ආලෝකයේ මාවත | සිළුමිණ

ආලෝකයේ මාවත

"මල්ලී, මේ ක්‍රියාව කඩදාසි වීරකමක්. ඕනෑම මෝඩකමකුට ඕනෑම වේලාවකදී නුඹව මරා දමන්නට පුළුවනි. තත්ත්වයෙන් මඟ හැරීමට ඇති එක ම ලෙහෙසි ක්‍රමයත්, බියගුලු ක්‍රියාවත් සිය පණ නසා ගැනීමයි. අමාරු වුණාම වෙඩි තියා ගන්නවා. මේ ජීවිතයේ සියලු අමාරුකම් මැඬ ජය ගන්නට නුඹ උත්සාහ කළා ද? ‍නොව්ගොරොද්වොලින්ස්කිවලදී අපි එක් දවසකදී දහහත්වාරයක් ම සතුරාට පහර දීමට ගොස් අවසානයේදී හැම බාධාවක් ම මැඬ ජයගත් සැටි නුඹට අමතක වුණා ද? වහාම පිස්තෝලය සඟවා ගනින්! ඒ ගැන කාටවත් ම කිසිමදාක කියන්න එපා. ජීවත්වීම කොහෙත්ම බැරි තරමට දුෂ්කර වූ විට පවා, ජීවත්වීමට ඉගෙන ගනින්, නුඹේ ජීවිතය ප්‍රයෝජනවත් බවට පරිවර්තනය කරපන්!"

නිකොලොයි ඔස්ත්‍රොව්ස්කිගේ 'වානේ පන්නරය ලැබූ හැටි' නම්, ඉහත සඳහන අයත් විශිෂ්ට නවකතාව විදේශ භාෂා දෙසියයකට පමණ පරිවර්තනය වූ, ජීවන ගමනේ අප්‍රතිහත ධෛර්යය හා කැපවීම මොනවට සලකුණු කරන ග්‍රන්ථයකි. වානේ මෙන් පන්නරය වූ සෙබළ සිතකින් යුත් මහා පුරුෂයකු ඔස්ත්‍රොව්ස්කි අතින් නිර්මාණය වීම විශ්ව සාහිත්‍යයේ නව පිටුවක ආරම්භය ‍නොවූයේ ද?

ජීවත්වීමට කොහෙත්ම දුෂ්කර වූ විට පවා ජීවත්වීම, වඩාත් නිවැරදි ව කියන්නේ නම් හොඳින් ජීවත්වීම ඕනෑම කෙනකුට කළ හැක්කක් නොවේ.

ජීවිතය නම් බොහෝ අවශ්‍යතා ඇති ක්‍රෑර වූ දෙයකි. ජීවිතය ඔබට ඔබේ පාඩුවේ ඉන්නට ඉඩ දෙන්නේ නැත. දැනට ඔබ ජීවත්වන්නේ ලංකාවේ වුව ද, වඩා නිදහස් යැයි කියා ගන්නා ඇමරිකාවට ඔබ ගියා යැයි සිතන්න! එහෙත් ඔබ වෙත වැටෙන පීඩනයේ නම් අඩුවක් නැත. කාලය, දේශය අනුව එහි යම් යම් වෙනස්කම් නම් වීමට ඉඩ ඇත. ඒ ලෝකයේ බහුතර අවශේෂ මිනිසුන් බඳුවන්නට, අතිමහත් දෙයක් මෙන් කුහකයකු බඳු වන්නට එසේත් නැතිනම් සැබවින් ම ඔබ අදහස් නොකරන දේ ප්‍රකාශ කරන්නට, නොකැමති දේ කරන්නට සමාජයෙන් ඔබට බලපෑම් ඇතිවෙන නිසා ය. අපට පෙර පරම්පරා ගමන්කර ඇත්තේ, ජීවත්වී ඇත්තේ ඒ මඟෙහි ය. ඔවුහු නිරන්තර ගැටුම් හා ආශාවන් නිසා දිරාපත් වූවෝ ය. ඔබ අවට සිටින මිනිසුන් දෙස බලන්න, ඒ හැම දෙනා ම ඉන්නේ එක ම විදියේ අමාරු තත්ත්වයක ය. ඒ තත්ත්වයෙන් පිට පැන්නෝ මෙන් ම, ප්‍රතික්ෂේප කළෝ ද කෙළවරක් නැති වද වේදනා විඳ මරණයට පත් වෙති. තවත් සමහරු මේ තත්ත්වය ගැන කලකිරී තවුස් අරමකට ඇතුළු වීම හෝ මහණවීම කරති. ඒ අය අතරින් බහුතරය ද මේ ද්විරූපීබව වටහා ගත නොහැකි ව නොයෙක් ප්‍රශ්නවලට මුහුණ දෙති.

