
මහාචාර්ය නන්දසේන රත්නපාල 82 වන ජන්ම සමරුව වෙනුවෙනි.
වනාන්තරයක සඳුන් ගසක් බිහිවන්නේ ඉතා කලාතුරකිනි. එලෙස, රටක් වටින මිනිසකු රටකට බිහිවන්නේ ඉතා කලාතුරකින් ය. එවැනි රටක් වටින මිනිසෙක් 1935 මැයි මස 19 වැනි දින බණ්ඩාරවෙල කුරුකුදේ නමැති ගම්මානයේ උපත ලැබුවේ ය. මේ දරුවා පසු කලෙක මෙරට සාහිත්‍ය හා සමාජ විද්‍යා ක්ෂේත්‍රයන්හි දිදුලන තාරකාවක් බවට පත් වෙයි. ඔහු නමින් නන්දසේන රත්නපාල ය. ඔහුගේ පියා කුරුකුදේ රජයේ පාසලේ විදුහල්පති වූයේ ය. මව එම පාසලේ ම ගුරුවරියක් වූවා ය. රත්නපාල සිය ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ කුරුකුදේ පාසලෙනි. පස්වැනි ශ්‍රේණියේ දී පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වෙන රත්නපාල, පසුව පාණදුරේ ශාන්ත ජෝන් විද්‍යාලයට ඇතුළු කෙරේ.
පසු කලෙක, කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළුවීමේ අවස්ථාව රත්නපාලට උදා වේ. එම පාසලේ ශිෂ්‍යයකුව සිටි කාලයේ රත්නපාල බහුවිධ ක්ෂේත්‍රයන්හි තම හපන්කම් පෙන්වයි. ඔහු රාජකීය විද්‍යාලයේ විවාද කණ්ඩායමේ සාමාජිකයෙක් වූයේ ය. 1955 වර්ෂයේ දී රත්නපාලයෝ පේරාදෙණි සරසවියට පිවිසෙති. මේ උද්යෝගිමත් තරුණයා සිංහල විශේෂ උපාධි පාඨමාලාව හැදෑරුවේ ය. ඔහු දෙවෙනි පෙළ ඉහළ පන්ති සාමර්ථ්‍යයක් සහිත ව සිය උපාධිය සමත් වෙයි. වර්ෂ 1959 දී හෙතෙම තත් විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ කථිකාචාර්ය ධුරයකට පත්වෙයි. ඔහු 1960 ජනවාරි මස 01 වැනි දින ස්ථිර කථිකාචාර්යවරයකු වශයෙන් විද්‍යෝදය සරසවියේ සිංහල අංශයට සම්බන්ධ වේ.
1960 දසකයේ ආරම්භයේ දී ඔහු දිවයිනේ ප්‍රකට සාහිත්‍ය විචාරකයෙක් වූයේ ය. නොබෝ කලකින් නූතන සිංහල අංශයේ ප්‍රධානියා වශයෙන් ද රත්නපාලයෝ පත් කෙරූහ. නූතන සිංහල සාහිත්‍යයේ ප්‍රගමනය උදෙසා ඔහු නව පාඨමාලා ආරම්භ කළේ ය. මෙහි දී සන්නිවේදනයට අදාළ පාඨමාලාවක් ආරම්භ කිරීමට හෙතෙම පුරෝගාමි වූයේ ය. රත්නපාල සූරීහු සරසවියේ දේශන පැවැත්වීම සඳහා විවිධ මාදිලියේ විද්වතුනට ආරාධනා කළහ. රත්නපාලයන්ගේ දක්ෂ කථිකත්වයත්, විවාද ශක්තියත් නිසා නොබෝ කලකින් ඔහු සරසවි සිසුන් අතර ජනප්‍රිය වේ. වර්ෂ 1963 දී ඔහු ආචාර්ය උපාධිය හැදෑරීමට ජර්මනියට පිටත් වූයේ ය.
