සතර සවිය සහ නෙළුම 5 | Page 2 | සිළුමිණ

සතර සවිය සහ නෙළුම 5

 වයස 20 දී ජූජක බමුණාගේ චරිතයට

වෙස්සන්තර නාට්‍යයේ වචන අටක් පමණක් උච්චාරණය කිරීමට තිබූ මට ජූජක බමුණා ලෙසින් රඟපෑමට ලැබීම භාග්‍යයක් ලෙස සැලකුවෙමි. එම චරිතය රඟපෑමට දැඩි ආශාවකින් සිටි මා ගුණවර්ධන මහතාට යළි එන්නට සිත ක්‍රියාත්මක නොවේවායි ප්‍රාර්ථනා කළෙමි. එසේ සිතීමට සිත්වූයේ මේ ලද අවස්ථාව මගේ ජීවිතයේ සංධිස්ථානයක් වන බව මා දැන සිටි බැවිනි. ධනාත්මකව සිතීමටත්, ආත්ම විශ්වාසයෙන් කටයුතු කිරීමටත්, කිසියම් ඉලක්කයක් අනුව අධිෂ්ඨානයකින් යුතුව ක්‍රියා කිරීමටත් මම කුඩා කළ සිටම පුරුදුවී සිටියෙමි. ඒ අපේ තාත්තාගෙන් ලත් පන්නරය නිසාය. නවක නළු නිළියන් මට දැක් වූයේ උපරිම සහායකි.

නොකඩවා කල්වේලා ඇතිව පුහුණුවීම් වලට සහභාගී වන මටත් කලින් ශාලාවට පැමිණ සිටින්නේ ලෝරන්ස් මාස්ටර්ය. මා දුටු හැටියේ යමුද පුතා තේ එකක් බොන්න. සංගීත මාස්ටර්ට බැහැ යි කියන්නේ කෙසේද? තේ බිල ගෙවන්න වෙන්නේ මා හටය. මගේ අතේ ඇත්තේ ගෙදර යාමට බස් ගාස්තු වන ශත විසිපහ පමණි. එයත් ලේන්සුවේ ගැට ගහගෙන තබා ගන්නේ ප්‍රවේශමෙනි. “හා මාස්ටර් යමු තේ බොන්න. මාස්ටර් වඩයක්,කහට තේ කෝප්පයක් හා ත්‍රී රෝසස් සිගරැට්ටුවක් ගනී.

එයට වැයවන මුදල ශත 18කි. මම තේ නොබොමි. ඒ මුදල් නැති නිසාය.ලෝරන්ස් මාස්ටර් ශාලාවට පැමිණ ගීත ගායනා කරමින් වාදනය කරයි. මම ඉතා ආශාවෙන් ඒවා අසා සිටිමි. නාට්‍ය පුහුණුවේ දී දෙබස් මතක් කර දෙන්නේ මා සහ තවත් අයෙකි. කිසිවකු නොපැමිණෙන විට ඒ චරිතය කිරීමට මම ඉදිරිපත් වෙමි. එහෙත් ජූජක බමුණාගේ චරිතය පුහුණු වී නොසිටියෙමි.ජේ.ඩී.ඒ.සර් මට කිව්වේ හය වෙනකම් බලන්න කියාය. එහෙත් පහ හමාරට ඇඳුම් ඇඳගත්තෙමි. 5.45ට මම වෙස්ගන්වන ශිල්පියා ළඟට ගියෙමි. 6.10 වන විට කෝපයෙන් පිටව ගිය ගුණවර්ධන රංගන ශිල්පියා පැමිණියේය.

