
පාලම
ඔහු ඉපදුණේ මීගමුවේ වුවත් ඔවුන්ගේ ගම යාපනය ය. එකල P.W.D නමින් හැඳින්වුණු ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවේ රැකියාව කළ ඔවුන්ගේ පියාණන් වන නඩරාජා බොහෝ කලක් රාජකාරි කටයුතු කළේ මීගමුවේ ය. මේ හේතුවෙන් අපේ කතානායකයා වන එන්. සෙල්වරාජා ද ඇතුළු පවුලේ සියලු දෙනා ම මැනවින් සිංහල කතා කිරීමට පුරුදු වූහ.
අද එංගලන්තයේ පුරවැසියකු වන සෙල්වරාජා වසරකට වරක් නො වරදවාම මවුබිමට එයි. වසර විසි ගණනක සිට එංගලන්තයේ පදිංචිව සිටිය ද දෙමළ මෙන් ම සිංහල බස ද ඔහුට අමතක වී නැත. ඔහු මට මුණගැසුණේ මැයි 06 වැනිදා වැල්ලවත්තේ දෙමළ සංගම් ශාලාවේ පැවති මේවන් කවි ලේඛකයාගේ පොත් දොරට වැඩීමේ උත්සවයේදී ය. මේමන් විසින් ඔහු මට හඳුන්වා දුන් සැණින් සෙල්වරාජා මා හා සිංහලෙන් කතා කරන්න පටන් ගත් විට මම පුදුමයෙන් ඔහු දෙස බලා සිටියෙමි.
“1970 දී අපේ තාත්තා අපිට නැති වුණා. ඒ වෙන තුරු අපි ජීවත් වුණේ මීගමුවේ. මුලින් ම මම ඉගෙන ගත්තේ මීගමුවේ විවේකානන්ද විද්‍යාලයේ. අද ඒක හඳුන්වන්නෙ විජයරත්න මහා විද්‍යාලය නමින්. පස්සෙ මම එස්.එස්.සී. කරන්න මීගමුවේ සාන්ත මේරීස් එකට ඇතුළු වුණා. තාත්තාගෙ මරණයෙන් පස්සෙ අපිට ආයෙත් තාත්තාගෙ ගමට යන්ඩ සිද්ධ වුණා. යාපනයේ ආනෙයි කෝට්ටේ කියන ගමේ තමා අපේ මහ ගෙවල් තියෙන්නෙ. මම ඒලෙවල් කරන්ඩ යාපනේ ජෆ්නා කොලේජ් එකට ඇතුළු වුණා.”
සෙල්වා සිය අතීත කතාව සිහිපත් කළේ එසේ ය.
“අපේ ගෙවල් ළඟ තිබුණ කෝවිලක්. මේක ගණදෙවියන්ට අයිති කෝවිලක්. ගණදෙවියෝ කියන්නෙ ඥානයට අධිපති දෙවියෙක්නේ. ඉතිං මම යාළුවන්ට යෝජනා කළා අපි එතන පුස්තකාලයක් පටන් ගනිමු කියලා. අපි ගමේ ගෙවල් ගානෙ ගිහින් පොත් එකතු කරලා පුස්තකාලය පටන් ගත්තා. විනෝදෙට වගේ කළාට මේ වැඩේ ගමේ ජනප්‍රිය වුණා. මොකද අපි ගෙවල් ගානේ පොත් අරන් යන වැඩ සටහනකුත් පටන් ගත්ත නිසා. ගෙවල්වල තිබුණු පොත් එකතු කරගත්තට පස්සේ අලුතෙන් පොත් ගන්ඩ අපි අලුත්වැඩපිළිවෙළක් දියත් කළා. ළමයින්ගෙ උපන් දිනේ දවසට පුස්තකාලයට පොත් කීපයක් පරිත්‍යාග කරන්න කියලා වැඩිහිටියන්ගෙන් ඉල්ලුවා. ඒකටත් හොඳ ප්‍රතිචාරයක් ලැබුණා.”
