
එංගලන්තයේ ලන්ඩන් නුවර ශාන්ත ජෝන් වුඩ්ස් හි පිහිටි ‘ලෝඩ්ස්‘ ක්‍රීඩාංගණය හඳුන්වන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ තිඹිරි ගෙය නැතිනම් රන් දෙවොල හැටියටයි. මෙම ලෝඩ්ස් පිටියේ ශතකයක් රැස්කිරීම යනු ක්‍රිකට් ක්‍රීඩාකරන ලොව ඕනෑම ක්‍රීඩකයකුගේ සිහිනයයි. එහෙත් මෙම ඓතිහාසික ලෝඩ්ස් පිටියේ ක්‍රීඩාගාරය තමන්ගේ ආලේඛ්‍ය චිත්‍රයකින් හැඩකරන්නට ක්‍රීඩකයකු කිසිදා සිහින මවාවි යැයි සිතිය නොහැකිය.එලෙස සිහින නොමැවූවත් එම භාග්‍යය ලැබූ ක්‍රීඩකයන් කිහිප දෙනකු සිටී. ඔවුන් ක්‍රිකට් ලොව එදා මෙදා තුර බිහිවූ විශිෂ්ටතම ක්‍රීඩකයන් කිහිප දෙනෙකි. ශ්‍රීමත් ඩ්‍රොන් බ්‍රැඩ්මන්,ශ්‍රීමත් විවියන් රිචඩ්, බ්‍රයන් ලාරා, ශේන් වෝන්, ඉන්සමාම් උල්හක්, මයිකල් වෝගන් මෙලෙස ලෝඩ්ස් පිටියේ සිය චිත්‍ර නිරාවරණය කරගැනීමට වාසනාව ලැබූ පිරිස අතරින් කීප දෙනෙක්. ලොව ක්‍රිකට් ක්‍රීඩාකරන රටවල් ගණනාවක් තිබුණත් මෙම වාසනාව ලබන්නට නම් ඔහු සැබැවින්ම අති විශිෂ්ටයකු විය යුතුය. ලොව පහළ වූ මෙම අති විශිෂ්ටයන් අතරට එක්වන්නට සමත්වුණු අපේ රටේ ක්‍රීඩකයන් තිදෙනකු සිටී. මුත්තයියා මුරලිදරන් . මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර එම තිදෙනායි.
අද මෙම සටහන තැබෙන්නේ මහත්වරුන්ගේ ක්‍රීඩාවේ මහත්මයා ලෙස ලොවම ගෞරව කරන කුමා සංගක්කාර පිළිබඳවය. සංගා පිළිබඳව මෙම සටහන තබන්නට හේතුව වන්නේ ඹහු මේ වන විටත් එංගලන්තයේ සරේ ප්‍රාන්ත කණ්ඩායමට ක්‍රීඩා කරමින් පිට පිටම ශතක රැස් කර ලෝකයේ වඩාත් කතාබහට ලක්වුණු ක්‍රීඩකයා විමනිසාය. සරේ කණ්ඩායමට ක්‍රීඩාකරමින් පිටපිටම ශතක 5 ක් රැස්කරගන්නට සමත්වුණු සංගාට සිය හයවැනි ශතකය පෙනි පෙනී ලකුණු 84 කට දැවී යාම නිසා ශ්‍රීමත් ඩොන් බ්‍රැඩ්මන් සිටින එක දිගට ඉනිම් හයකදී ශතක 6 ක් රැස්කරගත් විශිෂ්ටයන්ගේ කණ්ඩායමට (Elite group) අතුළත්විමට තිබුණු අවස්ථාව අහිමිවි ගියේය. මෙහිදී සංගා සරේ කණ්ඩායම වෙනුවෙන් එසෙක්ස් කණ්ඩායමට එරෙහිව පළමු ඉනිමේ ලකුණු 200 ක් රැස්කළ අතර දෙවැනි ඉනිමේදී ශතකයට ලකුණු 16 ක් තිබියදී ටොම් වෙස්ලේ යැවූ පන්දුවක් ලබාදීමෙන් දැවිගියා. මෙම ප්‍රාන්ත තරගාවලියේදී සංගා හැම්ප්ෂයර් කණ්ඩායමට එරෙහිව ලකුණු 124 ක්, මිඩ්ල්සෙක්ස් කණ්ඩායමට එරෙහිව පළමු ඉනිමේ ලකුණු 114 ක් දෙවැනි ඉනිමේ ලකුණු 120 ක් සහ එසෙක්ස් කණ්ඩායමට එරෙහි තරගයේ පළමු ඉනිමේ ලකුණු 200 ක් ද ලබා ගත්තේය.