මගේ හිසේ පිපුණු සතුටේ මල් ක්ෂණයකින් පරවිය.ජේ.ඩී.ඒ.සර් වෙත ගිය මම “සර්,මිස්ටර් ගුණවර්ධණ ආවා.”යි කීවෙමි. කලාගුරු තුමා ඔරලෝසුව දෙස බලා නැහැ අද නටන්නේ සතිස් යැයි කීවේය. හිසේ පිපී පරවූ සතුටේ මල යළිත් විකසිත විය.නළු නිළියන්ගේ විනය ගැන දැඩි සැලකිල්ලක් එතුමා තුළ විය. සවස හයට ප්‍රථම සියලුම දෙනා රඟහලට පැමිණිය යුතු බව නීතියකි. ගුණවර්ධන මහතා විනාඩි 10 ක් ප්‍රමාදවීම මට චරිතය ලැබීමට හේතුව විය. යළිත් කෝපයට පත් ප්‍රවීණ ශිල්පියා ශාලාවට ගොස් අසුන් ගත්තේය.ජේ.ඩී.ඒ.සර්ගෙන් ඒ ඉගෙනගත් විනය මගේ ජීවිතය ආ‍ලෝක කළා පමණක් නොවේ මගේ නිෂ්පාදනවලදීත් වේලාවට වැඩ කිරිම අදත් එදා සිටම කරමි.

සවස 6.30 දර්ශනය ආරම්භ විය.අවුරුදු විස්සක් වයසේ සිටි තරුණ මා අවුරුදු 80ක මහලු ජූජක බමුණා ගේ චරිතය කළේ කට හඬ වෙනස් කරමිනි. ඒ හඬින් ම “බොහෝ ම දෝස පැන්තොට ළඟ දැන් කියයි කියා”අමිත්තතාපා ගයද්දී බමුණා වන මම “ඉලව්ව කළේ තීව බන්දා” ගායනා කරමින් රඟපෑවෙමි. ප්‍රේක්ෂාගාරයෙන් මා වෙනුවෙන් නද දුන් අත්පොළසන් හඬෙහි දෝංකාර තවමත් මගේ දෙසවන්හි රැඳී පවතී. ඒ අගය කිරීම මට ලැබුණ පුළුල් පන්නරයකි.

කිසිවකු ගේ සාර්ථකත්වය සඳහා කැපවීම, වගකීම, කීකරුකම,ඉගෙන ගැනීම,නියමිත වේලාවට වැඩ කිරීම, යුතුකම් නිසි ලෙස ඉටුකිරීම, ඉවසීම හා බලාපොරොත්තු සහගත බව අනිවාර්යෙන් ම තිබිය යුතුය. මෙවැනි උතුම් ගුණාංගයන් දරුවන් තුළ වර්ධන කිරීමට මවුපියන්, ගුරුවරුන් උත්සුක විය යුතුය.යහපත් ආකල්පයන් මා තුළ කුඩා කළ සිට ජනිත විය. සාරධර්මයන් ගොඩනැ‍ඟෙන්නේ ආකල්පයන් මතය. සාරධර්මවලින් සමන්විත වීම නිසා මා තුළ යහපත් විනිශ්චය ගොඩ නැඟුණි. ඒ නිසා ම විනය ගරුක ශිල්පියෙක් පමණක් නොව විනය ගරුක මිනිසෙකු ලෙසත් වැජඹීමට හැකිවී ඇත. සතර සවිය සමඟ ඇති නෙළුම ඒ විනයෙන්ගොඩ නැ‍ඟෙන පාරිශුද්ධත්වයයි.

ප්‍රංශ දෘශ්‍ය කාව්‍ය කර්තෘ වොලියර් වරක් ප්‍රකාශ කළා නළු නිළියන් වනිහා ආම්බාන් කරන්න අමාරු සත්වයෝ විශේෂයකි කියා. ඒක ඇත්ත. එහෙත් පැරණි ප්‍රවීණ ශිල්පීන් හා ශිල්පිනියන් වන අපට වඩා වයසින් 1/2ක් පමණ ඇති නවකයෙකුටත් වැඩ කළ හැකිය. එහෙත් මා වැනි ජ්‍යෙෂ්ඨ ශිල්පීන් තුළ ඇති කරුණාවන්තභාවය දුර්වලකමක් ලෙසත් සිතන සහාය අධ්‍යක්ෂවරුන් මට හමුවී ඇත.ඒ අයට ඍජුව ම එවේලේ ම මගෙන් පිළිතුරු ප්‍රතිචාර වශයෙන් දෙන්නෙමි.