මේ පුංචි පුස්තකාල සංකල්පය මතු දවසක සිය ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය බවට පත් වේවියි එවකට 24 වියේ පමණ පසු වූ සෙල්වරාජා හීනෙකින්වත් සිතුවේ නැත. එහෙත් නොසිතූ දේම සිදු වන ලෝකයේ එකී පුස්තකාලය ඔහුගේ ඉරණම් ගමන තීරණය කළේ ය. සෙල්වාගේ ලොකු අක්කාගේ ස්වාමිපුරුෂයා වන ශ්‍රී විග්නේශ්වරම් යාපනයේ කාර්මික විද්‍යාලයේ ගුරුවරයෙක් විය. තම පුංචි මස්සිනාගේ කෙරුවාවල් දෙස විමසිල්ලෙන් බලා සිටි ඔහු කාර්මික විද්‍යාලයේ පුස්තකාල පාඨමාලාවක් හදාරන්නට සෙල්වාට මඟ පාදා දුන්නේ ය. සෙල්වා සිය ජීවිත කතාව මා හමුවේ දිග හරින්නට වූයේ කට පාඩමින් මෙනි.
පොතපත කෙරෙහි ඔහු තුළ ඇල්මක් ඇති වූයේ කෙසේ ද යන පැනය ද මට ඔහුගෙන් එසේ විමසීමට අවශ්‍යව තිබුණ එකකි. මා නොවෙහෙසාම සෙල්වා ඊට ද පිළිතුරු සැපයීය.
“අපේ තාත්තා පොත්පත්වලට හුඟක් ආදරය කළා. මීගමුවේ තිබුණ හින්දු වාලිබර් කියලා සංවිධානයක්. ඒකෙ තේරුම හින්දු තරුණ සංගමය. අපේ තාත්තා ඒකෙ සභාපති වෙලා හිටියා. තාත්තා රැස්වීම්වලට යන කොට මාත් තාත්තාගෙ අතේ එල්ලිලා ගියා. රැස්වීම පැවැත්වෙන කාලය අතර තුර තාත්තා මාව නවත්තලා තිබ්බෙ ඒකෙ පුස්තකාල ශාලාවේ. ඉතිං මම කළේ තාත්තා එනකන් මතක තියෙන පොත් කියවන එක. පුංචි කාලෙදිම පොත් හා පුස්තකාල ගැන ආසාවක් මට ඇති වූයේ ඒ නිසයි. ඊට අමතරව තාත්තා ගෙදරට නිතරම පොත් පත්තර අරගෙන ආවා. ඒකෙනුත් කියවීමට ආසාවක් ඇති වුණා.”
කුඩා සන්දියේ ලැබුණු ඒ නිවැරැදි මග පෙන්වීම සෙල්වරාජාගේ ජීවන මග තීරණය කරන මහා පොදු සාධකය බවට පත් වූ සැටි ඔහු තවදුරටත් මට විස්තර කළේ ය. යාපනය කාර්මික විද්‍යාලයෙන් පුස්තකාල පාඨමාලාව සමත් වූ ඔහුට යාපනයේ රාමනාදන් විද්‍යාලයේ පුස්තකාලාධිපති තනතුර ලැබිණි. තනතුර ලොකු වුව ද ඔහුට ලැබුණේ රුපි. 120 ක වැටුපකි. පසුව ඔහුට යාපනයේ සර්වෝදයේ පුස්තකාලාධිපතිකම හිමි විය. එහිදී රු. 350 ක වැටුපකට හිමිකම් කීමට වාසනාව ලැබිණි.
පොත පතට මෙන් ම තමන්ට පැවරෙන වගකීමට මහත් සේ කැපවුණු මේ උද්‍යෝගිමත් තරුණයා ගැන පැහැදුණු සර්වෝදය නිර්මාතෘ ආචාර්ය ඒ.ටී. ආරියරත්න 1982 වසරේදී සෙල්වාට ඉන්දුනීසියාවට යාමට මඟක් පාදා දුන්නේ ය. ඉන්දුනීසියාවේ මරේයුගවැන්ග් නම් දුෂ්කර ගම්මානයකට පුස්තකාලයක් හඳුන්වා දීම ඔහුට පැවරුණු අභියෝගය විය. ඔහු මෙම අභියෝගයට කෙතරම් සාර්ථකව මුහුණ දුන්නේ ද කිවහොත් මාස 6 ක් ඇතුළත ඉන්දුනීසියාවේ අධ්‍යාපන අමාත්‍ය ඩාවුඩ් යූසුප් මහතා සෙල්වාගේ ග්‍රාමීය පුස්තකාලය නැරඹීමට පැමිණ ඊට විශාල පොත් තොගයක් ද පරිත්‍යාග කළේ ය.