පසුගිය 19 වැනිදා සංගා ලෝඩ්ස් පිටියට පිවිසියේ ඔහුගේ ආලේඛ්‍ය චිත්‍රය දෙස බලමින් මහත් අභිමානයෙනි. ඒ එදින ඔහුගේ එම චිත්‍රය නිරාවරණය කළ නිසාවෙනි. එසේම එදින සංගා ශතකයක් රැස්කිරීමට සමත් විය.
මෙය සංගාගේ අවසන් පළමු පෙළ තරගාවලියයි. මෙහිදී තවත් එක් ශතකයක් ලබාගත හොත් එය සංගා ක්‍රිකට් දිවියේ ලබාගත් සියවැනි ශතකය ලෙස වාර්තා පොතට එක්වනු ඇත.
සංගා අපේ රට එදා මෙදා තුර බිහිකළ විශිෂ්ට ක්‍රීඩකයින් අතළොස්ස අතර ඉදිරියෙන්ම සිටින අයෙකි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මහත්මයකු වන සංගා ක්‍රිකට් නිසා බැබලෙන්නට උත්සාහ නොකළ අතර ක්‍රිකට් ක්‍රීඩාව ඔහු නිසා බැබලුණි. වයස අවුරුදු 20 දී නොන්ඩෙස්ක්‍රිප්ට් ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් ක්‍රිකට් ක්‍රීඩාව ඇරැඹූ ඔහු 2000 වසරේදී පළමු පෙළ තරගයකදී සිම්බාබ්වේට එරෙහිව ලකුණු 156 ක් ලබාගනිමින් ජාත්‍යන්තර පිටියේ දොරටුව විවර කරගත්තේය.එදා මෙදා තුර ඔහු ක්‍රීඩාකර ඇති ටෙස්ට් තරග 134 කි.එහිදී ශතක 38 ක් සහ අර්ධ ශතක 52 ක් සමඟ රැස්කර ගෙන ඇති ලකුණු ගණන 12400 කි.එසේම එක්දින තරග404 ක් ක්‍රීඩාකර ශතක 25 ක් සහ අර්ධ ශතක93 ක් සමඟ රැස්කර ගෙන ඇති ලකුණු ගණන 14234 කි. විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 56 කට සහභාගි වී අර්ධ ශතක8 ක් සමඟ ලකුණු 1382 ක් රැස්කරගෙන තිබේ.එසේම පළමු පෙළ තරග 255 කට සහභාගිවී ලකුණු 20296 ක් රැස්කරගෙන ඇති අතර මීට ශතක 61 ක් සහ අර්ධ ශතක 86 ක් අයත්වෙයි. කොලින් කවුඩ්‍රි දේශනය සඳහා ආරාධනා ලැබූ සංගා එම දේශනය කළ ළාබාලම ක්‍රීඩකයා වෙයි.
ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ ලකුණු 8000, 9000, 11000 සහ 12000 පසුකළ ලොව වේගවත්ම ක්‍රීඩකයා වන සංගා, 2012, ICC වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා, 2012, ICC වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා, 2011 සහ 2013 වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා ,2011 සහ 2012 LG PEOPLES AWRD ඇතුළු ජාත්‍යන්තර සම්මාන රැසකින් පිදුම් ලබා තිබේ.
ටෙස්ට්, එක්දින, විස්සයි 20 යන තුන් ආකාරයේම ක්‍රීඩාවෙන් ලෝකයටම දැනෙන්නට යමක් කළ,ලොව ක්‍රිකට් වංශ කතා ඉතිහාසයේ ශ්‍රී ලාංකේය නාමය නොමැකෙන ලෙස සනිටුහන් කළ සංගා මෙම ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලිය අවසානයේ සියලුම ආකාරයේ ක්‍රීඩාවෙන් සමුගන්නට නියමිතය.ඉදිරියේදී මේ විශිෂ්ටයා සතු දැනුම අපේ ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුවට උපයෝගී කරගන්නට බලධාරීන්ගේ අවධානය යොමුවේවා යන පැතම සමගින් මේ සුපිරි ක්‍රීඩකයාට ජය ප්‍රාර්ථනා කරමින් මෙම සටහන අවසන් කරමි.