තරුණ රත්නපාල ජර්මනියෙන් ආචාර්ය උපාධිය ලබා ගෙන 1966 දී පෙරළා සියරට පැමිණෙයි. වර්ෂ 1972 දී රත්නපාලයෝ සමාජ හා මානව විද්‍යා අංශයට අනුයුක්ත කෙරූහ. එතැන් පටන් ඔහු සිංහල සාහිත්‍යය පමණක් නොව, සමාජ විද්‍යා විෂය ක්ෂේත්‍රය ද පෝෂණය කිරීමට වෙහෙසුණේය. රත්නපාලයන් විසින් සිංහල කවියේ පෝෂණය උදෙසා කරන ලද සේවය ඔහුගේ මෙතෙක් පළවී නැති කවි පන්තිවලින් අගය කිරීමට මේ ලිපියෙන් අපේක්ෂිත ය. කව් රස විඳීම, නූතන පද්‍ය විචාරය, කුංකුම චන්දන වැනි කාව්‍ය විචාර ග්‍රන්ථ රචනා කරමින්, රත්නපාල සිංහල පද්‍ය සාහිත්‍යයේ ප්‍රගමනයට සුවිශාල මෙහෙයක් කළේ ය. එතුමා කාව්‍ය සංග්‍රහ තුනක් ද රචනා කළේ ය. “මරණින් එහා” (1960) ඔහු විසින් පළ කරන ලද ප්‍රථම කාව්‍ය සංග්‍රහයයි. අනතුරු ව, “ආන්ත්‍රාවයි” (1973) නමින් හේ තම දෙවැනි කාව්‍ය සංග්‍රහය පළ කළේ ය. රත්නපාල සිය ජීවිතයේ අවසාන භාගයේ දී “කලවානේ සිට ලියූ කවි” නමින් කාව්‍ය සංග්‍රහයක් රචනා කළේ ය. එම කාව්‍ය සංග්‍රහය තවමත් පළ කර නැත. එහි එන පද්‍ය පන්ති කිහිපයක් විමර්ශනය කිරීම උචිත යැයි සිතේ. රත්නපාල විසින් රචිත “මහාචාර්ය සුචරිත ගම්ලත්” යන කාව්‍ය නිර්මාණය අපි රසවිඳ බලමු.
වේරම්බ වාතයෙන් වුවත්
සොලවන්නට නොහැකි
පර්වතයක් වැන්න ඔබ
ලේඛන ශිල්පයේ කෙවිටෙන්
අමන නිවටයනට තළන
රටක් පුදා වත් තම මතයෙන්
වෙනස් කළ නොහැකි
කියයි කියන්නට ඇති දේ
මුහුණට ම
රත්නපාල මේ කවි පන්තියෙන් ධ්වනිත කරන්නේ ගම්ලතුන්ගේ අදීන පෞරුෂයයි. වේරම්බ වාතයෙන් වත් සෙලවිය නොහැකි පර්වතයක් සේ යන උපමාවෙන් ගම්ලත්ගේ ඍජු බව හා එඩිතරකම අප ඉදිරියේ සිතුවම් වන්නේ ය. ගම්ලතුන්ට රටක් පූජා කළත්, ඔහුගේ මතවාද කිසිවකුට වෙනස් කළ නොහැකි ය. මෙහි රත්නපාල නව යෙදුම් භාවිත කර ඇත. “ලේඛන ශිල්පයේ කෙවිටෙන්” යන යෙදුම ඒ සඳහා දැක්විය හැකි නිදසුනකි.
විස්මිත කලාකරුවෙක්
අදීන ලේඛකයෙක්
ජාතියේ මිණි පහනක් වූ
ඇත්තෙන් ම, ගම්ලත් ජාතියේ මැණික් පහනකි. රත්නපාලයන් විසින් උපයුක්ත වචන මෙන් ම, ඒවා යොදා තිබෙන විලාසය නිසා ගම්ලත් මහා පඬිවරයාණෝ අප ඉදිරියේ පෙනෙති.
රත්නපාලගේ “උලෝ” නමැති කවි පන්තියෙන් ධ්වනිත වන්නේ තමා ආදරයෙන් හදා වඩාගත් බල්ලා මියගිය මොහොතේ ඇති වූ දැඩි කම්පනයයි. බල්ලාගේ නම “උලෝ” ය.
ඔබ මා අතහැර ගිය විට
තියුණු අසිපතකින් කැපුවා වැන්න
හදවත
ඔබ ගියා සීතල කොට
මා ගත
උණු කඳුළු හැළෙද්දී
දිය ඇල්ලකින් මෙන්
මෙහි උපයුක්ත උපමාවලින් කවියාගේ දැඩි ශෝකය පෙනෙයි. ඔහු තුළ හටගෙන තිබෙන ශෝකයේ දළ බව “තියුණු අසිපතකින් කැපුවා වැන්න හදවත” යන උපමාවෙන් ධ්වනිත වේ. “දියඇල්ලකින් මෙන්” යන උපමාවෙන් කවියා කොතරම් වේලාවක් හඬන්නට ඇත්දැයි සිතා ගත හැකි ය.
මම දනිමි යළි කිසි දිනක
ඔබ බුරන හඬ මට නෑසෙන බව
කවියා බල්ලා මියගිය බව නො කියයි. එහෙත්, එය අපට ධ්වනිත කෙරෙයි. උක්ත යෙදුම්වලින් එය ගම්‍ය වේ. 2007 අගෝස්තු මස 07 වැනි නන්දසේන රත්නපාල මහතා දැයෙන් සමුගත්තේ ය.