HOLLYWOOD | සිළුමිණ

HOLLYWOOD

 

බටහිර ගීත ප්‍රිය කරන රසික රසිකාවන් හමුවට අලුත් ගීතයක් පැමිණ තිබෙනවා. මේ ගීතය නම්කර ඇත්තේ ‘බෑඩ් ලයර්’ (අප්‍රසන්න බොරුකාරයා) යනුවෙන්. යොවුන් පෙළ අතර ජනප්‍රියත්වයට පත්ව සිටින සෙලිනා ගෝමස් තමයි, මේ ගීතය ගායනා කරන්නේ.සෙලීනා ගැන දන්නා උදවිය පවසන්නේ මේ ගීතය ඇය ගායනා කර ඇත්තේ සුපිරි ගායක ජස්ටින් බීබර් වෙනුවෙන් බවයි. සෙලිනා සහ බීබර් අතර පෙම් සබඳකමක් තිබුණු බව දැන් මුළු ලොවටම රහසක් නොවෙයි. 2011 සිට 2016 දක්වා වසර 5ක් තිස්සේ බීබර්ට ආදරය කළ සෙලිනා, ඉන් පසුව ඔහුගෙන් ඈත්වුණා. සෙලිනා, බීබර් වෙනුවෙන් මීට කලින් ද ගීත ගායනා කර තිබෙනවා. ‘සේම් ඕල්ඩ් ලව්’, ‘කම් ඇන්ඩ් ගෙට් ඉට්’ සහ ‘ගුඩ් ෆෝ යූ’ එම ගීතයි.

සෙලිනා සහ බීබර් අමනාප වීමෙන් පසුව යළිත් හාද වූ බවටත් යළි වෙන්වූ බවටත් ආරංචි පැතිරී ගියා. කොහොම වුණත් මේ වන විට සෙලිනා තනිවම සිටින බවයි හොලිවුඩ් මාධ්‍ය වාර්තා කරන්නේ.


‘ටයිටැනික්’ ගීතයට වසර 20 යි

‘මයි හාට් විල් ගෝ ඔන්’ (My Heart will Go on) නම්වූ ගීතය පසුගිය දශක දෙක තුළ ගීත රසිකයන් ශ්‍රවණය කළේ උන්මාදයෙන්. මේ ගීතය ගැයුවේ සුපිරි ගායිකා සෙලින් ඩියොන්. එය ඇතුළත් වූයේ අතිශය ජනප්‍රිය වූ ‘ටයිටැනික්’ චිත්‍රපටයටයි. මේ මියුරු ගීතය පටිගත වී මේ වන විට වසර 20ක් ගතවෙලා.

පසුගියදා ලාස් වේගාස් හි පැවැති බිල් බෝඩ් සම්මාන උලෙළේදී සෙලින් ඩියොන් මේ ගීතය ගායනා කළේ එහි 20 වැනි සැමරුම සිහිපත් කරමින්. ජේම්ස් කැමරන් අධ්‍යක්ෂණය කළ කේට් වින්ස්ලට් සහ ලෙනාඩෝ ඩි කැප්රියෝ පෙම්වතුන් ලෙස චරිත නිරූපණය කළ ‘ටයිටැනික්’ චිත්‍රපටයේ මේ ගීතය බිල්බෝඩ් සම්මාන උලෙළේදී සෙලින් ඩියොන් ගායනා කරද්දී ඇගේ දෙනෙතින් කඳුළු කඩා වැටුණා.

‘මයි හාඩ් විල් ගෝ ඔන්’ ගීතය මගේ ජිවිතයට විශාල ශක්තියක් වුණා. ගීතය රචනා කළ විල් ජෙනින්ස්ටන්, සංගීතවත් කළ ජේම්ස් හෝනර්ටත් මම ස්තූතිවන්ත වෙනවා. ඒ දෙදෙනා නිසා මට ‘ටයිටැනික්’ කියන අපූර්වතම චිත්‍රපටයට සම්බන්ධ වෙන්න හැකි වුණා. සෙලින් ඩියොන් වේදිකාවේ සිට එලෙස පැවසුවා.


 දෙවැනි ජේම්ස් බොන්ඩ් සමුගනී

ජේම්ස් බොන්ඩ් චරිතය මොන සිනමා රසිකයා ද නොදන්නෙ? ඉයන් ෆ්ලෙමින් කතා රචකයා සිනමා ලොවට බිහිකළ මේ චරිතය කේන්ද්‍ර කරගෙන ජේම්ස් බොන්ඩ් චිත්‍රපට රැසක් බිහි වුණා. මුලින්ම ජේම්ස් බොන්ඩ් ලෙස රඟපෑවේ ෂෝන් කොනරි. ඊළඟට මේ චරිතයට පණ දුන්නේ රොජර් මුවර්.

