච්චි පියතුමාට තෙරුවන් සරණ පතමු.