83 ජූලි කලබල සමය වන විට සෙල්වරාජා යළිත් යාපනයට පැමිණ සිටියේ ය. සරණාගතයන් ලෙස කොළඹින් පැමිණි සහෝදර ජනතාවට පහසුකම් සපයන ප්‍රධාන මධ්‍යස්ථානයක් බවට යාපනයේ සර්වෝදය ශාඛාව පත් විය. එම කටයුතුවල ප්‍රමුඛ කාර්ය භාරයක් ඉටු වුණේ සෙල්වා අතිනි. සෙල්වාට යාපනය විශ්වවිද්‍යාලයට අයත් එවලින් රත්නම් අන්තර් සංස්කෘතික අධ්‍යයන ආයතනයේ පුස්තකාලාධිපති තනතුර ලැබුණේ ඒ අතරතුරදී ය. එහෙත් වැඩි කල් ඔහුට ඒ රැකියාවේ නිරත වී සිටීමට නොහැකි විය. ඉන්දියානු සාම සාධක හමුදාව එහි පැමිණීමත් සමඟ සියල්ල උඩු යටිකුරු වීම ඇරඹිණ. ඉන්දියානු හමුදාව යාපනයේ සාමාන්‍ය ජනයාට මහත් හිසරදයක් බවට පත් විය. තත්ත්වය වඩාත් බරපතළ අතට හැරෙද්දී 1990 වෙසක් නිවාඩු සමයේ ඇති වූ තාවකාලික සටන් විරාමය ප්‍රයෝජනයට ගනිමින් සෙල්වරාජා සිය දරු පවුලත් සමඟ කොළඹ පදිංචියට ආවේ ය.
“මම සෙල්වගෙ නෝන මහත්තයා මුණ ගැසුණු හැටි කීවේ නැහැනේ?” එවර මට ඔහුගෙන් අතුරු ප්‍රශ්නයක් නැඟීමට සිදු විය.
“ඒකත් දැනගන්න ඕනැ ද?” සිනාසුණු ඔහු ඒ පිළිබඳ තොරතුරු හෙළි කිරීම ඇරඹීය.
“එයාගෙ නම විජයලක්ෂ්මී. මම කතා කරන්නෙ විජේ කියලා. එයා යාපනේ අපේ ගෙවල් ළඟම කෙනෙක්. එයාට සිංහල උගන්නන්න මම එයාගෙ ගෙදර ගියා. ටියුෂන් පන්තිය කෙළවර වුණේ අපේ කසාදෙන්. අපිට දරුවො තුන්දෙනයි. තුන් දෙනාම බැඳලා එංගලන්තෙ පදිංචි වෙලා ඉන්නවා” ඔහු කෙටියෙන් විස්තර කළේ ය.
සෙල්වරාජලාට එංගලන්තයට යෑමට මඟ පෑදුණේ ද විජයලක්ෂ්මීගේ සහෝදරියන් එංගලන්තයේ සිට උදව් කිරීමේ ප්‍රතිඵලයක් වශයෙනි.
1988 දී ආචාර්ය ජේම්ස් ටී. රත්නම්ගේ කෘති අලළා කෙරුණු නාමාවලී සංස්කරණය ඔහුගේ ප්‍රථම පොත විය. එම වසරේ ම ගුවන් විදුලි සාකච්ඡා එකතුවක් ද ඔහු අතින් සංස්කරණය විය. එතැන් සිට මේ දක්වා ඔහු පොත් 43 ක් පළ කර තිබේ. මෙම පොත් අතරින් 11 ක් ‘නූල් කර්ටම්’ (පොත් සම්පත්) නමින් ශ්‍රී ලාංකික දෙමළ ලේඛකයන්ගේ තොරතුරු ඒකරාශි කර දෙමළ බසින් පළ කර තිබේ. ඉංග්‍රීසි බසින් පළ කළ දෙමළ ලේඛන නාමාවලියක් හා මලයාසියානු හා සිංගප්පූරු දෙමළ සාහිත්‍යයේ තොරතුරු ඇතුළත් පොත් දෙකක් සමගින් නූල් කර්ටම් පොත් සංඛ්‍යාව 13 කි.