මේ සුපිරි රංගන ශිල්පියා පසුගියදා මෙලොවින් සමුගත්තා. 1927 ඔක්තෝබර් 14 දා රොජර් ජෝජ් මුවර් ලෙස ලන්ඩනයේ ස්ටොක්වෙල් ප්‍රදේශයේදී ඔහු උපත ලැබුවා. ඔහුගේ පියා පොලිස් කොස්තාපල්වරයෙක්. මවගේත් පියාගේත් එකම පුත්‍රයා වූ ඔහු, කුඩා කාලයේ ගත කළේ ප්‍රීතිමත් ජීවිතයක්. ‘මයි වර්ඩ් ඉස් මයි බොන්ඩ්’ නමැති සිය චරිතාපදානයෙහි මුවර් සඳහන් කළේ කවදා හෝ සිනමා ලොවට පිවිසීමේ බලාපොරොත්තුවක් තමන් තුළ තිබූ බවයි.

1940 දශකයේදී නාට්‍ය කලාව පිළිබඳ රාජකීය ඇකඩමියෙන් රංගනය හැදෑරූ ඔහු 1950 දී සිනමාවට පිවිසුණේ සහාය නළුවකු හැටියටයි. රොජර් මුවර් නාමය ලොව පතල වූයේ 1960 දශකයේදී විකාශය වූ ‘ද සේන්ට්’ නම්වූ රහස් පරීක්ෂක කතා රැගත් ටෙලි නාට්‍ය මාලාවෙන්. (මෙම නාට්‍ය මාලාව 1985 දී මෙරට ස්වාධීන රූපවාහිනී සේවයෙන් අඟහරුවාදා දිනවල රාත්‍රියේ විකාශය වුණා.) මුවර්, ජේම්ස් බොන්ඩ් ලෙස මුලින්ම රඟපෑවේ 1973 දී තිරගත වූ ‘ලිව් ඇන්ඩ් ලෙට් ඩයි’ චිත්‍රපටයේ. ඉන් පසුව ඔහු ජේම්ස් බොන්ඩ් චිත්‍රපට 6ක රඟපෑවා. පසු කාලයේදී ‘යුනිසෆ්’ සංවිධානයේ සුහද තානාපතිවරයකු ලෙස කටයුතු කළ මුවර්, 2003 දී නයිට් නාමයකින් ද පිදුම් ලැබුවා.

ඔහු සිවු වරක් විවාහ වූ අයෙක්. මේ විවාහවලින් ඔහුට පුතුන් දෙදෙනකු සහ දියණියක සිටිනවා. මුවර් අවසන් වරට විවාහ කරගත්තේ ස්වීඩන් ජාතික කාන්තාවක්. ඒ. 2002 දී.


ඩ්වේන් ජොන්සන් ජනපතිවරණයට?

මීළඟ ඇමෙරිකානු ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ බලාපොරොත්තුවෙන් පසුවන හොලිවුඩ් සුපිරි නළුවකු සිටිනවාලු. ඔහු තමයි, ඩ්වේන් ජොන්සන්. මේ පුවතෙහි සත්‍ය අසත්‍යතාව තවමත් නිශ්චිතව තහවුරු කළ නොහැකි වුණත් පසුගිය සතියේ මේ සුපිරි තරුව ප්‍රකාශ කළේ මෙවැනි දෙයක්...

“2020 දීයි මීළඟ ජනාධිපතිවරණය තියෙන්නේ. තව අවුරුදු තුනහමාරක් විතර තියෙනවා. ඉතින්, අපි බලමු මොනව වේවිද කියලා.” ඔහුගේ මේ ප්‍රකාශයෙන් පසුව හොලිවුඩ්පුරය තුළ ඇතිවුණේ කැලඹීමක්. මේ ගැන මත පළ කළ ඇතැමුන් ප්‍රකාශ කළේ ඩ්වේන් ජොන්සන් ජනාධිපතිවරණයට තරග කළහොත් ඔහුට ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාව පරාජය කළ හැකි බවයි. එවැනි මත අද පළ වුවත් 2020 දී කුමක් සිදුවේදැයි දැන් තියාම අනාවැකි කිව නොහැකි බවයි තවත් සමහරු ප්‍රකාශ කරන්නේ. 

Comments