වෙස්සන්තර නාටකය ශ්‍රී ලංකාවේ සෑම ප්‍රධාන නගරයකම වේදිකා ගතකරන්නට යෙදුණි. නිෂ්පාදකවරුන් ප්‍රතිඥා දුන් පරිදි දින 14 න් පසුව ආධුනික ශිල්පීන් හා ශිල්පිනියන්ට මුදල නොලැබිණි. අපට වඩා වේදිකාවේ පළපුරුදු ඇලෝයි නම් නළුවෙක් විය. ඔහු තරමක විප්ලවකාරී ගති පැවතුම් වලින් හෙබි ‍අයෙකි.

ඔහු විසින් උද්ඝෝෂණයක් කරන්නට විය. එය නම් රුක්මණී දේවිය පැය තුනකට රුපියල් 350 ක් වටින්නේ නම් කෙල්ලෙක් 350ක් වටින්නේ නැද්ද? එඩී ජයමාන්න පැය තුනකට රුපි.250ක් වටින්නේ නම් කොල්ලෙක් රුපි.250 ක් වටින්නේ නැද්ද? මේ සටන් පාඨය පෙරදැරිකරගෙන මුදල් ඉල්ලීමට නවක පිරිස පෙළඹ වීමට උත්සාහ ගත්තේය. ඇලෝයි අයියා මා වෙත පැමිණ මේ සටනට සහාය වන ලෙස ඉල්ලුවේය. මම කිසිදු පැකිළීමකින් තොරව බොහොම ඍජු ලෙස “අනේ අයියේ මට සර්ට විරුද්ධ කතා කරන්න. ඔය ඉල්ලීම් වලට මට සහභාගි‍වෙන්න බැහැ. මං ආවේ ඉගෙන ගන්න.

මට ඕනෑ තැනක් ලබාගන්න.මගේ කලා ජීවිතය දියුණු කර ගන්න. බොහොම කණගාටුයි මට බැහැ”කීවෙමි. මගේ අදහස වැඩි දෙනෙක් නවකයින් අනුමත කළේය.හත් අට දෙනෙක් මුදල් ඉල්ලා සිටි‍යේ දර්ශනය ආරම්භ කිරීමට පැය දෙකකට ප්‍රථමයෙනි. කලාගුරු ජේ.ඩී.ඒ. පෙරේරා ඔවුනගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ නිෂ්පාදක වියදම් ඒ වන විටත් පියවී නැති නිසාය. අපට සල්ලි දෙන්නේ නැතිනම් රඟපාන්නේ නැහැ යැයි ඒ ටික දෙනා කීවේය. පිටවෙන දොරටුව පෙන්නා ඒ සියලුම දෙනාට වහාම ශාලාවෙන් පිටවීමට අණ කළේය. මා මවිතයට පත් වූ‍යේ ඔවුන් නොමැතිව නාට්‍ය රඟදැක්වීම අසීරු නිසාය.එහෙත් සර් දුන් උපදෙස් අනුව ඒ ඒ චරිත වෙන වෙන අයට ඉදිරිපත් කිරීමට උපදෙස් දුන්නේ ය.

රට වටා දර්ශන වාර 35ක් රඟදැක්වූ පසු මට ලැබුණේ රුපියල් 30කි. ඒ අනුව එක් දර්ශනයක් සඳහා මට ලැබුණේ ශත 86කි. පුහුණුවීම් සඳහා මම ශත 50 බැගින් 96ක් වැය කළෙමි.එදා වෙස්සන්තර නාට්‍යයේ මන්ද්‍රි දේවිය ලෙස රඟපෑ රුක්මණි දේවිය ම විසින් අධ්‍යක්ෂණය කරන ‍ෙලස සතර දිගන්තය හා ශ්‍රී මදාරා යන චිත්‍රපටවල රඟපෑවේය. ඇයට ඒ සඳහා මුදල් ගෙවීමට මට හැකි විය. හොඳම ගුරුවරයා වන්නේ අත්දැකීම්ය. අභියෝගවලට මුහුණ දිය යුතුය. මහා කවි තාගෝර්තුමා කී පරිදි අහසේ සඳ නැත කියා මම නොහැඬුවෙමි. ඒ නිසා මට තාරකා දැක ගැනීමට හැකි විය. ඉවසීමෙන් යුතුව කැපවීමෙන් කටයුතු කර ලද දෙයින් සතුටුවීමට මට හැකිවීම නිසා ජීවිතයේ සැහැල්ලු බව ලදිමි.

ලබන සතියට...

Comments