සුනිල් මිහි­ඳු­කුල අද්වි­තීය සිනමා සාහිත්‍ය සම්ප්‍ර­දා­නය | සිළුමිණ

සුනිල් මිහි­ඳු­කුල අද්වි­තීය සිනමා සාහිත්‍ය සම්ප්‍ර­දා­නය

එක්දහස් නවසිය හැටේ සැප්තැම්බර් මස 22 වැනිදා උපන් සුනිල් මිහිඳුකුල 2017 මැයි මස 30 වැනිදා මෙලොව හැර ගියේ ය. ඒ අනුව ඔහුගේ ආයු කාලය වසර 56 ක් හා තවත් අට මාසයකි.

සුනිල් මිහිඳුකුල වූ කලී පුරා සිව් දශකාධික කාලයක් තිස්සේ සිංහල සිනමා සාහිත්‍යයේ අභිවර්ධනයට සිය කාලය, ශ්‍රමය මෙන් ම ජීවිතය ද කැප කළ සිනමා ලේඛකයෙකි. ඔහු සිය ලේඛන ජීවිතය අරඹන්නේ අටළොස් හැවිරිදි තරුණයකු ව සිටියදී ය. එතැන් සිට සිනමාව හා බැඳුණ අප්‍රමාණ ප්‍රේමයෙන් ඔහු ලේඛන කාර්යයයෙහි නියුක්ත වූයේ ය. නිදහස් ලේඛකයකු ලෙස ප්‍රාරබ්ධ ඔහුගේ ලේඛන ජීවිතය තදනන්තර ව වෘත්තීය තලයෙහි ආයතනික ව්‍යුහ තුළ ද අඛණ්ඩ අභිවෘද්ධියක් සහිත ව පරිපාකය කරා එළඹිණ. සිනමා ලේඛකයකු ලෙස ඔහු ගෙවා පැමිණ ඇති එම වෘත්තීය ජීවිතය නිසැක වශයෙන් ම අත්දැකීම් බහුල, පෘථුල පරිමණ්ඩලයක විහිද පැතිර ගිය ආදර්ශපූර්ණ එකකි.

සිනමා ලේඛනය මිහිඳුකුලගේ අභීෂ්ට චර්යාව හා ජීවන වෘත්තිය ලෙස පැවතුණ ද ඔහු සිය රැකියාව,තනතුර හෝ ආයතනය නිසා විරාජමාන වූ ලේඛකයෙක් නොවී ය. ඔහු සතු පරම ධනය වූයේ දෛවෝපගත ව තමා වෙත උරුම වූ සහජ ලේඛන චාතුර්යය හා සිය කාර්ය සාධනය මගින් ඉදි වූ ‘සුනිල් මිහිඳුකුල’ යන නාමය ය. ඒ හැර ඔහුට වෙනත් සහතික කිසිවක් අවශ්‍ය වූයේ නැත.

සිනමාව කෙරෙහි තමා තුළ වූ අසීමිත හා ඓන්ද්‍රීය බැඳීම නිසා ම දීර්ඝ කාලයක් තිස්සේ අසාමාන්‍ය කැපවීමකින් යුතු ව තමා සන්තක කරගත් විෂයබද්ධ ඥානය හා පරිචය ද ප්‍රබුද්ධ විචාරාන්වේෂීචින්තනය ද ඔහුගේ විශිෂ්ට සේවා සම්ප්‍රදානය ද සිංහල සිනමා කලා වේදිකාව මත සුනිල්

මිහිඳුකුලට හිමි ආසනය නිශ්චය කරන නිර්ණායක බවට පත් ව තිබේ.

මිහිඳුකුලගේ ලේඛන ජීවිතය කිසිසේත් රැකියාවට කොටු වූ, සීමිත එකක් නොවේ. ඔහු වෘත්තීය හා ආයතනික සේවා සපුරා අතික්‍රමණය කළ දුර්ලභ ගණයේ ලේඛකයෙකි. ඍජු නිර්භය විචාරකයෙකි. දත්ත සංරක්‍ෂකයෙකි. සිනමා කලා ඉතිහාසඥයෙකි.