අතිවිශාල පිරිස කරන්නේ තමන්ගේ දුක් වේදනාව, සතුට විඳ ගනිමින් ඔහේ ජීවත්වන්නන් වාලේ ජීවත් වීම ය. එබැවින් මේ ජීවත්වීමේ කලාව ගැන අපි එකිනෙකාගෙන් ප්‍රශ්න කර ගත යුතුව ඇත. මේ ගැටලුවට ගැඹුරින් මුහුණදීමට තරම් අපට ශක්තියක් නැතැයි කෙනකු සිතිය හැකිය. තවකෙක් මේ ජීවත් වෙන සුළු කාලයට ජීවිතය ගැන මෙතරම් ගැඹුරින් සිතිය යුත්තේ ඇයිදැයි සිතනු ඇත.

සමහර විට ඔබ ජීවත්වන්නේ කෙසේද? එය කරන්නේ කෙසේද? වැනි ප්‍රශ්න ත‍ෙවකකු වෙත නඟා ඇත. එහෙත් 'කෙසේද' යන යෙදුමේ ම ඇත්තේ තමා කළ යුත්තේ කුමක්දැයි අනුන්ගෙන් අසා දැන ගැනීමකි. එහිදී ඔබ බලාපොරොත්තු වෙන්නේ යම්කිසි මඟ පෙන්වන්නකුගේ සහයකි. එයින් සිදුවන්නේ කුමක්ද? ඔබේ නිදහස, නිරීක්ෂණ ශක්තිය, සිතිවිලි මෙන්ම ඔබේ ජීවන රටාව ද ඔබ අනෙකකු මත පැටවීමයි. එය කරන්නේ කෙසේදැයි ප්‍රශ්න කරත්ම සැබවින් ම ඔබට ප්‍රත්‍යක්ෂ දැනුමක් නැති අනුන්ගේ දැනීමෙන් පිරී සිටින මිනිසකු බවට පත්වී හමාර ය. එමඟින් ඔබ, ඔබේ අවංක බව මෙන්ම පූර්ණත්වය ද නැති කර ගනී.

ඔබ එය කරන්නේ කෙසේදැයි ඇසිය යුතු තැන් කිහිපයක් ඇති බැව් ම සිතට දැනේ. පරිගණකයක් එකලස් කිරීමේදී, මොටර් රථයක් අලුත්වැඩියා කිරීමේදී ඔබට එය කෙසේ කළ යුතු දැ යි විමසීමට සිදු වේ. එයට හේතුව ඔබ කවරකුගෙන් හෝ ඒ පිළිබඳ ඉගෙන ගත යුතු වීමයි. එහෙත් මානසික වශයෙන් නිදහස් ව නියම ස්වභාවයට පත්වීමට නම් ඔබ, ඔබේ ඇතුළත ක්‍රියාවලිය පිළිබඳ අවදියෙන් නිරීක්ෂණාත්මක ව සිටිය යුතු ම ය‍. පොත්පත් වලින් හෝ, මනෝ විද්‍යාඥයකුගෙන් හෝ බහුශ්‍රැතයකුගෙන් හෝ මහාචාර්යවරයකුගෙන් ඉගෙන ගන්නවාට වඩා නිරීක්ෂණය මඟින් ඔබට, ඔබ පිළිබඳ වඩාත් හොඳින් උගත හැකිය.

මෙය ඉතා අසීරු කටයුත්තකි. සමාජයේ බොහෝ ඊනියා සදාචාරවාදී ක්‍රෑරකම් විසින් ඔබ පාගා තළා දමන්නට මේ ස්ව නිරීක්ෂණය හේතු වනු ඇත. සැබවින් ම ඔබට එහිදී තනි ව නැඟී සිටීමට සිදුවනු ඇත. වරක් මා කළ සංලාපයකදී ආචාර්ය ගුණදාස අමරසේකරයන් පැවසුවේ තමා කරන නිර්මාණ නිසි විචාරයකට ලක් කිරීමට සමත් විචාරකයන් නැතිනම් තමා තමාට ආලෝකයක් වී තම නිර්මාණ ජීවිතය අචල ව පවත්වා ගත යුතු බවකි. තමා තමාට ආලෝකයක් වීම ජීවත් වීමේදී පැන නඟින ගැටලුවලින් අති දුෂ්කර ම ගැටලුවකි.

ජීවත්වීම සරල දෙයක් නම් නොවේ, පුද්ගලයකුට සරල චාම් දිවියක් ගත කළ හැකි වුවත් ජීවිතය නම් ඉඳුරා ම සංකීර්ණ ය; අවුල් සහගත ය. ඔබට ඇඳුම් කිහිපයක් ඇති ව, දිනකට වරක් ආහාර බුදිමින් ජීවත් විය හැකි වුවත් අප සරල, චාම් දිවිය යැයි පවසන්නේ එයට නම් නො වෙ යි. චාම් වීම යනු නිරවුල් සන්සුන් දිවියක් ගත කිරීමයි. ජීවිතයේ ඔබ කරන සිතන දෑ පරස්පරවිරෝධී නොවන්නේ නම් ඇත්තෙන් ම ඔබ ඇතුළතින් චාම් වූවකු බව නිසැක ය.

Comments