
සුපිරි තරුව රැජ්නි කාන්ත් දේශපාලන ලෝකයට පිවිසෙන්නේ ද නැද්ද යන්න පිළිබඳව පසුගිය සති දෙක තුන තිස්සේ නොයෙකුත් පුවත් මතු වුණා. ඒ ආරංචිවල උණුසුම පහව යන්නටත් කලින් රැජ්නි කාන්ත්ට අවවාදාත්මක ලිපියක් ලැබී ඇති බව බොලිවුඩ්පුරයෙන් වාර්තා වෙනවා.
මේ ලිපිය ඔහුට ලැබී ඇත්තේ ඉන්දියාවේ පාතාල ලෝකයේ නායකයකු වූ හජ් මස්තාන්ගේ පුත්‍රයාගෙන්. සුන්දර් ශේඛර් නම් වූ ඔහු රැජ්නි කාන්ත්ට ලිපියක් ලියමින් අවවාදාත්මකව දන්වා ඇත්තේ තම පියා පිළිබඳව නිර්මාණය වීමට නියමිතව තිබෙන චිත්රපටයෙහි වැරැදි අරුතක් ජනිත වන පරිදි රඟපෑමෙන් වළකින ලෙසයි. මේ වනතුරු නමක් යොදා නොමැති මෙම චිත්රපටයෙහි හජ් මස්තාන්ගේ චරිතය රඟපෑමට තෝරාගෙන සිටින්නේ රැජ්නි කාන්ත්. පාතාල නායකයකු ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටි හාජ්ගේ චරිතය නිරූපණයේදී ඔහුගේ සැබෑ පෞද්ගලික ජීවිතයේ සිදුවීම් ද මෙමඟින් ඉස්මතු වනු ඇතැයි පැවසුණා. මේ බව දැනගත් සුන්දර් ශේඛර් එම රංගනයට එරෙහිව වහාම නීතිමය පියවර ගැනීමට ද කටයුතු කළා.
“මගේ තාත්තා මංකොල්ල කාරයෙක්, පාතාල නායකයෙක් විදිහට නිරූපණය කිරිම තාත්තගේ හොඳ නම කැළැල් කිරීමක්. තාත්තා කවදාවත් ඒ වගේ අයුතු වැඩ කරලා කිසිම උසාවියකින් වරදකාරයෙක් වෙලා නැහැ.” හජ් මස්තාන්ගේ පුත්‍රයා එලෙස පැවසුවා. ඔහුට අනුව නම් තම පියා ව්‍යාපාරිකයකු ලෙස කටයුතු කළ සමාජ සේවා කටයුතුවල ද නියැළී සිටි අයෙක්.
සුන්දර් ශේඛර් තව දුරටත් පවසන්නේ තම පියාගේ හොඳ නම රැකෙන අයුරින් මේ චිත්‍රපටය නිර්මාණය වන්නේ නම් එහි නිෂ්පාදන කටයුතුවලට සහයෝගය දීමට කැමැති බවයි.
රිතික්ගෙන් සුසෑන්ට නිවසක්
රිතික් - සුසෑන් යුවළගේ විවාහ ජීවිතය කෙළවර වීම රසික රසිකාවන්ගේ කනස්සල්ලට හේතු වුණා. බොලිවුඩ්පුරයම කළඹාලූ ඒ සිදුවීම බොහෝ දෙනකුගේ මතකයෙන් ඈත්වෙද්දී මීට මාස කිහිපයක පටන් වරින් වර ආරංචි පැතිරී ගියේ රිතික් රෝෂන් සහ සුසෑන් ඛාන් යළි හමුවන බවයි.
එක් අවස්ථාවකදී ඔවුන් දෙදෙනා දරුවන් දෙදෙනා ද කැටුව විනෝද ගමනක් ගිය බවක් ආරංචි වුණා. තවත් විටෙකදී දැනගන්නට ලැබුණේ රිතික් සහ සුසෑන් සුපිරි හෝටලයක රාත්‍රී ආහාරය ගනිමින් සිටි බවයි. කවුරුත් මේ ගැන විපරම් කළා. නමුත් ඒ සිදුවීම එතැනින් නිම වුණා. එය යළිත් යටපත්ව ගියා.