සුනිල් මිහිඳුකුල විසින් පළ කරන ලද මුද්‍රත කෘති මාලාව 24 කි. ඒවායින් 20 ක් ලේඛකයාගේ ස්වතන්ත්‍ර රචනා ය. 04 ක් සංස්කරණ ය. මුද්‍රිත ග්‍රන්ථ හැරුණු කොට ඔහු විසින් රචනා කරන ලද අවශේෂ සිනමා කලා ලේඛන සම්භාරයඉතා විශාල ය. සිනමාව මෙන් ම සාහිත්‍යය, වේදිකා නාට්‍යය, සංගීතය ඇතුළු අන්‍යතර කලා මාධ්‍ය අලළා එම ලිපි රචනා කොට තිබේ. ඒවා අතර ඔහුගේ ස්වාධීන අදහස් සංගෘහිත විමර්ශනාත්මක ලිපි හා සිනමා විචාර ද සම්මුඛ සාකච්ඡා ඇසුරින් සම්පාදිත ලිපි ද තීරු ලිපි හා අවස්ථානුකූල ව පුවත්පත් සඳහා සම්පාදිත ලුහුඬු සටහන් ද දක්නට ලැබේ.

සුනිල් මිහිඳුකුල සහ මා අතර මිත්‍ර ධර්මයක් ගොඩනැගුණේ කවරදාදැයි හරියට ම දින වකවානු කීමට මට නුපුළුවන. මා පුවත්පත්වලට කවි හා ලිපි ලියන්ට පටන්ගත්තේ මගේ පාසල් අවදියේදී ය. ඒ වන විටත් ‘සුනිල් මිහිඳුකුල’ යන නම පත්තරවලින් මම දැන සිටියෙමි. ඔහු ගුණසිරි සිල්වාගේ මග පෙන්වීමෙන් ‘සකුරා’ සිනමා සංග්‍රහයෙන් සිනමා ලේඛනයට පිවිසෙන විට මා ලේඛන කලාවක් ගැන සිතා තිබුණේවත් නැත. සුනිල් මිහිඳුකුල නමින් පුවත්පත්වල ලිපි පළ වූ එසමයෙහි මම ඔහුගේ පාඨකයකු ව සිටියෙමි.

ඔහු දැන කියාගන්ට මට ඉඩ ලැබුණේ 1980 දශකයේ අග හරියේදී ය. කෙසේ හෝ මම ඔහුගේ විවාහ මංගල්‍යයට සහභාගි වූයෙමි. ඒ 1989 දෙසැම්බර් 10 වැනි දා ය. ඒ අනුව ඊට වසර දෙක තුනකට කලින් අප අතර මිතුරුදම් ගොඩනැගෙන්ට ඇත. ඔහු විවාහ වන විට මා සිටියේ ලේක්හවුස් ආයතනයේ සිළුමිණ පුවත්පතේ සේවය කරමිනි. සරසවිය පුවත්පතට ලිපි ලියමිනි.

සුනිල් මිහිඳුකුල ලේක්හවුස් ආයතනයේ දිනමිණ කර්තෘ මණ්ඩලයට එක්වන්නේ 1995 අප්‍රියෙල් මාසයේදී ය. එයින් දෙමසකට පසුව මම ලේක්හවුස් ආයතනයෙන් අස් වී ගියෙමි. ඒ, ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ සහකාර කථිකාචාර්ය ධුරයකට මා පත්වීමක් ලදබැවිනි.

අප අතර තිබූ මිත්‍ර සම්බන්ධතාවට ආයතිනක පදනමක් තිබුණේ ම නැත. ඇත්ත වශයෙන් ඒ මිතුදම වැඩිදියුණු වූයේ අප දෙදෙනා එක ම විෂය ක්‍ෂේත්‍ර කෙරෙහි දැක් වූ දැඩි අභිරුචිය නිසා ය. විශේෂයෙන් සිනමාව කෙරෙහි අප දෙදෙනා තුළ ම පැවති අප්‍රමාණ ප්‍රේමය නිසා ය.