සෙල්වරාජා සංස්කරණය කළ ඉතිරි පොත් 28 අතරට පුස්තකාල විද්‍යාව හදාරන සිසුන් වෙනුවෙන් රචිත පොත් 7 ක්, ග්‍රන්ථ විද්‍යාවට අදාළ කෘති 5 ක් ලේඛකයාගේ පුවත්පත් ලිපි ඇතුළත් පොත් 7 ක් හා යාපනය මහජන පුස්තකාලය පිළිබඳ රචිත කෘති 3 ක් ද වෙයි. එමතු ද නොව ඔහු 1998 සිට ලන්ඩන් හි දෙමළ ගුවන් විදුලි සේවයේ දෙමළ සාහිත්‍ය වැඩසටහනක් මෙහෙයවා තිබේ. එම වැඩසටහන්වල විකාශනය වූ වැදගත් සාකච්ඡා එකතු කර පොත් 6 ක් ප්‍රකාශයට පත් කර ඇත.
සෙල්වරාජා සෑම වසරකට වරක් ම ලංකාවට පැමිණෙනුයේ ‘නූල් කර්ටම්’ පොත් පෙළ සඳහා අවැසි තොරතුරු රැස් කිරීමට ය. කිසිදු රාජ්‍ය නොවන සංවිධානයක හෝ වෙනත් ආයතනයක හෝ අනුග්‍රහය නොලබා ස්වේච්ඡාවෙන් ම ඔහු මෙම කාර්යයේ නිරතව සිටියි. ඔහු සලකනුයේ මෙය සිය රට හා සමස්ත ලාංකික ජනතාව වෙනුවෙන් ම ඉටු කරන වගකීමක් වශයෙනි.
“සැබෑ ජාතික සංහිඳියාවක් වෙනුවෙන් කළ යුත්තේ කුමක් කියා ද ඔබ සිතන්නේ?” සමුගැනීමට පෙර මම ඔහුගෙන් විමසුවෙමි.
“රටේ ජනතාව අතර සංහිඳියාව තියෙනවා. ඒක නැත්තේ දේශපාලනඥයන් අතර පමණයි. මම පුංචි කාලෙ ඉඳලම සිංහල සමාජය ඇසුරු කරන කෙනෙක්. ජාතීන් හැටියට අපි කවදාවත් ගැටිලා නැහැ. 1990 දවසක් මම බස් එකක එනකොට හමුදාව චෙක් කළා. මම දෙමළ නිසා පැත්තකට අරන් ප්‍රශ්න කරන කොට බස් එකේ හිටිය මගේ සිංහල යාළුවෝ. හමුදාවත් එක්ක තර්ක කරලා මාව නිදහස් කරගත්තා. මේ වගේ අත්දැකීම් ඕනෑ තරම් තිබෙනවා. වත්මන් ජනාධිපතිට ලෝක නායකයන්ගේ සහයෝගය තියෙනවා. දෙමළ මුස්ලිම් ජනතාවගේ විශ්වාසයත් තියෙනවා. ඒ නිසා එතුමා දුර දිග කල්පනා කරලා කල් පවතින වැඩපිළිවෙළක් සකස් කළොත් ඒක අනාගත සංහිඳියාවට ලොකු රුකුලක් වෙයි.”
පුස්තකාල ක්ෂේත්‍රයේ කැපී පෙනෙන මෙහෙවරක් කරන පුරවැසියන්ට ලන්ඩන් පුස්තකාලාධිපතිවරුන්ගේ සංගමය විසින් තෙවසරකට වරක් පිරිනමන IPRA නමැති සම්මානය දිනාගත් ප්‍රථම ශ්‍රී ලාංකිකයා ද සෙල්වරාජා ය.