පසුගිය සතියේ බොලිවුඩ් මාධ්‍යයක් යළි වාර්තා කර තිබුණේ රිතික් සහ සුසෑන් නැවතත් රාත්‍රී භෝජනය ගැනීමට සුපිරි හෝටලයකදී හමු වූ බවයි. මේ සුන්දර හමුවට දෙදෙනාගේ දරුවන් දෙදෙනා වන එකොළොස් හැවිරිදි රෙහාන් සහ නව හැවිරිදි රෙදාන් ද එක්වූ බවයි ආරංචි. මේ නැවත හමුවීම්වල ප්‍රතිඵලයක් ලෙසින්දෝ රිතික් තවත් පියවර කිහිපයක් ඉදිරියට තබලා. ඔහු, ජුහු ප්‍රදේශයෙන් නිවසක් මිලදී ගෙන තිබෙනවා. වෙන කාට ද? සුසෑන් සහ දරු දෙදෙනා වෙනුවෙන්. මේ නිවස පිහිටා ඇත්තේ රිතික්ගේ නිවසේ සිට විනාඩි 15කින් ළඟාවිය හැකි දුරකින්. රිතික්ගේ සහ සුසෑන්ගේ දෙමවුපියන්ගේ නිවෙස් පිහිටා ඇත්තේත් මේ නව නිවසට ආසන්නයේමයි.
රිතික්, සුසෑන්ගෙන් නීත්‍යනුකූලව වෙන්වී සිටියත්, ඔහු ඇය සහ දරුවන් වෙනුවෙන් මෙවැනි කැප කිරීම් කරන්නේ කැඩුණු දීගය යළි යා කරන්නටදැයි සමහරු විමසන්නේ සතුටින්. නමුත් රිතික් පවසන්නේ එවැන්නක් සිදු නොවන බවයි. “මමවත් සුසෑන්වත් එහෙම අදහසකින් නෙමෙයි, මේ දේවල් කරන්නෙ. මේ අපි දෙන්නගෙ හැටි.” ඔහු ගේ මේ කතාවෙහි ඇත්ත නැත්ත තහවුරු වෙන්නේ තවත් මාස කිහිපයක් ගතවීමෙන් පසුවයි.
සායිෆ්ගෙන් ඉතුරු නඩත්තුව ඉල්ලයි
“මම ශාරුක් වගේ පොහොසතෙක් නෙමෙයි.” මෙහෙම කියන්නෙ ජනප්‍රිය නළු සායිෆ් අලි ඛාන්. ඔහුට මෙලෙස කියන්නට සිදු වුණේ තම පළමු බිරිය වූ ජනප්‍රිය නිළියකව සිටි අම්රිතා සිං විසින් යළි නඩත්තු මුදල් ඉල්ලා සිටි මොහොතකයි. 1991 දී අම්රිතා සිං ව විවාහ කරගත් සායිෆ් දරු දෙදෙනකුගේ පියෙකුව සිටිද්දී 2004 දී අම්රිතාව අතහැර ගියා. ඔහු, රෝසා කැටලනෝ නම්වූ නිරූපිකාවක සමඟ පෙමින් බැඳී ඇය සමඟ ටික කාලයක් ජීවත් වුණා. ඉන් පසුව ඇයව අතහැර දැමූ සායිෆ්, ජනප්‍රිය නිළි කරීනා කපූර්ව විවාහ කරගත්තා. ඒ, අම්රිතා සිං ගෙන් නීත්‍යනුකූලව වෙන්වූ පසුවයි.
අම්රිතාට සහ තම දියණියටත් පුත්‍රයාටත් රු. කෝටි පහක නඩත්තු මුදලක් ගෙවීමේ එකඟත්වයක් ද සායිෆ් මේ වෙන්වීමේදී ඇතිකරගෙන තිබෙනවා. සායිෆ් මේ වනතුරු ගෙවා ඇත්තේ එයින් රු. කෝටි 2.5 ක මුදලක් පමණයි. තම පුත්‍රයාගේ වයස අවුරුදු 18 වන තුරු මාසයකට රු. ලක්ෂය බැගින් ගෙවීමටත් ඔහු පොරොන්දු වී තිබෙනවා.
පසුගියදා අම්රිතා නැවතත් සායිෆ්ට දැනුම් දී ඇත්තේ ඉතිරි නඩත්තු මුදල ඉක්මණින්ම තමන්ට ලැබෙන්නට සලස්වන ලෙසයි. ඉන්දීය මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු මේ ගැන සායිෆ් ගෙන් විමසූ විට ඔහු කීවේ තමන් ශාරුක් ඛාන් වැනි පොහොසතෙකු නොවන බවයි.
“මම චිත්‍රපටවලින්, වෙළෙඳ දැන්වීම්වලින්, වේදිකා ප්රසංගවලින් හම්බ කරන සල්ලි මගේ දරුවන්ට ගෙවනවා. අපේ බංගලාව අම්රිතාටයි දරුවන්ටයි අයිති. මම ආවට පස්සෙ අම්රිතාගෙ නෑයොත් දැන් ඇවිත්. ඒකට කමක් නැහැ.” සායිෆ් සන්සුන්ව පැවසුවා.