සුනිල් මිහිඳුකුල සම්බන්ධව එක්තරා ආකාරයකට මා තුළ ලජ්ජාවක් උපදවන සිද්ධියක් ද අප මේ දක්වා ගෙවා පැමිණ ඇති අතීතයෙන් උපුටා ගැනීමට පුළුවන. එනම් ඔහුට උගන්වන්ට මට සිදුවීම ය. 1990 දශකයේ අග භාගයේ ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලයේ පැවැති ලේඛකත්ව හා

සන්නිවේදන ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීමට ආවේ ය. ඒ පුවත්පත් කලාවේදියකු හා නාට්‍යකරුවකු ව සිටි, සරසවිය පුවත්පතේ සේවය කළ සුසිල් ගුණරත්න ද සමග ය. සුනිල් මිහිඳුකුල මේ පාඨමාලාවට අයදුම් කළ බව මා ඔහුගෙන් දැන ගත් පසු ‘උඹ මොකටද මේක කරන්නේ?’ යැයි මා ඇසූ බව පසුකලෙක සුනිල් මට පවසා තිබේ.

කෙසේ හෝ ඔහු ශිෂ්‍යයකු ලෙස වාඩි වී සිටියදී ඔහුට දේශන පවත්වන්ට මට සිදුවීම දෛවෝපගත ය. මා එදවස එම පාඨමාලාවෙහි ඉගැන්වූයේ කාව්‍ය විධි, ගීත විධි හෝ පෙරදිග කලා විචාරය යන විෂයයන්ගෙන් එකකි. එහෙත් සිනමාව හා බැඳුණු විෂයබද්ධ හා ඉතිහාස තතු වැඩිදුර දැන කියාගන්ට හෝ මා දත් කරුණුවල නිරවද්‍යතාව විමසා බලන්නට මා ඔහු ඇමතූ වාර බොහෝ ය.

සුනිල් මිහිඳුකුල තරම් ඉවසීමෙන් තොරතුරු එක්රැස් කරන, සංරක්‍ෂණය කරන සිනමාකාමියකු මට මුණගැසී නැත. ඔහුට ඇත්තේ විස්මය උපදවන මතකයකි. සිනමාවේ ඇතැම් අතීත පවත් ඔහු කියන විට මා අසා සිටින්නේ ඒ විස්මය කැටුව ය.

සුනිල් පසුකාලයේදී බොහෝවිට මට මුණගැසුණේ ටෙලිනාට්‍ය පූර්ව නැරඹුම් මණ්ඩලවලදී හෝ තවත් එවැනි ජූරි සභාවලදී ය. ඒවායේදී අප අතර ඇති වූ සංවාද කිසිදා පොතපතින් ලද නොහැකි දැනුමින් පිරිපුන් ඒවා ය. සුනිල් ඒ සංවාදවල සක්‍රීය දායකයෙක් වූයේ ය. නිර්මාණ තත්ත්ව නිර්ණය කෙරෙන හෝ විනිශ්චය කෙරෙන හැම අවස්ථාවකදී ම තමා නිවැරැදි යයි විශ්වාස කරන මතය වෙනුවෙන් ඔහු නොපැකිළ ව නැගී සිටියේ ය. සැබවින් ම ඔහුට ඍජු මතයක් තිබුණේ ය. ඔහු අනෙක් අය කියන දේ බලා තම මතය සාදාගන්නා විනිශ්චයකාරයෙක් නොවූයේ ය.

ඔහුගේ මේ අදීනත්වයට මම මහත් සේ ගරුකරමි. සිනමාව මතු නො ව අන්‍යතර සාහිත්‍යාදී කලා පිළිබඳ ව ඔහු තුළ වූ පැතිරුණු ඥානය ද දත්ත සංරක්‍ෂණය මූලික කොටගත් කැපවීම ද මම වෙසෙසින් අගය කරමි. අද්‍යතන සිනමා වංශයෙහි ඔහුගේ සම්ප්‍රදානය ඒ පිළිබඳ කථා ප්‍රවෘත්තියෙහි

අග්‍රිම අගයකින් බබළනු නිසැක ය. අනාගත පරපුර ඊට ගෞරව පුදනු නොඅනුමානය. 

Comments